Saturday, June 4, 2016

සිරියානු හමුදා රකා ප්‍රාන්තයට ඇතුලු වෙති: ISIS "අගනුවරට" තව කිලෝමීටර 100 යි

ISIS ත්‍රස්තවාදීනට එරෙහි සටන තවත් ඉදිරියට ගෙන යමින් සිරියානු රජයේ හමුදා වසර දෙකකට පසු පළමු වරට සිරියාවේ රකා (Raqqa)  ප්‍රාන්තයට ඇතුලු වී ඇත​.

ඊයේ දිනයේ අල්-මස්ඩාර් පුවත් සේවයේ (Al-Masdar News) වාර්තාවකින් කියැවුණේ සිරියානු හමුදා දින දෙකක් තුළ සලාමියා - රකා (Salamiyah - Raqqa) මහා මාර්ගය ඔස්සේ කිලෝමීටර 35 ක් ඉදිරියට ගිය බවය​.

එමෙන්ම උපක්‍රමික වශයෙන් වැදගත් සකියා (Zakiyah) මංසන්ධිය සිරියානු හමුදා අතට පත්ව ඇති අතර එතැන් සිට තබ්කා ගුවන් හමුදා කඳවුරට (Tabqa Military Airport) ඇත්තේ කිලෝමීටර 47 ක් පමණි.
තැඹිලි පැහැයෙන් පෙනෙන ප්‍රදේශය සිරියානු හමුදා යටතේ පවතී

තබ්කා කඳවුර සිරියානු හමුදාවන් යටතේ රකා ප්‍රාන්තය තුළ පැවති අවසන් බලකොටුව වූ අතර ISIS සටන්කාමීහු 2014 අගෝස්තුවේදී එය අල්ලාගත් හ​. ඔවුහු ජීවග්‍රහයෙන් අල්ලාගන්නා ලද සෙබලුන් 250 ක් එකපෙළට තබා වෙඩිතබා ඝාතනය කළහ​.

තබ්කා සිට රකා නගරයට තවත් කිලෝමීටර 50 ක් දුරක් ඇත​. රකා නගරය ISIS සටන්කාමීන් විසින් සිය අගනුවර ලෙස සළකනු ලැබේ.

මේ අතර, අද උදෑසන රකා නගරය ආසන්නයේ තෙල් ආකර හතරකට රුසියානු හමුදා ගුවනින් පහර දුන්නේය​. රකා නගරය ආශ්‍රිත ප්‍රදේශය සිරියාවේ තෙල් සම්පත වැඩිපුරම ඇති ප්‍රදේශය වන අතර, එම තෙල් ළිංවලින් ලබාගන්නා තෙල් නීතිවිරෝධී ලෙස විකිණීම ISIS සංවිධානයේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස සැළකේ.

නිරිතදිග ප්‍රදේශයෙන් මෙසේ සිරියානු හමුදා සහ එම හමුදාවල මිතුරු පාර්ශවවලින් එල්ලවන ප්‍රහාරය මෙන්ම ඇමරිකානු ආධාර ලබන සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදාවල (Syrian Democratic Forces - SDF) ප්‍රහාර ද රකා ප්‍රාන්තයේ ISIS සටන්කාමීනට එල්ල වෙමින් පවතී. SDF සංවිධානය සටන් මෙහෙයවන්නේ රකා නගරයට කිලෝමීටර 60 ක් පමණ උතුරෙනි.

මොහොමඩ් අලී වීරයකු වන්නේ ඇයි?

ලෝකයේ විසූ අග්‍රගණ්‍යම හෙවිවේට් බොක්සිං ක්‍රීඩකයා ලෙස සැළකෙන මොහොමඩ් අලී මිය ගියේය​.

1942 ජනවාරි 17 වනදා ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ ලුවිස්විල් නගරයේ උපන් මොහොමඩ් අලි උපතින් කැෂියස් ක්ලේ නම් විය​.

ඔහු නම වෙනස් කළේ පසු කළෙක ඉස්ලාම් දහම වැළඳ ගැනීමෙන් පසුවය​.

1960 දී රෝම ඔලිම්පික් උළෙලේදී ලයිට් හෙවිවේට් අංශයෙන් රන් පදක්කම දිනූ ඔහු 1964, 1974 සහ 1978 වසරවල ලෝක හෙවිවේට් ශූරයා බවට පත් විය​. 1974 දී එවකට ලෝක හෙවිවේට් ශූරයා වූ ජෝර්ජ් ෆෝර්මන්ට අභියෝග කළ අලී, එවකට සයරේ නමින් හැඳින්වුන වත්මන් කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අගනුවර වූ කින්ශාසා නගරයේදී පැවැති සුප්‍රසිද්ධ බොක්සිං තරඟයකදී ඔහු පරාජය කළේය​.

The Rumble in the Jungle නමින් හැඳින්වෙන මෙම තරඟය 20 වන සියවසේ අනර්ඝම ක්‍රීඩා තරඟය ලෙස ද සැළකේ. තරඟය නැරඹීමට රැස් වූ පිරිස 60,000 කි.

