Monday, May 28, 2018

ලියන්නෙ කොහොමද? - පළමු සටහන

අපි සමහරක් දෙනා ලියන්න ආසයි. විශේෂයෙන් ම කියවන්න ආස අය ලියන්නත් ආසයි. වෙන කෙනෙක් ලියපු පොතක්, ලිපියක් ආදිය කියවද්දි අපට ඒ අදහස එනවා.

මම කතා කරන්න යන්නෙ ප්‍රබන්ධ ගැන නෙවේ. ලිපි ලියන එක ගැන. මේක ම දියුණු කරලා ප්‍රබන්ධ නොවන පොත් ලියන තැනට අපට යන්න බැරි නැහැ.

මේ සටහන් පරම සත්‍යය නෙවේ. මට හිතෙන දේ පමණයි.

ලියද්දි වැදගත් කාරණා ගණනාවක් තියෙනව. නමුත් මම හිතන්නෙ වැදගත් ම කාරණේ තමයි අධ්‍යයනය කිරීම. තමුන් වඩා හුරු පුරුදු විෂයන් ඇති. (ඒ ගැනත් අපි පස්සෙ කතා කරමු). නමුත් ගොඩක් ම ටෙක්නිකල් විෂයක් නෙවේ නම්, තමුන් ලියන දේ ගැන හොඳ අදහසක් වගේ ම ඒ අවට පරිවාර දේ ගැනත් සාමාන්‍ය අදහසක් තිබීම වැදගත්.

මම කැමති විෂයන් සලකමු. මම ඉතිහාසය සහ ලෝක දේශපාලනය ගැන උනන්දුයි. එතකොට මම ඒ සබ්ජෙක්ට් අතුරිනුත් සමහර දේවල් ගැන ගොඩක් උනන්දුයි. මට දෙවනි ලෝක යුද්ධය ගැන ගොඩක් දේවල් මතකෙන් කියන්න පුලුවන්. මට පේන විදියට උතුරු කොරියාව ගැන ලංකාවෙ කියවන, ලියන අය අතරින් උඩින් ම ඉන්න කෙනෙක් මම. හැබැයි මට ආර්ජන්ටිනාව, බ්‍රසීලය වගෙ රටවල්වල ඉතිහාසය ගැන තියෙන්නෙ සාමාන්‍ය දැනුමක් විතරයි.

හැබැයි මම ඒ හැම දේ ගැනම ඉගෙන ගන්නව. උතුරු කොරියාව ගැන (එක උදාහරණයක් විතරයි) ගොඩක් කියවනව. අනික් රටවල් ගැන සාමාන්‍ය තරමට කියෝනව.

එහෙම ලොකු වපසරියක් අල්ලල තියෙන එක වැදගත් වෙන්නෙ අවශ්‍ය වුනොත් ඒ වගේ දෙයක් ගැන වුනත් ලියන්න පුළුවන් නිසා.

උදාහරණයක් විදියට මගෙ අත් දැකීමක් කිව්වොත්, 2017 නොවැම්බර්වල සිම්බාබ්වේ කුමන්ත්‍රණය වෙද්දි මම සිම්බාබ්වේ ගැන සැලකිය යුතු මට්ටමකට කියවලා තිබ්බෙ. එතකොට එහෙ වෙන්නෙ මොනවද කියන එක තේරුම් ගන්න ඒක ගොඩක් පහසු වුණා.

(කියවනවා/අධ්‍යයනය කරනවා කියන්නෙ ඉන්ටර්නෙට් එකෙන් කියවන එක විතරද? එහෙම විතරක් කලා ම ඇති ද? මදි ද? ඒ ගැනත් අපි පස්සෙ කතා කරමු)

ඕකෙ තව පැත්තක් තමයි අනික් දේවල් ගැන කියවන්නෙ නැතුව එක දෙයක් ගැන විතරක් කියවලා ඒ ගැන විතරක් ලියන එක. උදාහරණයක් කීවොත් චීනය ගැන දන්න කෙනෙක්ට චීනය ගැන විතරක් ම ලියන්න පුළුවන්.

