Sunday, December 21, 2014

කොළ​ එළිය වැටී ඇත​

මේ කවියක් ද යයි මම නොදනිමි. නමුත් මෙය කතාවකි. ඇතමෙකුට මෙය කවියක් විය හැක​. එසේ නොවන්නට ද ඉඩ ඇත​. නමුත් මේ කතාවකි. එක කතාවක් නොව කතා කිහිපයකි. ඕනෑ අතකට කතාව ගොඩ නැඟීම කියවන්නා සතු අයිතියකි.
සේයාරුව​: රසික කොටුදුරගේ

කොළ​ එළිය වැටී ඇත​
යන්නට ඉදිරියට​
දකිනට කොටු පවුර නැති කොටුව​
කිංග්ස්බරි
ගලදාරි
ඉනුත් එපිටින් GOH
කාර්ගිල්ස් ඇන්ඩ් මිලර්ස්
චැතැම් ස්ට්‍රීට්
දන්නෝ බුදුන්ගේ ගීය​
ඇසෙන සුද්දගේ වෙලා ස්ථම්භය​
බෝම්බයක රුදු හඬ​
දැනුත් කන​ වැකෙන​
ඒ මහා බැංකුව​
රජකු සිරගත කළ​
පුංචි කුටියෙන් එපිට​
රජ ගෙදර තුළට නොව​
අබියසට යන්නට​
කොළ එළිය වැටී ඇත​

Thursday, December 4, 2014

රුකාට උදව් කරපු හැමෝටම​...

මෙච්චර දවසක් ලියන්න වෙච්ච නැති එක ගැන කණගාටු වෙනවා. ලියන්න දේවල් හිතට ආවත් ලියන්න හිතුනෙ නෑ. කෙනෙක් දාල ගියාම මොනවා ලියන්නද​?

මේ අවුරුද්දෙ ජූනි 8 වෙනිදා අපිත් එක්ක වැඩ කරපු රුක්ශාන් චන්දික අබේවංශ​, ඒ කියන්නේ අපේ 'රුකා' රිය අනතුරකට ලක් වුනා. ඒ ගැන අපි විවිධ අය විවිධ විදියට විවිධ තැන්වල සඳහන් කලා. රුක්ශාන් වෙනුවෙන් බොහෝ දෙනෙක් උදව් උපකාර කළා.

අපි විශ්වාස කලා රුක්ශාන් සනීප වෙලා ආපහු නැගිටියි කියලා. නමුත් ඔහු නැගිට්ටේ නැහැ. පහුගිය නොවැම්බර් 30 වෙනිදා හිමිදිරියේ ඔහු අන්තිම හුස්ම හෙලුවා.

එදත් ඉරිදාවකි
හිමිදිරි උදයකි
අදත් ඉරිදාවකි
හිමිදිරි උදයකි

ඔන්න ඕකයි මට මුලින්ම මතක් වුනේ.

කිසි කෙනෙකුට අදහාගන්න බැහැ. අපේ එක මිත්‍රයෙක් කියාපු විදියට රුක්ශාන් හොරු අරගෙන ගියා වගේ... ඇත්තෙන්ම ඔහු හිටපු තත්ත්වයෙන් ගොඩක් හොඳ අතට හැරුණා. රුකා නැතිවෙන්න පැය ගාණකට කලින් මම වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් හිතාගෙන ගියේ ඔහු හොඳ අතට හැරුන බව කියලා උදව් කරපු අයට ස්තූති කරලා පොඩි සටහනක් ලියන්න​. නමුත් වුනේ වෙන එකක්...

මා මේ ලියන්නේ රුක්ශාන් වෙනුවෙන් පුලුවන් හැටියට, පුලුවන් විදියට​, පුලුවන් දේකින් උදව් කරපු හැමෝටම පුලුවන් විදියට ස්තූති කරන්නයි.

බොහොම පින් සිද්ධ වෙනවා කරපු හැම දේකටම​...

Thursday, October 9, 2014

පළමු ලෝක යුද්ධයට මග විවර කල අන්තර්ජාතික අර්බුද

පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර වසර ගණනාවක් තිස්සේ යුරෝපා බලවතුන් අතර විවිධ අර්බුද ඇති වූ අතර බෝල්කන් අර්ධද්වීපයේ යුද්ධ පවා ඇතිවිය. එයින් සමහරක් පිළිබඳ සළකා බැලීම මෙම ලිපියේ අරමුණයි.

යුරෝපය (1914) ලෝක යුද්ධය ඇරඹීමට පෙර​ (wwnorton.com)
අප්‍රිකාව

1. මොරොක්කෝ අර්බුදය

යටත් විජිත සමයෙහි ප්‍රංශය මොරොක්කෝව දෙස කෑදර බැල්මෙන් බලාසිටි බව නොරහසකි. විශේෂයින්ම උතුරු මොරොක්කෝ වෙරළ මධ්‍යධරණී මුහුදට වන පිවිසුම් මාර්ගයක් වන ජිබ්රෝල්ටා සමුද්‍ර සන්ධියට යාබද වීම මෙම ගිජුබවට එක් ප්‍රධාන හේතුවක් විය. ප්‍රංශය ඉල්ලා සිටියේ මොරොක්කෝවේ අනාගතය තීරණය කිරීම සඳහා අන්තර්ජාතික සමුළුවක් පැවැත්විය යුතු බවයි. මේ අතර යටත් විජිත සටනට අලුතෙන් එක්ව සිටි ජර්මනියද මොරොක්කෝව දෙස දෑස් දල්වා බලා සිටියේය. ප්‍රංශයේ ඉල්ලීම් ඇතිවන වකවානුවේ ජර්මනියේ කයිසර් හෙවත් අධිරාජයා වූ II වන විලියම්, මොරොක්කෝවේ ටැන්ජියර් නගරයේ සංචාරය කළේය. ඔහු මොරොක්කෝ සුල්තාන්වරයාගේ නිදහස ආරක්ෂා කරදීමට පොරොන්දු වූයේය.