එම සම්පූර්ණ සටනේ වීඩියෝව පහත දැක්වේ.

මොහොමඩ් අලී අසහාය ක්‍රීඩකයකු වන්නේ ඔහු ලොව වටා සිටි සියලු අභියෝගකරුවන්ට 'නෙලාගෙන නෙලාගෙන' ගිය නිසා නොවේ. ඔහු තමා විශ්වාස කළ දෙය වෙනුවෙන් සටන් කළ බැවිනි.

සිය බොක්සිං ජීවිතයේ මුල් කාළයේ ආවේගශීලී පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ හෙතෙම පසු කළෙක​, විශේෂයෙන්ම ඉස්ලාම් දහම වැළඳගත් පසු, වෙනස් පුද්ගලයකු බවට පත් විය​. ඉස්ලාම් දහම විකුණා ත්‍රස්තවාදයෙහි නිරත වන්නන්ට ඔහුගේ දර්ශනය අභියෝගයක් වේ.

1967 දී වියට්නාම් යුද්ධයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ ඔහු කියා සිටියේ සිය ආගමික දර්ශනය ඒ සඳහා ඔහුට ඉඩ නොදෙන බවයි.

"මගේ ආගමේ ප්‍රධාන ලෙසම භාවිතාවන සුබ පැතීම අස්සලාම් අලයික්කුම් යන්නයි. එහි තේරුම 'ඔබට සාමය උදා වේවා!' යන අදහසයි" යුද්ධයට විරුද්ධව සුප්‍රසිද්ධ දේශනයක් කරමින් ඔහු කියා සිටියේය​.

එක්සත් ජනපද රජය ඔහුට හමුදාවට බැඳීමට නියෝග කළ අතර එයට ඔහු එරෙහි වූ විට බොක්සිං ක්‍රීඩාව ද තහනම් කර ඔහු සිර කරන ලදී. එම තීරණයට එරෙහිව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය ඔහු එහිදී රජයට එරෙහිව නඩු කියා ජය ගත්තේය​.

පාකින්සන් රෝගයෙන් දිගු කළක් පෙළෙමින් සිටි අලී 1996 ඔලිම්පික් ගිනි සිලුව දල්වන අවස්ථාව අතිශය සංවේදී දසුනක් වූ බව එය හැබැහින් හෝ රූපවාහිනී තිරය ඔස්සේ සජීවීව නැරඹූවෝ පිළිගනිති.

Friday, June 3, 2016

ඇමරිකානු සහ රුසියානු ගුවන් හමුදා සිරියාවේ රකා (Raqqa) දෙසට පහර දෙති

ඇමරිකා එක්සත් ජනපද සහ රුසියානු ගුවන් හමුදා සිරියාවේ රකා (Raqqa) නගරය ආශ්‍රිතව "ඉස්ලාමීය රාජ්‍යය​" හෙවත් ISIS සංවිධානයේ සටන්කාමීන්ට එල්ල කරනු ලබන ගුවන් ප්‍රහාර දැඩි කර තිබේ.

ඇමරිකානු ගුවන් ප්‍රහාර රකා නගරයට උතුරින් පිහිටි අයින් ඉසා ප්‍රදේශය වෙත එල්ල වෙමින් පවතී. අයින් ඉසා ප්‍රදේශයේ මේ වන විට ISIS සංවිධානය සහ සිරියානු ප්‍රජාතාන්ත්‍රික හමුදා (Syrian Democratic Forces - SDF) සංවිධානය අතර දරුණු ගැටුම් පවතී.

අයින් ඉසා ප්‍රදේශය අහිමි වීමෙන් රකා ප්‍රාන්තයේ සටන්කාමීන්ට තුර්කිය දෙසට ඇති අවසන් මාර්ගය අහිමි වනු ඇත​.

මේ අතර රුසියානු ගුවන් හමුදාව රකා ප්‍රාන්තයේ නිරිත දිග දෙස​, විශේෂයෙන්ම සලාමියා - රකා මාර්ගය අසළ සටන්කාමීන් රැඳී සිටින ස්ථාන දෙසට ප්‍රහාර එල්ල කරයි.  පැල්මයිරා නගරය අල්ලාගත් පසු සිරියානු හමුදා රකා දෙසට කෙමෙන් කෙමෙන් ළඟා වෙමින් පවතී.

මේ අතර ඉරාකයේ ද ප්‍රදේශ කිහිපයක සටන්කාමීනට එරෙහි සටන් ක්‍රියාත්මක වේ. ඉරාක හමුදා දින කිහිපයක් තිස්සේ ෆලූජා නගරය වෙත ගමන් කළද​, දැඩි සතුරු ප්‍රහාර හමුවේ ඊයේ දිනයේදී ඔවුනගේ ඉදිරි ගමන නැවතිණ​. මේ අතර උතුරු ඉරාකයේ මෝසුල් නගර ආශ්‍රිත ප්‍රදේශවලට ද ඉරාක් කුර්දි 'පැශ්මර්ගා' බල ඇණිවල ප්‍රහාර එල්ල වෙමින් පවතී.

