Wednesday, October 7, 2020

රුසියාවේ නායකත්වය දක්වා පුටින් පැමිණි ගමන් මග​

රුසියානු ජාතිකයන් සාමාන්‍යයෙන් උස මහත අය බවයි අප දැක ඇත්තේ. එහෙත්, රුසියාවේ නායකයා, ව්ලදිමීර් පුටින්, ඒ ආකාරයේ අයකු නොවේ. ලෝකයේ ප්‍රධාන පෙළේ නායකයන් අතර වුවද ඔහු එතරම් විශාල ශරීරයක් ඇති අයකු නොවේ. එහෙත් ඔහු ඒ නායකයින් ඕනෑම අයකු හා කරට කර සිටිය හැකි පෞර්ෂයකින් යුතු අයෙක්.

එතරම් උස මහත නැති මේ පුද්ගලයා 1999 දී රුසියාවේ අගමැති බවට පත් වූයේ දේශපාලන තත්ත්වය ඉතාම අස්ථාවර අඩියක පැවති සමයේදී. එකල ඔහු පිළිබඳ විශේෂ විශ්වාසයක් ඇති වූයේ නැහැ. නමුත් කල් යාමේදී ඔහු සිය බලය තහවුරු කරගත්තේ කිසිවකුට ඔහුට අභියෝග කරන්නට ඉඩක් නැති කරමින්.


“මොස්කව් නිහඬයි”

ව්ලදිමීර් පුටින්ගේ ජීවිතය හැඩ ගැස්වීමට හේතුවූ එක් සිද්ධියක් පිළිබඳව බීබීසීයට ලියන ලද ලිපියක ක්‍රිස් බවුල්බි සඳහන් කරනවා.

ඒ 1989 දෙසැම්බර් 5 වනදා. බර්ලින් තාප්පය බිඳ වැටී ගතව තිබුණේ මාසයකටත් අඩු කාලයක්. නැගෙනහිර ජර්මනියේ තිබූ විශාලම නගරයක් වූයේ ඩ්‍රෙස්ඩෙන් නගරයයි. මෙදින එම නගරයේ විරෝධතාකරුවන් පිරිසක් නැගෙනහිර ජර්මන් රහස් ඔත්තු සේවය වූ ස්ටාසි ආයතනයේ ඩ්‍රෙස්ඩෙන් නගර මූලස්ථානයට කඩා වැදුණා. කොමියුනිස්ට් පාලනය බිඳ වැටෙමින් තිබූ මේ කාලයේ ස්ටාසි නිලධාරීන්ට කරකියා ගන්නට දෙයක් තිබුණේ නැහැ. ඉතින් විරෝධතාකරුවන් රිසි සේ එම ගොඩනැගිල්ලේ සැරි සැරුවා.

මේ අතර එම පිරිසෙන් කොටසකට අදහසක් පැමිණියා එම වීථියේ විරුද්ධ පස පිහිටා තිබූ සෝවියට් කේජීබී කාර්යාලයට කඩා වදින්නට. මේ අනුව ඔවුන් එම ස්ථානයට යනවිට එහි මුරට සිටි භටයා ගොඩනැගිල්ල තුළට දිව ගියා.

මේ අවස්ථාවේ එක් නිලධාරියකු එතැනට ඇවිත් උද්ඝෝෂකයන් ඇමතුවා. “මේ ගොඩනැගිල්ලට ඇතුළු වන්න එපා! මගේ සගයින් ආයුධ සන්නද්ධවයි ඉන්නේ. ඔවුනට අණ දී තිබෙන්නේ ප්‍රශ්නයක් වුණොත් වෙඩි තබන්නයි” ඔහු කීවා.

උද්ඝෝෂකයන් ආපසු හැරී ගියා.

මෙම නිලධාරියා වුණේ ව්ලදිමීර් පුටින්.