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ රුසියානු මිත්‍රත්වය පරාජය කිරීමට තරම් ශක්තියක් ජර්මනියට ඒ වනවිට නොතිබිණ. 1906 දී, ඇල්ජිසිරාස් නගරයේදී මොරොක්කෝව පිළිබඳ යුරෝපා බලවතුන්ගේ සමුළුව රැස් වූ විට ප්‍රංශ පොලිසියක් එරටෙහි පිහිටුවීම වැළැක්වීමට ජර්මනියට නොහැකි විය. හේතුව වූයේ බ්‍රිතාන්‍යය සහ රුසියාව ප්‍රංශයට ලබාදුන් සහයෝගයයි. මේ අනුව, ප්‍රංශය මොරොක්කෝවට හමුදා යැවීමේ පළමු පියවර තැබීය.

2. අගදීර් අර්බුදය

1911 දී ප්‍රංශ හමුදා මොරොක්කෝවට යවන ලද කල්හි, විරුද්ධත්වයකින් තොරව එරට යටත් කරගනු දැකීමට අකැමති වූ ජර්මනිය 'පැන්තර්' සහ 'බර්ලින්' නම් යාත්‍රා දෙකක් එරට අගදීර් වරාය වෙත යැවීය. මෙහිදී ජර්මනිය මධ්‍යධරණී මුහුදේ නාවික මධ්‍යස්ථානයක් ලබාගනු ඇතැයි බිය වූ බ්‍රිතාන්‍යය වහා ක්‍රියාත්මක විය. බ්‍රිතාන්‍යයේ මුදල් ඇමති වූ ඩේවිඩ් ලොයිඩ් ජෝර්ජ් ජර්මනියට යුධ වදින බවට තර්ජනය කළේය. එවන් යුද්ධයකට කිසිදු සූදානමක් නොවූ ජර්මනිය පසු බැස්සේය. මොරොක්කෝවේ ප්‍රංශ බලය පිළිගත් ජර්මනියට ඒ වෙනුවෙන් වන්දි ලෙස කැමරූන් අසළ ප්‍රදේශයක් ලැබුණි.

ඇල්ජිසිරාස් සම්මුතිය අනුව මොරොක්කෝවේ පොලිස් බලය පිහිටුවීමට බලය තිබුණේ ප්‍රංශයට සහ ස්පාඤ්ඤයටය. ජර්මනිය අගදීර් වෙත යුධ නැව් යැවීම මගින් එම සම්මුතිය උල්ලංඝනය කල නමුත් යලිත් එරට ත්‍රි-පාර්ශවික මිත්‍රත්වය හමුවේ පරාජය වූයේය.

3. ඉතාලි-තුර්කි යුද්ධය

අප්‍රිකාවේ යටත් විජිත පිහිටුවීමට වලිකෑ රටවල් අතරට ඉතාලිය එක් වූයේ බෙහෙවින් ප්‍රමාද වීය. එරට 1885 දී එරිට්‍රියාවද 1892 දී ඉතාලි සෝමාලිලන්තයද අත් පත් කරගත්හ. නමුත් මේ ප්‍රදේශ දෙකම එතරම් වටිනා ප්‍රදේශ නොවීය. 1896 දී ඇබිසීනියාව (ඉතියෝපියාව) අල්ලාගැනීමට කල උත්සාහය කෙළවර වූයේ අඩුවා සටනේදී ලද ලජ්ජාසහගත පරාජයෙනි. මේ නිසා ඉතාලි ජාතිකයනට කාන්තාර ප්‍රදේශ කිහිපයකින් සෑහීමට පත් වීමට සිදුව තිබුණි.

මේ කාළයේ ට්‍රිපොලි ප්‍රදේශය හිමිව තිබුනේ ගරා වැටෙමින් පැවති ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයටය. බොහෝ දුරට කාන්තාරයක් වූ අතර ඉතාලිය සහ තුර්කිය අතරේ කිසිදු දබරයක්ද නොවීය. තවද, දෙරටම ජර්මනියේ හොඳ මිතුරන්ද වූහ. නමුත් කිසිවක් හෝ ලබාගැනීමට මාන බැලූ ඉතාලියට එය එතරම් වැදගත් කරුණක් නොවුණි. ඉතාලිය තුර්කියට එරෙහිව යුධ ප්‍රකාශ කලේ ජාතික ව්‍යාපාරය විසින් ඉදිරිපත් කරන ලද විදෙස් වෙළෙඳාම පිළිබඳ අවහිරතා නිසා ඇතිවූ අයහපත් වාතාවරණයත් මධ්‍යයේය. ඉතාලියට එරෙහිව සටන් කිරීමට ප්‍රදේශයේ වූයේ සාපේක්ෂව කුඩා හමුදා ශක්තියකි. නමුත් ඔටෝමන් තුර්කි හමුදා සහ ස්වදේශික අරාබි හා බර්බර් සටන්කාමීන්ගෙන් ඉතාලියට ප්‍රබල අභියෝගයක් එල්ල වූයේය. තුර්කි යුධ ව්‍යාපාරය නවත්වා දැමීමට සිදු වූයේ බෝල්කන් යුද්ධ හේතුවෙනි.