තවද​, ලිබියාවේ සටන්කාමීන් සතුව පවතින සිර්ටේ නගරය අසළ විදුලි බලාගාරයක බලය අතට ගැනීමට ලිබියානු රජයේ හමුදා පසුගිය දිනෙක සමත් වූහ​. සිර්ටේ නගරය හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ උපන් බිම වන අතර එහි ඇති වරාය සහ ගුවන් තොටුපල හරහා යුරෝපය දෙසට පහර දීමට ත්‍රස්තයින් කටයුතු කරනු ඇතැයි බියක් පවතී.

මේ අතර ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ බව කියන සටන්කාමීන් තිදෙනකු ජර්මනියේ ඩසල්ඩෝර්ෆ් නගරයේදී පසුගියදා පොලිස් අත් අඩංගුවට පත් වූහ​.

තුර්කිය ආර්මේනියානු ජන සංහාරයෙහි යෙදුණ බව ජර්මන් පාර්ලිමේන්තුව කියයි

පළමු ලෝක යුධ සමයේ ඔටෝමන් තුර්කියේ සිදුවූ ආර්මේනියානුවන් ඝාතනය කිරීම 'වර්ග සංහාරයක්' ලෙස ප්‍රකාශයට පත් කෙරෙන යෝජනාවක් ඊයේ ජර්මන් පාර්ලිමේන්තුවේදී සම්මත විය​.

මෙම යෝජනාවට විපක්ෂව එක් ඡන්දයක් ලැබුණ අතර ඡන්දය දීමෙන් වැළකී සිටීම් ද එකක් වාර්තා විය​. ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් වෙනත් නිල කටයුත්තක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ නොසිටි නමුත් ඇයද මෙම යෝජනාවට සහය පළ කරන බව සැළකේ.

මෙම යෝජනාව පිළිබඳ තුර්කි රජය දැඩි කනස්සල්ල පළ කර තිබේ. මෙවන් යෝජනාවක් සම්මත වීම දෙරටෙහි මිත්‍රත්වයට බෙහෙවින් නරක බලපෑමක් ඇති කරන බව එරට රජය ප්‍රකාශ කළේය​.
ආර්මේනියානුවන් පිරිසක් ජර්මන් පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝශණයක (Pic: RT)

ජර්මන් වාම පක්ෂ (The Left) පාර්ලිමේන්තු මන්ත්‍රී ග්‍රෙගෝර් ගිසි ප්‍රකාශ කළේ ජර්මනියටද 1915 දී සිදුවූ ආර්මේනියානු සංහාරය පිළිබඳ ඓතිහාසික සම්බන්ධයක් පවතින බවය​. එවක ජර්මනිය සහ ඔටෝමන් අධිරාජ්‍යය එකම පාර්ශවයේ සිට බ්‍රිතාන්‍යය​, ප්‍රංශය සහ රුසියාව ඇතුලු මධ්‍ය බලවතුන්ට එරෙහිව යුධ වැදී සිටියෝය​.

මේ අතර​, මෙම යෝජනාව සම්මත වීම තුර්කිය සහ යුරෝපා සංගමය අතර සංක්‍රමණිකයන් පිළිබඳ එකඟතාවයක් සඳහා වන සාකච්ඡාවලට ඍණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි සැක පළවී ඇත​. මෙම එකඟතාවයට ඇන්ජෙලා මර්කල් සිය පූර්ණ සහය ලබාදී ඇත​.

එම එකඟතාවය අනුව තුර්කිය විසින් යුරෝපයට පැමිණෙන සංක්‍රමණිකයන් සීමා කිරීමට කටයුතු කළ යුතු අරත ඒ වෙනුවට තුර්කියට යුරෝපා සංගමයෙන් ආධාර ලැබෙනු ඇත​. එමෙන්ම ජර්මනිය ප්‍රමුඛ යුරෝපයේ බොහෝ ප්‍රදේශ ආවරණය වන ශෙන් ගන් කලාපයට වීසා රහිතව සංචාරය කිරීමේ නිදහස තුර්කි පුරවැසියනට ලබා දීමටද යෝජනා වී තිබේ.

1915 අප්‍රේල් 24 වනදා ආර්මේනියානු බුද්ධිමතුන් 250 ක් පමණ ඔටෝමන් අත අඩංගුවට පත්වීම 'ආර්මේනියානු ජන සංහාරයේ' ආරම්භය බව එවන් සංහාරයක් වූ බව පිළිගන්නා අයගේ අදහස වේ. එම බුද්ධිමතුන් බොහෝ දෙනකු මරා දමන ලද අතර මීළඟ මාසවලදී ඔටෝමන් අධිරායයේ විසූ ආර්මේනියානුවනට එරෙහි විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදී. විශාල පිරිසක් මරා දමන ලද අතර තවත් විශාල පිරිසක් කඳවුරුවල ගාල් කරන ලදී. මිලියන 1.5 ක් පමණ ජනකායක් මෙයින් පීඩා විඳි බැව් කියනු ලැබේ.

ආර්මේනියානුවන්ට එරෙහි දැඩි පියවරයන් එකළ ගන්නා ලද බව තුර්කිය පිළිගන්නා මුත් ජන සංහාරයක් වූ බව එරට දැඩිව ප්‍රතික්ෂේප කරයි.