කෙසේ නමුත් තත්ත්වය කෙතරම් බැරෑරුම් ද යන්න පුටින් දැන නොසිටියා නෙවෙයි. ප්‍රදේශයේ සෝවියට් රතු හමුදාවට අයත් යුධ ටැංකි බලකායක් රඳවා තිබුණා. ඔවුන්ගෙන් ආධාර ඉල්ලූ අවස්ථාවේ කේජීබීයට ඔවුන් කියා සිටියේ මොස්කව් නුවරින් අණක් නොමැතිව තමන්ට මැදිහත් විය නොහැකි බවයි.

“මොස්කව් නිහඬයි” ඔවුන් කියා සිටියා.

මේ සමයේ මිහායිල් ගොර්බචොෆ්ගේ සෝවියට් රජය නැගෙනහිර යුරෝපයේ “මිතුරන්” තම කටයුතු තමන්ම බලාගත යුතු බවත්, සෝවියට් දේශය එම රජයන් ආරක්ෂා කිරීමට මැදිහත් නොවන බවත් දන්වා තිබුණා. නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් විරෝධී උද්ඝෝෂණ ඇති වෙද්දී ගොර්බචොෆ් ඒවා මර්දනයට කටයුතු කළේ නැහැ. එයින් එම උද්ඝෝෂණ ජය ගත් අතර නැගෙනහිර ජර්මනියේ කොමියුනිස්ට් රජයන් කඩා වැටුණා.

කේජීබී නිලධාරියකු වශයෙන් ව්ලදිමීර් පුටින් මේ පිළිබඳව හොඳ අවධානයකින් සිටි බව නොරහසක්. නමුත් සිය රටේ ඇතිවන විපර්යාසයන්ට එරෙහිව සුළු නිලධාරියෙකු ලෙස සටන් කිරීම අපහසු බව ඔහුට තේරුම් යන්නට ඇති.

නිහඬ වූ මොස්කව් නුවර පරිපාලනය යළි ශක්තිමත් කිරීමට ඔහුට අවස්ථාව ලැබුණේ ඔහු එහි පාලනය අතට ගත් පසුවයි.

මුල් කාලය

ව්ලදිමීර් පුටින් උපන්නේ 1952 ඔක්තෝබර් 7 වනදා වර්තමානයේ සාන්ත පීටර්ස්බර්ග් නමින් හඳුන්වන ලෙනින්ග්‍රෑඩ්හිදී. ඔහු 1970 දී ලෙනින්ග්‍රෑඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලයට බැඳී නීතිය හැදෑරුවා. 1975 දී උපාධිය නිම කළ පුටින් සෝවියට්හි ප්‍රධාන ඔත්තු සේවය වූ කේජීබීයට බැඳුණා. ඔහු ඩ්‍රෙස්ඩෙන් නගරයේ රාජකාරි කළේ 1985 – 1990 සමයේ. ඔහුට මනා ලෙස ජර්මන් භාෂාව හැසිරවිය හැකියි.

පුටින් කේජීබීයෙන් ඉවත් වී එවකට ලෙනින්ග්‍රෑඩ් නගරාධිපති වූ අනතෝලි සොබ්චක් යටතේ සේවය කිරීමට පටන් ගත්තා. ඔහු රැකියාව පටන් ගන්නේ සොබ්චක්ගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකයා ලෙස කටයුතු කරමින්. පසුව, 1996 දී සොබ්චක් නැවත නගරාධිපති තරඟයට ඉදිරිපත් ව පරාජය වුණා.

මේ වෙද්දිත් අනිවාර්යයෙන් ම පුටින්ට රජයේ ඉහළ පුද්ගලයන් සමඟ සබඳතා තිබුණා. ඇත්තෙන්ම සොබ්චක්ගේ පරාජය පුටින්ට වෙස්වළාගත් ආශීර්වාදයක් වුණේ ඔහුට මොස්කව් නගරයට යෑමට එයින් මග පෑදුණ නිසයි.

ඔහු එවක ජනාධිපති බොරිස් යෙල්ට්සින්ගේ කාර්ය මණ්ඩලයේද කලක් කටයුතු කළා. 1998 දී ඔහු එෆ්.එස්.බී ආයතනයේ අධ්‍යක්ෂ තනතුරට පත් කරනු ලැබුවෙ. එෆ්.එස්.බී යනු සෝවියට් සංගමය බිඳ වැටුණ පසු කේජීබීය වෙනුවට ස්ථාපිත කරන ලද ආයතනය යි. ඒ අර්ථයෙන් බැලූ විට පුටින් සිය පැරණි ආයතනයේ ම ප්‍රධානියා බවට පත් වූවා කියාත් සැළකිය හැකියි.