ජර්මනියේ මිතුරකු වූ තුර්කියට එරෙහිව ඉතාලිය යුධ වැදීම ජර්මන්-ඔස්ට්‍රියානු-ඉතාලි ත්‍රි-පාර්ශවික මිත්‍රත්වයට දරුණු පහරක් වූයේය.

බෝල්කන් අර්ධද්වීපය

1878 බර්ලින් සංගමයට පසු පළමු ලෝක යුද්ධය වනතුරු බෝල්කන් අර්ධද්වීපය විවිධාකාර අර්බුදවලට තෝතැන්නක් විය. ප්‍රධාන බලවතුන් මේවාට කෙලින්ම සම්බන්ධ වූයේ නැතත්, වක්‍රාකාරයෙන් විවිධ බලපෑම් කළහ. කෙසේ වෙතත් බෝල්කන් අර්ධද්වීපයට 'යුරෝපයේ පොර පිටිය' යයි අතීතයේ නමක් පටබැඳුනේ වෙනත් රටවල් එහි ගොස් යුද්ධ කරන නිසා නොවේ. ඒ සඳහා අවශ්‍ය තරම් විවිධාකාර කණ්ඩායම් එම ප්‍රදේශයේ සිටියෝය.

බර්ලින් සංගමයට පෙරද බෝල්කන් ප්‍රදේශවල රාජ්‍යයන් කිහිපයක් ස්වාධිනත්වය ප්‍රකාශ කර තිබුණහ. මේ අතර 1878 දී බල්ගේරියාව සහ මොන්ටිනීග්‍රෝව නිදහස ලැබූහ. කලක් මුළු කලාපයම යටත් කරගෙන හුන් තුර්කිය මේ වනවිට අබල දුබල තත්ත්වයට වැටී තිබුණි. තුර්කියට කෙනිත්තීම සියලුම බෝල්කන් ජාතීන්ගේම පාහේ අපේක්ෂාව වූ නමුත් එය ඔවුනොවුන් අතර වූ ගැටුම් සමනය කිරීමට ප්‍රමාණවත් හේතුවක් නොවීය. කෙසේ වෙතත්, ප්‍රදේශයේ ඇතිවූ ගැටුම් පළමු ලෝක යුද්ධය කරා යුරෝපය රැගෙන ගියේය.

1885 දී බල්ගේරියාව සහ සර්බියාව යුධ වැදුන අතර ඊළඟ වසරේදී බල්ගේරියාව පාලනය කල කුමාරයා වූ I වන ඇලෙක්සැන්ඩර් බලයෙන් ඉවත් කරන ලදී. මේ අතර 1903 දී සර්බියාවේ රජු වූ I වන ඇලෙක්සැන්ඩර් හෙවත් ඇලෙක්සැන්ඩර් ඔබ්රිනොවිච් සහ ඔහුගේ බිසව කුමන්ත්‍රණයකින් පසු මරා දමන ලදී. මෙම කුමන්ත්‍රණයේ අරමුණ වූයේ ප්‍රතිවාදී කාරාජෝර්ජ්වික් පෙළපතේ කුමාරයකු රජකමට පත් කිරීමයි. මේ අනුව පීටර් කාරාජෝර්ජ්වික් (1903-21) සර්බියාවේ රාජ්‍යත්වයට පත් කරගන්නා ලදී.

කලාපයේ රටක් වූ රුමේනියාව විදේශීය රටවල් සමඟ ගැටුම් ඇති නොකරගනිමින් පසු වූයේය. එරටෙහි නරක ආර්ථික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ගොවි ජනතාව කැරළි ගැසූ අතර යුදෙව්වන්ද පීඩාවට පත් කරනු දැකිය හැකි වූයේය.

මේ අතර 1897 දී ක්‍රීට් දූපත සම්බන්ධයෙන් තුර්කිය සමඟ යුධ වැදුන ග්‍රීසිය සති තුනක් වැනි කෙටි කාලයකදී සහමුලින් පරාජය කරන ලදී.

බොස්නියා-හර්සගොවිනා අර්බුදය (1908)

1908 දී ඔස්ට්‍රියාව විසින් බොස්නියා-හර්සගොවිනාව ඈඳා ගැනීම සර්බියාවේ දැඩි විරෝධයට හේතු වූවා සේම පසුකාලීන කරදර සඳහා පුර්වාදර්ශයක් වූයේය. සර්බියාව සිටියේ රුසියාවේ සහය ලැබුණි නම් ඔස්ට්‍රියාවට එරෙහි යුද්ධයකට වුවද පැටලෙන මානසිකත්වයෙනි. 1905-07 සමයේ රුසියාවේ පැවති අභ්‍යන්තරික විප්ලවවාදී කැරළි කෝලාහල හේතුවෙන් එරට දුර්වල අඩියක පැවතියෙන් සර්බියාවට සහයක් ලබා දීමට හැකි තත්ත්වයක එරට පසු නොවීය. මේ හේතුවෙන් ගැටුමකින් තොරව තත්ත්වය සමහන් වූයේය. නමුත් එය කිසි අයුරකින් විසඳුමක් නොවීය. ඒ වෙනුවට ඔස්ට්‍රියාව සහ සර්බියාව බද්ධ වෛරක්කාරයන් බවට පත් වූහ.
බෝල්කන් අර්ධද්වීපය, 1912-13. (academic.evergreen.edu)