පළමු ලෝක යුධ සමයෙහි තුර්කියට එරෙහිව රුසියාවට සහය වීමට රුසියානු-තුර්කි දේශසීමා ප්‍රදේශ ආශ්‍රිතව වූ ආර්මේනියානුවන් පියවර ගැනීම මෙවන් දරුණු පියවර ගැනීමට හේතු වූ බව ඇතැම් විශ්ලේෂකයෝ පවසති.

Thursday, June 2, 2016

තෙල් මිල පහළ යාමත් සමඟම ගුවන් සමාගම්වල ලාභය ඉහළ යයි

මෙම වසර තුළදී ලෝකයේ ගුවන් ගමන් කර්මාන්තය විසින් ඩොලර් බිලියන 39.4 ක ලාභයක් උපයනු ඇති බව අන්තර්ජාතික ගුවන් ගමන් සංගමය (International Air Travel Association - IATA) පවසයි.

මෙය 2015 දී ඉපයූ ලාභයට වඩා සියයට 12 ක ඉහළ නැඟීමකි. පසුගිය වසරේදී එම කර්මාන්තය උපයා ගන්නා ලද ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 35.3 ක් විය​.

මෙම ලාභයෙන් අඩකටත් වඩා, එනම් ඩොලර් බිලියන 22.9 ක් ම උතුරු ඇමරිකානු සමාගම් විසින් උපයාගනු ඇතැයි අනුමාන කෙරේ. කෙසේ වෙතත් අප්‍රිකානු ගුවන් සමාගම් ඩොලර් මිලියන 500 ක පමණ පාඩුවක් ලබනු ඇතැයි IATAය අනුමාන කරයි.

මේ අතර ගුවන් මගීන් ගේ සංඛ්‍යාව වැඩිවීමේ යම් කිසි අඩුවක් පෙන්නුම් කරන බව ද IATA දත්ත මගින් පෙන්නුම් කෙරේ.
Pic: Magnus Bäck

2015 දී ගුවන් මගීන් සංඛ්‍යාව 7.4% කින් ඉහළ ගිය නමුත් මෙම වසර තුළ එහි ඉහළ යාම 6.2% ක් පමණක් වනු ඇතැයි ගණන් බලා ඇත​.

IATA අධ්‍යක්ෂ ජෙනරාල් සහ ප්‍රධාන විධායක ටෝනි ටයිලර් සඳහන් කරන පරිදි තෙල් මිල පහළ යෑම ගුවන් සමාගම්වල ලාභය කෙරෙහි වැඩියෙන්ම බලපෑමක් කළ සාධකයක් වේ. එමෙන්ම මගී සංඛ්‍යාව​, හවුල් ව්‍යාපාර බිහිවීම සහ ගුවන් සේවාවලට අදාළ අවශේෂ සේවාවන් මගින් ඉපයෙන ලාභය ඉහළ යාමද ගුවන් සමාගම්වල ලාභය කෙරෙහි බලපා ඇත​.

අප්‍රිකාවේ ගුවන් සමාගම් ගිය වසරේ ඩොලර් මිලියන 700 ක පාඩුවක් වාර්තා කළ අතර මෙම වසරේදී එම පාඩුව ඩොලර් මිලියන 500 දක්වා අඩු වීමක් පෙන්නුම් කිරීම වැදගත් කරුණකි. අප්‍රිකානු සමාගම් පාඩු ලැබීමට හේතු කිහිපයක්ම බලපා ඇත​. දිගු ගුවන් ගමන් මාර්ග සඳහා අනෙක් සමාගම් සමග තරඟ කිරීමට සිදු වීම​, අප්‍රිකානු රටවල් අතර ගුවන් ගමන් වැඩි දියුණු වීම කෙරෙහි ඇති දේශපාලනමය බාධා, වියදම් වැඩි වීම සහ යටිතල පහසුකම්වල මඳකම මේ අතර ප්‍රධාන වේ.

පළමු ලෝක යුද්ධය​: 1916 බටහිර පෙරමුණෙන් එපිට

බටහිර පෙරමුණේ වර්ඩුන් සහ සෝම් සංග්‍රාමයන් දෙස යුද්ධයේ වැඩි අවධානය යොමු වද්දී අවශේෂ සටන් පෙරමුණුවලදීද වැදගත් සටන් කිහිපයක්ම සිදු විය.

නැගෙනහිර පෙරමුණ​: රුසියාව සහ රුමේනියාව​

ජර්මනියේ අවධානය වර්ඩුන් සටනින් ඉවතට ගන්නා අටියෙන් 1916 දී රුසියානුවෝ දැවැන්ත ප්‍රහාරයක් දියත් කළහ​. වර්තමාන ලිතුවේනියාවේ අගනුවර වන විල්නියස් නගරයට කිලෝමීටර් 95 ක් පමණ ඊසානදිගින් වන නාර්කෝස් විල් අසබඩින් මෙම රුසියානු ප්‍රහාරය ඇරඹිණ​. එහෙත් එම ප්‍රහාරය අසාර්ථක වූ අතර ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි කරගනිමින් රුසියානුවෝ පසුබැස ගියෝය​.