හැබැයි අර ලොකු වපසරියක් අධ්‍යයනය කරන එකේ ම අනික් කතාවක් තියෙනව. ඒ කතාව මේ වගේ එක මාතෘකාවක් ගැන ලියන කෙනෙක්ටත් වැදගත්.

මම සාමාන්‍යයෙන් ඉතිහාසය කිව්වම වැඩි අවධානය යොමු කරන්නෙ දේශපාලන ඉතිහාසයට. හැබැයි ඒක ආර්ථික ඉතිහාසයෙන් වියුක්ත නැහැ. ඒ නිසා ආර්ථික කරුණු ගැන පොඩි හරි දැනුවත්කමක් වැදගත්. (වැඩි විස්තර පසුවට) ඒ විතරක් නෙවේ. අපි හිතමු අපි නැපෝලියන් ගැන ලියනව කියල. එතකොට ඒ කාලෙ තිබ්බ යුධ ආයුධ, උපක්‍රම වගේ දේවල් ගැනත් දැනගන්න එක වැදගත්.

මේවා ගැන මහ ලොකු දැනුමක් ඕන නෑ. කලින් කියවල තියෙන්න ඕනත් නෑ. සරලව ම කිව්වොත් මෙච්චරයි. ඔයා නැපෝලියන් ගැන ලියනවා නම් ඒ කාලෙ යුධ ආයුධ, උපක්‍රම වගේ දේවල් ගැන අධ්‍යයනයක් නැතුව ලියන්න පටන් ගන්න එපා. ඒ ගැන පොඩි හරි අධ්‍යයනයක් කරන්න.

ලෝක නිව්ස් ලියන්න ගිහින් ලංකාවෙ ගොඩක් අය අනාගන්නෙ ඊට සම්බන්ධ පසුබිම් කතා නොදන්නා නිසා. ඊටත් වඩා, ඒවා දැනගන්න ඕනකමක් නැති නිසා. ඒ අය හිතනවා නිව්ස් ලියනව කියන්නෙ මොකක් හරි පුවත් සේවයක ගිය රිපෝර්ට් එකක් පරිවර්තනය කරන එක කියලා.

ඒ අයට අමතක වෙනවා, ඒ පුවත් සේවයෙ ලිපිය ලියන කෙනා ඒක ලියන්නෙ පසුබිම් කතාව දැනගෙන කියලා.

තව ප්‍රශ්නයක් තියෙනව. ඉංග්‍රීසි දැනුම අඩු වීම සමහර අයට සමහර විෂයන් ගැන අධ්‍යයනය කරන්න බාධාවක්. ඒ ගැන අපි පස්සෙ කතා කරමු.

පසුවට කතා කරන්න දේවල් ගොඩයි. කමක් නෑ. ඒවා පසුවට. මේක අපි පියවරෙන් පියවර යමු. මේ ලිව්ව දේ ගැන ඔයාලගෙ අදහස් ලියන්න.

3 comments:

  1. ප්‍රවීන ලිපි රචකයෙක් ලියන්නේ කොහොමද කියලා මෙහෙම කියලා දෙන එක හරි වටිනවා.

    හොඳ ලියන්නෙක් වෙන්න නම් හොඳ කියවන්නෙක්,හොඳ අහුම්කන්දෙන්නෙක් වීම වැදගත් කියලා මම හිතනවා.

    ReplyDelete
  2. මේ කියපු කාරණා ඔක්කොම ඇත්ත සහ වැදගත් ලියන කෙනෙකුට... මූලාශ්‍ර පරිශීලණය කරනකොට ඒවයේ සත්‍ය අසත්‍යතාවය තහවරු කරගන්න එකත් වැදගත්.. සමහර අන්තර්ජාලයේ තියන මූලාශ්‍ර සත්‍යයෙන් බොහොම දුරස්...

    ReplyDelete
  3. Wedagath lipiyak. Sthuuthiyi
    jayaweawaa!!!

    ReplyDelete