බෝල්කන් යුද්ධ

තුර්කියේ 'යෞවන තුර්කි' ව්‍යාපාරය නම් වූ කණ්ඩායමක් 1908 වසරේදී ආණ්ඩු ප්‍රතිසංස්කරණ මාලාවක් දිනාගැනීමට සමත් වූහ. මෙම පිරිස තුර්කියෙන් පිටුවහල් කරන ලද කණ්ඩායමක් වූ අතර මුලින්ම ඔවුන් රැස් වූයේ ප්‍රංශයේ පැරිස් නුවරයි. තුර්කිය තුල අන් ආගමිකයනටද මුස්ලිම්වරුන්ට ලැබෙන ආකාරයේ සැලකිලි ලබාදෙන ලෙසත්, පාර්ලිමේන්තුවක් වැනි ආයතන ඇති කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියෝය. 1908 දී මැසඩෝනියාවට පැමිණි ඔවුන් තමනට සහය දුන් හමුදා සේනාංකවල ද සහය ඇතිව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි කල, II වන අබ්දුල් හමීඩ් සුල්තාන්වරයා එයට එකඟ වූයේය. ප්‍රවෘත්ති තහනම ලිහිල් කරන ලද අතර මහමදිකයන්ට සහ ක්‍රිස්තියානි ආගමිකයනට  අයිතීන් දෙන ලදී. රටින් පිටවී සිටි බොහෝ දෙනා යළිදු පැමිණියෝය.

කෙසේ වෙතත් මෙම ක්‍රියාවේ අතුරු ප්‍රතිපලයක් ලෙස තමනට එතෙක් ලැබුණ සුලු සහනවලට වඩා වැඩි යමක්, එනම් පූර්ණ නිදහස ඉල්ලා සිටීමට යටත් වැසියන් පෙළඹුණහ. ක්‍රීට් දූපත ග්‍රීසිය සමඟ ඒකාබද්ධ වූ බව ප්‍රකාශ කළේය. සර්බියාව සහ මොන්ටිනීග්‍රෝව දේශසීමා සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටියෝය. මේ අතර තමන්ගේ පරණ බලතල ලබාගන්නට උත්සාහ කළ සුල්තාන්වරයාව නෙරපා දමන ලදී.

තුර්කියට විරුද්ධව බෝල්කන් රටවලින් එල්ල වූ ඉල්ලීම්වල ප්‍රතිපලයක් ලෙස 1912 වසරේදී සර්බ්, බල්ගේරියානු, ග්‍රීක් සහ මොන්ටිනීග්‍රෝ ඒකාබද්ධ ප්‍රහාරයකට ලක් වීමට තුර්කියට සිදුවිය. යුද්ධය ආරම්භ වූයේ 1912 ඔක්තෝම්බර් 8 වනදාය. මේ වනවිට ඉතාලිය සමඟ යුද්ධය අහවර වී තිබුණේද නැත. තුර්කිය මෙම යුද්ධයේදී දරුණු පරාජයක් ලැබීය.

1913 දී ලන්ඩනයේදී සිදුවූ සාකච්ඡා ප්‍රකාරව, ග්‍රීසියට ක්‍රීට්, දකුණු මැසඩෝනියාව සහ සැලෝනිකාව ලබාගත්හ. බල්ගේරියාවට ත්‍රේස් සහ ඊජියන් වෙරළබඩ තවත් ප්‍රදේශ කිහිපයක් ලැබිණ. නමුත් බල්ගේරියානුවන් වැඩි වශයෙන් ජිවත් වූ මැසඩෝනියාවේ උතුරු ප්‍රදේශය ඔවුනට හිමි නොවීම කෙරෙහි බල්ගේරියාව නොසතුටට පත් විය. එම ප්‍රදේශය අයත් වූයේ සර්බියාවටය.සර්බියාවද එම ප්‍රදේශයට වඩා වැඩි කැමැත්තක් ඇල්බේනියාව කෙරෙහි දැක්වීය​. නමුත් ඔස්ට්‍රියාවේ බලපෑම මත නිදහස් ඇල්බේනියාවක් බිහි වූ හෙයින්, කිසිවක් ලබා නොගෙන සිටීමට නොකැමැති වූ සර්බියාව උතුරු මැසඩෝනියාව ලබා ගැනීමට කැමැත්ත පළ කළේය​.

මෙම ගැටුම්වල ප්‍රතිපලය ලෙස බල්ගේරියාව සර්බියාවට සහ ග්‍රීසියට එරෙහිව යුධ ප්‍රකාශ කළේය​. මොන්ටිනීග්‍රෝව මුල පටන්ම සර්බියාවට උපකාර කළ අතර, කළ දුටු කල වල ඉහ ගත් රුමේනියාව සහ තුර්කියද බල්ගේරියාවට එදිරිව යුධ ප්‍රකාශ කළහ​. හතරවටින් වට කරන ලද බල්ගේරියාවට වහා යුද්ධයෙන් පරාජය පිළිගැනීමට සිදු විය​.

දෙවන බෝල්කන් යුද්ධය ලෙස හැඳින්වෙන මෙම යුද්ධය හේතුවෙන් බල්ගේරියාවට පළමු බෝල්කන් යුද්ධයෙන් ලැබුණ සියලුම ප්‍රදේශ අහිමි විය​. තුර්කිය අද්‍රියනෝපල් නගරය ලබාගත් අතර රුමේනියාවට ද යටත් ප්‍රදේශ කිහිපයක් ලැබිණ​. ග්‍රීසියෙහි සහ සර්බියාවේ මැසඩෝනියානු ප්‍රදේශ පිළිබඳ වූ අයිතිය තිර කරන ලදී.