ට්‍රෙන්ටිනෝ ප්‍රදේශයේ සිට ඔස්ට්‍රියානුවන් විසින් දියත් කෙරුණ ප්‍රහාරයකින් ඉතාලිය දැඩි අපහසුතාවකට පත් වන අතරවාරයේ එරටට එල්ල වූ පීඩනය අඩු කිරීම ද අරමුණු කරගෙන රුසියානු ප්‍රහාරයක් ඔස්ට්‍රා-හන් ගේරියාවට එල්ල වූයේ 1916 ජූනි මාසයේය​. රුසියානු නිරිතදිග පෙරමුණේ අණදෙන නිලධාරියා වූ ජෙනරාල් ඇලෙක්සේයි බෘසිලොව් විසින් මෙම මෙහෙයුමට අණ දෙනු ලැබීය​.
Eastern Front, March 1916. Department of Military Art and Engineering, at the U.S. Military Academy (West Point)

සැප්තැම්බර් මාසය වනවිට එම ප්‍රහාරය අවසන් වූ අතර 500,000 ක පමණ ඔස්ට්‍රා-හංගේරියානු සිරකරුවන් පිරිසක් අල්ලාගැනීමට රුසියානුවෝ සමත් වූහ​. කාර්පේතියානු කඳුකරය දෙසටම පැමිණීමට රුසියානු හමුදාවලට හැකි විය​.

බෘසිලොව්ගේ ජයග්‍රහණවලට හේතු වූ එක කරුණක් වූයේ නිරවද්‍ය කාලතුවක්කු ප්‍රහාරයන් ය​. තවද​, දහස් ගණනින් මිනිසුන් රැළි වශයෙන් ප්‍රතිවාදීනගේ ප්‍රබල ස්ථාන වෙත යොමු කරනු වෙනුවට සටන් පෙරමුණෙහි දුර්වල ස්ථාන සොයාගෙන එදෙසට පහර දීමෙන් පෙරමුණ දුර්වල කිරීම ඔහු ගත් තවත් උපක්‍රමයකි.

මෙම ප්‍රහාරය හේතුවෙන් ඉතාලිය කෙරෙහි වූ පීඩනය මෙන්ම වර්ඩුන් කෙරෙහි වූ පීඩනය ද අඩු වූ අතර ඔස්ට්‍රා-හන් ගේරියානු හමුදාවලට දැඩි අලාභ සිදු වූයේය​. පළමු ලෝක යුද්ධයේදී රුසියානු හමුදා ළඟා වූ උච්චතම ස්ථානය මෙය වූයේය​.

රුසියානු ප්‍රහාරවල සාර්ථකත්වය පිළිබඳව මෙන්ම යුධ ජයග්‍රහණයෙන් පසු සිය සේවයට ත්‍යාගයක් ලෙස ඔස්ට්‍රා-හන් ගේරියාවට අයත් ව තිබූ ට්‍රන්සිල්වේනියාව ලබාගැනීමේ අභිලාශය ඇතිව රුමේනියාව මිත්‍ර පාර්ශවයට එක්ව යුද්ධයට අවතීර්ණ වූයේ අගෝස්තු 27 වනදාය​. ජර්මන් මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ෆොල්කන්හයින් සිය ධූරයෙන් ඉවත්ව නැගෙනහිර පෙරමුණේ සටන් මෙහෙයවීමට පැමිණි අතර ෆීල්ඩ් මාර්ශල් පෝල් ෆොන් හින්ඩන්බර්ග් ඔහුගෙන් පුරප්පාඩු වූ තනතුරට පත් කෙරිණ​. ජෙනරාල් එරික් ලූඩන්ඩෝර්ෆ් හමුදාවේ ක්වාටර්මාස්ටර්ජෙනරල් ලෙස පත් කෙරිණ​. මීළඟ දෙවසරක කාළය තුළ ජර්මනියේ සැබෑ පාලකයෝ වූවෝ ඔවුහු ය​.

අගෝස්තු 27 වනදා රුමේනියානු හමුදා ට්‍රන්සිල්වේනියාවට කඩා වැදුණ අතර සැප්තැම්බර් මුලදී ජර්මනිය ඇතුලු මධ්‍ය බලවතුන් ඔවුනට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කළහ​. වැඩි දිනක් යාමට මත්තෙන් බටහිර දෙසින් ජර්මනිය සහ ඔස්ට්‍රා-හන්ගේරියාව රුමේනියාවට පහර දෙද්දී දකුණින් බල්ගේරියාව සහ තුර්කිය එරටට පහර දුන්හ​​. මෙසේ පෙරමුණු දෙකකදී මධ්‍ය බලවතුන් සිව් දෙනාම සමඟ ගැටීමට රුමේනියාවට සිදු විය​.
Gen. Alexei Brusilov

1917 ජනවාරි වනවිට රුමේනියානු හමුදා යුද්ධයට පෙර ඔවුනට අයත්ව තිබූ ඇතැම් ප්‍රදේශවලින් ද පළවා හරිනු ලැබ තිබුණි. මධ්‍ය බලවතුන් අතට පත්වීමට පෙර ප්ලොඑස්ටි තෙල් ආකරවලට හානි පැමිණවීමට රුමේනියානුවෝ සමත් වූහ​. කෙසේ වෙතත් මෙම තෙල් ආකර මධ්‍ය බලවතුන් අතට පත් වීම ඔවුන් ලද වැදගත් ජයග්‍රහණයක් විය​.