1999 අගෝස්තුවේදී බොරිස් යෙල්ට්සින් ඔහුව සිය අගමැති ලෙස පත් කර ගත්තා.

චෙච්නියාව

පුටින් අගමැති බවට පත් වූයේ රටේ දේශපාලන තත්ත්වය අස්ථාවරව පවතින සමයකයි. යෙල්ට්සින්ගේ ධූර කාලය 1999 දෙසැම්බර් 31 වනදා නිම වීමට නියමිතව තිබුණා. ඔහු රෝගාතුරව සිටි අතර ඔහුගේ රජය ද එතරම් ස්ථාවර වූයේ නැහැ. එම වසරේ මැයි මාසයේදී ද ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණා. එමෙන්ම අගමැතිවරුන් සහ කැබිනට් ඇමතිවරුන් ද නිතර මාරු කරන්නකු ලෙසත් යෙල්ට්සින් ප්‍රසිද්ධව සිටියා.


එමෙන්ම යෙල්ට්සින් යටතේ රුසියාව අතිශයින් ම නරක අඩියක පැවතුණා. ඇතැම් කාලවල යුධ හමුදාවට මාස ගණන් වැටුප් ගෙවා තිබුණේ නැහැ. යුධ හමුදාවේ නිලධාරීන් අතර සිය දිවි නසාගැනීම් සුලබ වුණා. යුධ හමුදාව කෙතරම් කඩා වැටී තිබුණාද කිවහොත් මිලියනයක පමණ ජනගහනයක් සිටි කුඩා චෙච්නියාවේ බෙදුම්වාදීන්ට එරෙහිව කළ පළමු චෙච්නියා යුද්ධයේදීම රුසියානු හමුදා ලජ්ජා සහගත ලෙස පරාජය වුණා.

මේ තත්ත්වය යටතේ පුටින් අගමැති වීමත් සමඟ ඉස්ලාමික අන්තවාදී චෙච්නියානු බෙදුම්වාදීන් යාබද ඩගෙස්ථානය ආක්‍රමණය කළා. ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ මොස්කව් හි අස්ථාවර පාලනය ඔවුන් හමුවේ පසු බසිනු ඇති යන්නයි.

නමුත් එ් වන විට මොස්කව්වල පාලනය ගෙනගියේ නිහඬ අයකු නොවේ. යෙල්ට්සින් රෝගාතුර වීම නිසා දෙවන චෙච්නියානු යුද්ධය තනිකරම පාහේ පුටින්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණා.

මෙම යුද්ධයේදී මුලින්ම රුසියානු හමුදා ඩගෙස්ථානයට කඩා වැදුණ කැරලිකරුවන් එළවා දැම්මා. ඉන්පසු 1999 ඔක්තෝබරයේදී රුසියානු හමුදා චෙච්නියාවට කඩා වැදුණා. ඔවුන් සෙමින්, නමුත් ඉතා සාර්ථකව යුද්ධය කරගෙන ගියා.

පුටින් යටතේ මොස්කව් තව දුරටත් නිහඬ නොවන බව චෙච්නියානු බෙදුම්වාදීන් පමණක් නොව සමස්ථ ලෝකයම දැනගත්තා.

එවක පැවති රුසියානු නීතිය අනුව ජනාධිපතිවරණය පැවැත්වුණේ මැයි මාසයේ. 1999 දෙසැම්බර් 31 වනදා පටන් 2000 මැයි 7 දක්වා පුටින් එරට වැඩබලන ජනාධිපති වුණා. ඒ කාලයේ චෙච්නියානු යුද්ධයේ සාර්ථකත්වය ඔහුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට කෙළින් ම බලපෑවා. පළමු වටයේදීම සියයට 53.4 ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත් පුටින් ජනාධිපති ලෙස පත් වුණා.

No comments:

Post a Comment