බෝල්කන් යුද්ධවල ප්‍රතිපල කිහිපයක්ම විය​. එක් අතකින් කිසිදු යුරෝපා ජාතියක් තව දුරටත් තුර්කි පාලනය යටතේ නොසිටියහ​. තවද​, දෙවන බෝල්කන් යුද්ධයෙන් පසුව වුවද සියලු බෝල්කන් රටවලට කුමක් හෝ ප්‍රශ්නයක් ඉතිරි ව තිබුණි. මේ හේතුවෙන් කොතැනින් හෝ යළි සටන් ඇවිලීමක් සිදු නොවේයැයි කිසිවකුට කිව නොහැකි විය​. සර්බියාවට සියලු සර්බ්-ක්‍රොඇට් ජාතීන් එක්සත් කිරීමේ අවශ්‍යතාව වූ අතර එහිදී එරට ඔස්ට්‍රියාව සමඟ ගැටීමට නියමිතව තිබිණ​. බල්ගේරියාව පරාජයේ ලජ්ජාව වසා ගැනීම නොතිත් ආශාවෙන් පසු විය​.

මේ අතර සර්බියානු කරදරයෙන් මිදීමට සිහින දකිමින් සිටි ඔස්ට්‍රියාව ජර්මන් සහ තුර්කි සහයෝගය පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටියේය​. මේ වනවිට යුරෝපයේ ප්‍රබල රාජ්‍යයන් මෙන්ම බෝල්කන් ප්‍රදේශවල රාජ්‍යයයන් ද කොයි මොහොතක හෝ යුද්ධයකට පැටලීමට නියමිතව තිබිණ​. අවශ්‍ය වූයේ කොතැනකින් හෝ වෙඩි පුපුරක් දැල්වීම පමණි. එය සරයේවෝ නොව වෙනත් ඕනෑම තැනකදී වුවද සිදුවිය හැකිව තිබිණ​.

Tuesday, September 30, 2014

රටවල් පහක ජාතික ගීය බවට පත්වූ "අප්‍රිකාවේ ගීතය​"

මීට අවුරුදු 117 කට පෙර, 1897 දී එනොක් සොන්ටොන්ගා නම් ක්සෝසා (Xhosa) මෙතෝදිස්ත පූජකයා තමා සේවය කළ පාසැලේ ගායක කණ්ඩායම වෙනුවෙන් කුඩා ගීතයක් නිර්මාණය කළේය​. එදින මේ ගීතය ඔහුගේ පාසැලට කෙසේ වෙතත් සමස්ථ උප සහරානු අප්‍රිකාවටම කෙතරම් වැදගත් ගීයක් වනු ඇත්දැයි ඔහුම නොදැන සිටින්නට ඇත​. ඔහු එදා නිර්මාණය කළ "න්කෝසි සිකලෙල් ඉ-අෆ්‍රිකා" හෙවත් "අප්‍රිකාවට දෙවි පිහිට ලැබේවා" (Nkosi Sikelel' iAfrica - Lord Bless Africa) යන ගීතය දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි සටනේ ප්‍රධාන අංගයක් වූවා පමණක් නොව මහාද්වීපයේ රටවල් පහක ජාතික ගීත ලෙසද භාවිතා කෙරිණ​.

එනොක් මන්කයි සොන්ටොන්ගා උපත ලැබුවේ 1873 දකුණු අප්‍රිකාවේ නැගෙනහිර ප්‍රාන්තයේ. වර්තමානයේ නම් නැගෙනහිර කේප් ප්‍රාන්තයේ. ඔහු ක්සෝසා බස කතා කරන තෙම්බු ගෝත්‍රයේ ම්පින්ගා (Mpinga) පරපුරේ කෙනෙක්. (නෙල්සන් මැන්ඩෙලා ද තෙම්බු ගෝත්‍රයේ, මඩීබා පරපුරේ කෙනෙක්) සොන්ටොන්ගා ලව්ඩේල් ගුරු පුහුණු පාසැලේ පුහුණුව ලැබීමෙන් පසු ජොහැන්නස්බර්ග් ආසන්නයේ නැන්ස්ෆීල්ඩ් මෙතෝදිස්ත මිෂනාරි පාසැලේ ගුරුවරයකු ලෙස පත්වීම ලැබුවේ 1896. එතැන් පටන් වසර 8 ක් පමණ ඔහු එම පාසැලේ සේවය කළා.
ගීතයේ ශත සංවත්සරය සැමරීම

පාසැලේ ගීතිකා කණ්ඩායම මෙහෙයවූ ඔහු එම කණ්ඩායම වෙනුවෙන් 1897 වසරේදී මේ ගීතයේ මුල් කොටස් ලියුවා. පසු කාලීනව එයට තවත් කොටස් එක් කරනු ලැබුනා.

පාසැල් ගීතිකා කණ් ඩායම වෙනුවෙන් නිර්මාණය වුනාට මේ ගීය 1899 දී ම්බොවෙනි පූජකතුමා පූජ්‍යත්වයට පත් වීම වෙනුවෙන් පැවති උත්සවයේදී ගායනා කෙරුණා. ඔහු පළමු ට්සොන්ගා ජාතික මෙතෝදිස්ත පූජකවරයා වීම විශේෂයක්.