රුමේනියාව යුද්ධයට අවතීර්ණ වීම මධ්‍ය බලවතුනට එක්තරා ආකාරයක වෙස්වලාගත් ආශීර්වාදයක් විය​. යුරෝපයේ කලු මුහුද ආශ්‍රිත ප්‍රදේශයෙන් බටහිරට වන්නට එවක පැවති හොඳම තෙල් ආකර මෙන්ම යුරෝපයේ තිරිඟු නිෂ්පාදනය කෙරෙන ප්‍රධානතම ප්‍රදේශයක් රුමේනියාවේ කොටසක් අල්ලාගැනීමත් සමඟ මධ්‍ය බලවතුනට හිමි විය​.

ඉතාලි පෙරමුණ​

1916 මාර්තුවේ ඉසොන්සෝ නදිය අසළ ඔස්ට්‍රියානුවන්ට පස්වැනි වරටත් පහර දුන් ඉතාලි හමුදා පරාජයට පත් වූහ​. මේ අතර ඔස්ට්‍රා-හන්ගේරියානු හමුදා ට්‍රෙන්ටිනෝ දෙසින් ඉතාලිය වෙත කඩා වැදී ඉසොන්සෝ නදී පෙරමුණෙහි වූ ඉතාලි හමුදා පෙරමුණට පසුපසින් පහර දීමේ උත්සාහයක් දැරූහ​. මෙම උත්සාහය අසාර්ථක වූයේ ඉසොන්සෝ වෙත පිටිපසින් ළඟාවීමට තරම් ශක්තියක් ඔස්ට්‍රියානු හමුදා සේනාංක සතු නොවූ හෙයිනි.

අගෝස්තු මාසයේදී වර්තමාන ඊසාන දිග ඉතාලියේ පිහිටි ගොරිසියාව ඉතාලි හමුදා අතට පත්විය​. මේ අතර අගෝස්තු-නොවැම් බර් සමයේදී තවත් තීරණයක් නොමැති සටන් හතරක් ඉසොන්සෝවේදී සිදු විය​.

බෝල්කන් අර්ධද්වීපය​

බෝල්කන් ප්‍රදේශවල විවිධ යුධ මෙහෙයුම් කිහිපයක්ම 1916 වසර පුරාවට දකින්නට ලැබුණි. මේ අතරවාරයේ ග්‍රීසිය සම් බන් ධ බල අරගලය කලාපයට වැදගත් වූවක් විය​.

ග්‍රීසියේ රජු වූ පළමුවන කොන්ස්ටන්ටයින් යුද්ධයේදී තම රට මධ්‍යස්ථව කටයුතු කරන බව ප්‍රකාශ කළේය​. නමුත් මිත්‍ර පාක්ෂිකයන් චෝදනා කළේ ඔහු මධ්‍ය බලවතුනට ආධාර කරන බවය​. මිත්‍ර රටවල බලපෑම මත 1915 දී සර්බියාව බේරා ගැනීම සඳහා හමුදා යවනු පිණිස සැලෝනිකාව (වර්තමාන තෙසලොනිකි නගරය​) විවෘත කිරීමට රජුට සිදු විය​. කෙසේ වෙතත් එවන් කුඩා උපකාරයකින් සෑහීමට පත් වීමට මිත්‍ර පාක්ෂිකයන් සූදානම් නොවීය​.

තමන් කැමති වුනත් නැතත් යථාර්තයට මුහුණ දීමට කොන්ස්ටන්ටයින් රජුට සිදු විය​. ග්‍රීසිය පැවැතියේ උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක ය​. තවද බෝල්කන් ප්‍රදේශවලට විශාල හමුදාවක් යැවීමට නම් ග්‍රීසිය ඉතා වැදගත් මධ්‍යස්ථානයක් විය​. එහෙයින් ග්‍රීසිය තමන් වෙත හරවා ගැනීමට මිත්‍ර පාක්ෂිකයින් නොගත් උත්සාහයක් නැත​.

මිත්‍ර පාක්ෂිකයනට සහය දැක්වූ හිටපු ග්‍රීක අගමැති එලෙයුතෙරියොස් වෙනිසෙලොස් 1916 සැප්තැම්බරයේදී සැලෝනිකා නගරයෙහි තාවකාලික ග්‍රීක ආණ්ඩුවක් පිහිටෙව්වේය​. මෙම ආණ්ඩුව නොවැම්බර් 3 වනදා ජර්මනියට සහ බල්ගේරියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළේය​. මේ අතර බ්‍රිතාන්‍ය නාවික යාත්‍රා ග්‍රීසිය නාවික වටලෑමකට යටත් කළහ​. දෙසැම්බර් 19 වනදා බ්‍රිතාන්‍යය විසින් තාවකාලික ග්‍රීක ආණ්ඩුව පිළිගන්නා ලදී.