1901 දී ජෝන් ලැන්ගලිබලේලේ ඩුබේ විසින් ඔහ්ලාන්ගේ ආයතනය පිහිටවූ අතර එය විසින් මේ ගීතය වඩාත් ජනප්‍රිය කෙරුණා. 1912 දී පැවති දකුණු අප්‍රිකානු ස්වදේශික ජාතික කොංග්‍රසයේ (පසුව අප්‍රිකානු ජාතික කොංග්‍රසය බවට පත් වූ) පළමු සැසිවාරයේදී මේ ගීතය ගායනා කෙරුණා. මෙය 1923 දී ලන්ඩනයේදී මුල් වරට පටිගත කෙරුණ අතර 1925 දී අප්‍රිකානු ජාතික කොංග්‍රසය විසින් සිය නිල ගීතය ලෙස පිළිගනු ලැබුණා. 1927 ලව්ඩේල් මුද්‍රණ සමාගමෙන් මෙය මුද්‍රණය කර බෙදා හැරුණා. පසුව ප්‍රෙස්බිටේරියානු ගීතිකා පොතට සහ වෙනත් පොත්වලටත් ඇතුලත් කෙරුණා. 1947 දී එලිසබත් කුමරිය දකුණු අප්‍රිකාවේ සංචාරය කරද්දී ඇය ඉදිරියේත් මෙය ගායනා කෙරුණා.

මෙසේ ජනප්‍රිය වූ මේ ගීතය අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නිල ගීතය නිසාම දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි සටනේ ප්‍රධාන අංගයක් බවට පත් වුණා. එමෙන්ම අප්‍රිකානු එක්සත්භාවය පිළිබඳ සිහින මැවූ දේශපාලන නායකයන් මේ ගීතයට මහත් සේ ඇලුම් කළා.

1961 දී ටැන්ගනීකාව නිදහස ලැබූ පසු මේ ගීතයට පළමු වරට රාජ්‍ය මට්ටමේ නිල පිළිගැනීමක් ලැබුණා. ටැන්ගනීකාව මෙම ගීතයේ ස්වාහිලි පරිවර්තනය සිය ජාතික ගීය බවට ප්‍රකාශයට පත් කළා. අදටත් ටැන්සානියාවේ ජාතික ගීය වන්නේ එම ගීතයයි.

1964 දී සැම්බියාව නිදහස ලද පසු මෙම ගීතය ඒ ආකාරයෙන්ම සිය ජාතික ගීය ලෙස යොදාගන්නට පටන් ගත්තා. නමුත් 1973 දී ඔවුන් එහි පද පෙළ වෙනස් කොට ඉංග්‍රීසි වචනවලින් යුතු, එමෙන්ම අප්‍රිකාව වෙනුවට සැම්බියාව ගැන කියැවෙන ගීයක් (Stand and Sing of Zambia, Proud and Free) ජාතික ගීය ලෙස යොදා ගත්තා.

1980 දී සිම්බාබ්වේ රාජ්‍යය නිදහස ලැබූ පසු වසර 14 ක් ම සිය ජාතික ගීය විදියට පාවිච්චි කළේ "න්කෝසි සිකලෙල් ඉ-අෆ්‍රිකා" ගීයේ ෂෝනා සහ න්ඩෙබෙලේ භාෂාවලින් යුත් පරිවර්තනයක්. 1994 දී ඔවුන් ඒ වෙනුවට වෙනමම ගීයක් තෝරා ගත්තා.

1989 නිදහස ලැබූ නැමීබියාවත් එක් අවුරුද්දක් තාවකාලිකව සිය ජාතික ගීය ලෙස මේ ගීතය යොදා ගත්තා.

1994 දී වර්ණභේදවාදයේ බිඳ වැටීමෙන් පසු දකුණු අප්‍රිකාවේ අලුත් රජය භාෂා කිහිපයකින් පද පේළි අඩංගු ගීයක් ජාතික ගීය ලෙස යොදා ගත්තා. මෙහි මුල් කොටස "න්කෝසි සිකලෙල් ඉ-අෆ්‍රිකා" ගීතයේ මුල් කොටසයි.

මේ අතර විවිධ නිර්මාණ සඳහාද "න්කෝසි සිකලෙල් ඉ-අෆ්‍රිකා" යොදා ගැණුනා. 1987 දී රිචඩ් ඇටෙන්බරෝ අධ්‍යක්‍ෂණය කර නිර්මාණය වූ ස්ටීව් බිකෝගේ ජීවන චරිතය අළලා සැකසුන "Cry Freedom" චිත්‍රපටයේ මේ ගීතය ඉතා හැඟීම් දනවන ලෙස යොදාගෙන තිබෙනවා. ස්ටීව් බිකෝගේ අවමඟුල් උත්සවයේදී දෙනෝදාහක් දෙනා මේ ගීතය ගායනා කරනවා. එමෙන්ම අවසන් ජවනිකාවෙන් ඇටෙන්බරෝ මේ ගීතය යළිත් යොදාගන්නේ දකුණු අප්‍රිකානු වර්ණභේදවාදයට එරෙහි සටනෙන් මිය ගිය බොහෝ දෙනා සිහිකිරීමටයි.

එනොක් සොන්ටොන්ගා 1905 අප්‍රේල් 18 වනදා මිය ගියා. එවිට ඔහුට වයස අවුරුදු 32 ක් පමණයි. ඔහුගේ සොහොන බොහෝ කලක් සොයාගන්නට බැරිව තිබුණා. නමුත් 1990 ගණන්වල මුල් කාළයේදී බ්‍රෑම්ෆොන්ටෙයින් සුසාන භූමියේ තිබෙන එම සොහොන සොයාගනු ලැබුණා. 1996 සැප්තැම්බර් 24 වනදා නෙල්සන් මැන්ඩෙලා ජනධිපතිවරයා විසින් එය ජාතික වස්තුවක් ලෙස නම් කරනු ලැබුණා.

Tuesday, September 23, 2014

සිංගප්පූරු මොඩලය අනෙක් රටවලට ගැලපෙන්නේ නැති බව එරට අගමැති කියයි

සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන්ග් (Lee Hsien Loong) සිංගප්පූරු සමුලුවේදී (Singapore Summit) පසුගිය සෙනසුරාදා (සැප්. 20) ප්‍රකාශ කළේ සිංගප්පූරු සංවර්ධන මොඩලය අනෙක් රටවල ගෙඩිය පිටින් ක්‍රියාවට නගන්නට නොහැකි බවයි.

මෙයට හේතුව සිය රටේ විශාලත්වය වගේම ඉතිහාසය සහ මුහුණ දෙන්නට වූ අභියෝග අනෙක් රටවල්වලින් වෙනස් වීම බවයි සිංගප්පූරු අගමැතිවරයා පවසන්නේ.
ලී සියෙන් ලූන්ග් 2007 දී

සිංගප්පූරුව කුඩා දූපතක් බව මතක් කර දෙන අගමැතිවරයා පවසන්නේ සිංගප්පූරුවේ ඉතිහාසය යටත් විජිත යුගයක් තුලින් පන්නරයක් ලැබූ බවයි. රටේ යටිතල පහසුකම් සංවර්ධනය ආරම්භ වූයේ යටත් විජිත යුගයේදී. එමෙන්ම යටත් විජිත විරෝධී අරගලය ඔස්සේ මෙන්ම කොමියුනිස්ට්වාදයට එරෙහි අරගලය ඔස්සේද වටිනා අත්දැකීම් සමුදායක් එකතු කරගන්නට සමත් වූ බව ඔහු මතක් කර දුන්නා.

මැලේසියාවට එකතු වීම​, එහි කොටසක් ලෙස සිටිමින් විවිධ ප්‍රශ්නවලට මුහුණ දීම සහ ඒ හේතුවෙන් මැලේසියාවෙන් ස්වාධීන වීම පිළිබඳ ඉතිහාසය ඔහු මතක් කර දුන්නා. මැලේසියාවෙන් එකවර කැඩී වෙන්වීමට සිදු වීම හේතුවෙන් සිදු වූ කම්පනය සහ එයට මුහුණ දීමට එම පරම්පරාවේ ජනතාව සහ ඔවුනගේ දරුවන් පෙළ ගැසුන ආකාරය අගමැතිවරයා සිහිපත් කළා.

මේ සිදුවීම් සිංගප්පූරුවටම ආවේණික වූ සිද්ධි දාමයක් බව ලී සියෙන් ලූන්ග් පවසා සිටියා. ඉන්දියාව සහ චීනය වැනි විශාල එමෙන්ම විවිධත්වයෙන් වැඩි රටවල් සිංගප්පූරුව සමඟ කිසි ලෙසකින්වත් සසඳන්නට නොහැකි බව ඔහු ප්‍රකාශ කළා. සිංගප්පූරුව සාර්ථක වූයේ රටේ ජනතාව එකාවන්ව රටේ දියුණුව කෙරෙහි කටයුතු කිරීම නිසා බවයි අගමැතිවරයා පවසන්නේ. මේ ව්‍යායාමය අසාර්ථක වීමට වුවද ඉඩ තිබූ බව ඔහු මතක් කර දුන් ඔහු වාසනාවට සිංගප්පූරුවට එම ඉරණම අත් නොවූ බව කියා සිටියා.

ඇතැම්විට යම් යම් ගැටලු තනි තනියෙන් ගත්විට ඒවා විසඳීමේදී සිංගප්පූරුව අනුගමනය කළ යම් යම් පියවරවලින් පාඩම් ඉගෙන ගන්නට හැකියාව තිබෙන බව අගමැති ලී සියෙන් ලූන්ග් කියා සිටියා. සිංගප්පූරුව චීනයේ සුෂොව් කාර්මික පුරයේදී (Suzhou Industrial Park) සැලකියයුතු සාර්ථකත්වයකින් යුතුව සිංගප්පූරු මොඩලය භාවිත කළ බව ඔහු සඳහන් කළා. එහිදීත් සිංගප්පූරු මොඩලය ගෙඩි පිටින් පාවිච්චි නොකළ බවත් එය ක්‍රියාත්මක කිරීම විවිධ ප්‍රශ්න මැද සිදුවූ බවත් ඔහු පැහැදිලි කළා. නමුත් සුෂොව් කාර්මික පුරයට පැමිණෙන වෙනත් චීන නගරවල නිලධාරීන් එයින් යම් යම් පාඩම් ඉගෙන ගන්නා බව අගමැතිවරයා මතක් කළා.

ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන්නට ඇතැම් දේශපාලකයින් පොරොන්දු වෙනවා අප අසා තිබෙනවා. නමුත් අපට කරන්නට හැකි වන්නේ සිංගප්පූරුව (හෝ වෙනත් රටක් හෝ) ක්‍රියාවට නැංවූ ක්‍රමවේදය අධ්‍යයනය කර එය මෙරටට අවශ්‍ය නම් අවශ්‍ය අයුරින් අනුගත කරගැනීම මිස පිටරට මොඩලයක් මෙරටට ගෙඩි පිටින් පැටවීම නෙවෙයි. මේ බව කියන්නේ සිංගප්පූරුවේම අගමැතිවරයා විසින්.