මේ අතර ප්‍රතිසංවිධානය කරන ලද සර්බ් බල ඇණි ද ඇතුලුව මිත්‍ර හමුදාවෝ 1916 අගෝස්තුවේදී සැලෝනිකාවෙන් උතුරට අසාර්ථක ප්‍රහාරයක් දියත් කළ හ​. මෙහි පරාජයෙන් පසු ඔක්තෝබරයේදී නැවතත් මිත්‍ර හමුදා සැලෝනිකාවෙන් උතුරට ගමන් කර මැසඩෝනියාව හරහා මධ්‍ය බලවතුන් පළවා හැරියෝය​. එම හමුදා දෙසැම්බර් මැද වනවිට මැසඩෝනියා-ඇල්බේනියා දේශ සීමාවේ ඔහ්‍රිඩ් විල අසළට පැමිණියහ​.

තුර්කි සටන් පෙරමුණු

1915 දෙසැම්බර් මුලදී වටලන ලද කුට්-අල්-අමාරා නගරයෙහි වූ මිත්‍ර හමුදා 1916 අප්‍රේල් 29 වනදා යටත් වූහ​. මේ අතර 1916 දෙසැම්බරයේදී කුට්-අල්-අමාරා යළි අල්වාගනු පිණිස මිත්‍ර හමුදා සේනාංක දකුණු ඉරාකයේ සිට ගමන් ආරම්භ කළේය​.

අරාබියේ මක්කම ප්‍රධාන ෂාරිෆ්වරයා වූ හුසේන් ඉබන් අලි සාම්ප්‍රදායික අරාබි ජාතකයකු වූ අතර තුර්කි විරෝධියකු විය​. ඔහු තුර්කි පාලනයට එරෙහිව ඇති වූ හෙජාස් කැරැල්ලට නායකත්වය දුන්නේ බ්‍රිතාන්‍ය ආධාර යටතේ ය​. මේ අතර 1916 දෙසැම්බරයේදී ඔහු හෙජාස් හි රජු ලෙස ප්‍රකාශයට පත් කෙරිණ​. කැරැල්ලට ආධාරයක් වනු පිණිස බ්‍රිතාන්‍යයෝ ඊජිප්තුවේ සිට සිනායි අර්ධද්වීපය සහ පලස්තීනයට කඩාවැදී තුර්කි බලකොටු කිහිපයක් අල්ලා ගත් හ​.

ජට්ලන්ත සංග්‍රාමය​

යුද්ධාරම්භය වන විට බ්‍රිතාන්‍යයේ ගැඹුරු මුහුදු නාවික බල ඇණිය ඕර්ක්නි දූපත් හි ස්කාපා ෆ්ලෝ හි නවතා තිබුණේය​. මේ අතර තවත් බල ඇණියක් ඉංග්‍රීසි ඕඩය ආරක්ෂා කිරීමට යොදවා තිබිණ​.

ජර්මනිය සතුවද ප්‍රබල නාවික බල ඇණියක් විය​. එරට උතුරු මුහුදු තොටුපලවල් ආශ්‍රිතව එම නැව් නවත්වා තිබිණ​. මේ අතර ඩ්‍රෙඩ්නෝට් (Dreadnought) වර්ගයේ නෞකා 13 ක් ද විය​.

යුද්ධය ඇරඹී නොබෝ දිනකින්ම උතුරු මුහුදේ ජර්මන් දූපතක් වූ හෙලිගෝලන්තය අසළ රඳවා තිබූ නෞකා ඇණියට පහර දුන් බ්‍රිතාන්‍යයෝ ජර්මන් නැව් තුනක් ගිලාබත් කළහ​. ඊට එකටෙක කිරීමක් ලෙස ජර්මන් සබ්මැරීන විසින් බ්‍රිතාන්‍ය නැව් කිහිපයක් ගිල්වන ලදී. 1914 ඔක්තෝබර් 27 වනදා ඔඩේෂස් (Audacious) නෞකාව ගිල්වීම මේ අතරින් දරුණුතම සිදුවීම විය​.

කෙසේ වෙතත් මින් පසු ජර්මන් උතුරු මුහුදු නෞකා බල ඇණියට එරෙහිව මිත්‍ර පාක්ෂික නෞකා විසින් කිසිදු ප්‍රහාරයක් නොකෙරුණ තරම් ය​. මයින් වෙඩි විසිරුවා හැර තිබූ හෙයින් ජර්මන් වෙරළට ළඟාවීම එතරම් ආරක්ෂා සහගත නොවීය​. නමුත් අනෙක් අතට, බ්‍රිතාන්‍ය නාවික හමුදාව පරාජය කිරීමට තරම් විශාල නෞකා හමුදාවක් ජර්මනිය සතු නොවීය​.

නමුත් 1916 මැයි මාසයේ දිනෙක ජර්මන් නෞකා සිය ආරක්ෂිත වරායවලින් පිටතට පැමිණ බ්‍රිතාන්‍යයන්ට අභියෝග කළේය​. එදින සිදු වූ ජට්ලන්ත සංග්‍රාමයේදී ජර්මන් නෞකා බ්‍රිතාන්‍ය බල ඇණියකට පහරදී විදුලි වේගයෙන් පසු බා ගියහ​. සටනේ වැඩි අලාභහානි බ්‍රිතාන්‍යයට සිදු වූ නමුත් බ්‍රිතාන්‍ය නාවික ශක්තියට පහර දීමට එවන් කෙනිත්තීමක් ප්‍රමාණවත් වූයේ නැත​.

සාමය සඳහා යෝජනා

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති වුඩ් රෝ විල්සන් 1916 දී සාම සාකච්ඡා සඳහා යෝජනාවක් දෙපක්ෂය වෙතටම යොමු කළේය​. මෙහිදී මධ්‍ය බලවතුන් විසින් ඊට කැමැත්ත පළ කෙරිණ​. නමුත් ඒ පිළිබඳ ඔවුන් කිසිදු කොන් දේසියක් ඉදිරිපත් කළේ නැත​. තවද​, එවකට යුද්ධයේ වැඩි වාසි තිබුණේද ඔවුනටය​. එහෙයින් මිත්‍ර පාක්ෂිකයෝ එම යෝජනාව ප්‍රතික්ෂේප කළහ​.

කළින් ලිපිය​: වර්ඩුන් සහ සෝම්

Wednesday, June 1, 2016

හිලරි ක්ලින්ටන් කැලිෆෝර්නියාවෙදී බර්නි සැන්ඩර්ස් පරදවන ලකුණු

ඇමරිකා එක්සත් ජනපදයේ වැඩිම ඡන්ද දායකයින් පිරිසක් වසන කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපතිවරණ නාමයෝජනා සටනේ මූලික ඡන්ද විමසීම ජූනි 7 වනදා පැවැත්වීමට නියමිත ය​.

කැලිෆෝර්නියාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ හූවර් ආයතනය විසින් කළ සමීක්ෂණයකට අනුව මේ වනවිට එම ප්‍රාන්තය තුළ ඩිමොක්‍රටික් මූලික වටයේ ඡන්ද විමසීමට සම් බන් ධ වන්නන් අතර හිලරි ක්ලින්ටන් ගේ ජනප්‍රියත්වය බර්නි සැන්ඩර්ස්ගේ ජනප්‍රියත්වයට වඩා සැළකිය යුතු මට්ටමකින් ඉහල අගයක පවතී.

සමීක්ෂණයට සහභාගී වූවන් සියයට 51 ක් ක්ලින්ටන් තෝරාගනිද්දී සැන්ඩර්ස්ට ඡන්දය දෙන බව  ප්‍රකාශ කර තිබුණේ සියයට 38 ක් පමණි.

කෙසේ වෙතත් වයස අවුරුදු 30 ට අඩු අය අතර මෙන්ම ස්වාධීන ඡන්ද දායකයන් අතරද ක්ලින්ටන්ට වඩා ඉතාමත් ඉදිරියෙන් සැන්ඩර්ස් සිටින බව මෙම සමීක්ෂණය විසින් පෙන්නුම් කරන ලදී. තරුණ ඡන්ද දායකයන් අතර සැන්ඩර්ස්, ක්ලින්ටන්ට වඩා සියයට 31 ක ජනප්‍රියත්වයක් වාර්තා කළේය​.

කෙසේ වෙතත් මේ වනවිට ඩිමොක්‍රටික් නාම යෝජනා සඳහා ක්ලින්ටන්ට අවශ්‍ය වන්නේ තවත් නියෝජිතයන් 73 ක් පමණි. විශේෂයෙන්ම පක්ෂයේ සුපිරි නියෝජිතයන් අති විශාල පිරිසක් ක්ලින්ටන්ට සහය පළ කර සිටීම මෙහිදී ඉතා වැදගත් සාධකයක් වී තිබේ. සාමාන්‍ය නියෝජිතයන් 4,051 දෙනකු තෝරාගැනීමට ප්‍රාන්‍ත මට්ටමෙන් මේ වනවිට පැවති මූලික ඡන්ද විමසීම්වලදී, ක්ලින්ටන් නියෝජිතයන් 1,769 දිනාගෙන සිටින අතර සැන්ඩර්ස් 1,499 දෙනකු දිනාගෙන සිටියි. නමුත් 'සුපිරි නියෝජිතයන්' (Super Delegates) 541 ක් ක්ලින්ටන්ට සහය පළ කරද්දී සැන්ඩර්ස් වෙත සහය දක්වන්නේ 43 දෙනකු පමණි.

කැලිෆෝර්නියාවේදී තෝරාගැනීමට නියමිත සමස්ථ නියෝජිත සංඛ්‍යාව 475 කි.

කැලිෆෝර්නියා සටන සැන්ඩර්ස්ගේ නාමයෝජනා සටනේ අවසන් කඩඉම වනු ඇති බව බොහෝ දෙනා විශ්වාසය පළ කරති.