කතාව බලන්න මෙතනින්

Tuesday, September 16, 2014

අලුත් ලෝක දේශපාලනය දකින්න

අද කොළඹ 'ජාත්‍යන්තර​' පොත් ප්‍රදර්ශනයට ගියේ පොත් කිහිපයක්ම ගන්න අදහස හිතේ තියාගෙන​. එයින් එකක් තමයි නාලක ගුණවර්ධනගේ "කාල බෝම්බ ඕනෑ කර තිබේ" කියන පොත​. මේ ඔහුගේ පොත ගැන විග්‍රහයක් නෙවෙයි. (එය පසුවට බලාපොරොත්තු වන්න​). මේ ලියන්නේ ඒ පොත කියවද්දි හිතුණ දෙයක්.

සිව්මංසල කොලු ගැටයා තීරු ලිපි පෙළ නාලක කලක පටන් රාවය පුවත්පතට ලියන බොහොම වටිනා ලිපි පෙළක්. ඔහු ලියන හැම දෙයකටම අපි එකඟ නොවෙන්න පුලුවන්. නමුත් විවෘත මනසකින් යුතුව යමක් ගැන සිතන්නතත්, නොදන්නා දේවල් ගැන දැනගන්නටත් ඒ ලිපි පෙල ගොඩක් උදව් වෙනවා.

ඇත්තම කියන්න මේ ලිපි පෙල පුරුද්දක් විදියට කියවන්න මට දිගටම අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ නිසා ඒවා අඩංගු පොතක් ගත්තම එයින් වැඩි හරියක් මට අලුත්. මේ සැරේ නිකුත් වුන "කාල බෝම්බ ඕනෑ කර තිබේ" පොතත් එහෙමයි.

2013 සැප්තැම්බර් මාසයේ ඔහු ලියූ ලිපියක් මගේ නෙත ගැටුනේ මේ පොත කියවද්දි. එහි මෙන්න මෙහෙම කියනවා:

"කොළඹ පොත් ප්‍රදර්ශනයේදී බහුලව පෙණුනු දෙයක් නම් විදේශීය සාහිත්‍ය කෘතීන් (විශේෂයෙන්ම නවකතා සහ චාරිකා සටහන්) සිංහලට පරිවර්තනය වීම දැන් මහා පරිමාණයෙන් සිදුවන සැටියි." [නාලක මේ කියන්නේ 2013 ගැන]

තව දුරටත් අදහස් දක්වමින් නාලක කියන්නේ මෙයින් පෙනෙන්නේ පාඨකයන් බාහිර ලෝකය ගැන දැනගැනීමට ආසා නිසා මේ ඉල්ලුම ඇතිවී තියෙන බව​. නමුත් පරිවර්තනයනට වඩා ඔබ්බෙන් යන සංසන්දනාත්මක විග්‍රහයන් දුර්ලභ බව ඔහු කියනවා. සිංහල පුවත්පත්වල විදේශ විචාර ලෙස වැඩිපුර දකින්න ලැබෙන්නේ වම​-දකුණ ලෙස බෙදුණ සීතල යුද්ධ සමයේ මල බැඳුණ තර්ක බවයි. සීතල යුද්ධය අවසන්ව වසර 23 ක් (2013 දී) ගතවෙලත් අපේ "විදේස විත්ති විචාරකයන්" ඉන්නේ ඒ කාලයේ බව නාලක කියනවා.

නාලක ඉදිරිපත් කරන මේ අදහසේ ලොකු ඇත්තක් තියෙන බව කණගාටුවෙන් වුනත් කියන්න ඕන​. මේකට හේතු නැතුව නෙවෙයි. අද ප්‍රධාන මාධ්‍ය බොහොමයක අධිපතිවාදයක් තියෙන බව නාලකම කීප තැනකම කියලා තිබුණා මට මතකයි. මේක එක හේතුවක් වෙන්න පුලුවන්. අනෙක ප්‍රධාන මාධ්‍යවලට විකල්ප විදියට එන මාධ්‍යත් ගොඩක් වෙලාවට දේශපාලනයෙ වමට බර එව්වා. වාමාංශිකයන් ලෝකය දකින්නේ ඇති-නැති පරතරය අතර සටනක්, එහෙමත් නැත්නම් පන්ති සටනක් විදියටනේ. එයාලට ඊට වඩා දෙයක් නොපෙණෙන එක සාධාරණයි.

මට එක් උදාහරණයක් මතක් වෙනවා. යම් ටීවී චැනලයක (ජාතික රූපවාහිනියද මන්දා) ළමයෙක් ලෝක ගෝලයක් දිහා බලන් ඉන්නවා පෙන්නනවා. ඒකෙ වරදක් නෑ. අවුල තියෙන්නෙ, ඒ ලෝක ගෝලය හරිම පරණ එකක්. මම මේක දැක්කෙ අවුදුරු දෙක තුනකට කලින් වෙන්න ඇති. නමුත් ඒ ලෝක ගෝලයේ තවම සෝවියට් දේශය තියෙනවා. ඕකට අලුත් ලෝක ගෝලයක් ගන්න බැරි කමක් තිබුණාද කියලා මට හිතුණා.

ඒවගේම මට තවත් කතාවක් මතක් වුනා. 2013 චෝගම් එකට සමගාමීව​ පොදු රාජ්‍ය මණ්ඩල සිම්ෆනි ඔකෙස්ට්‍රා ප්‍රසංගයක් තිබුණා නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ. මේක මෙහෙයෙව්වෙ බ්‍රිතාන්‍ය ජාතික ආචාර්ය ජේම්ස් රොස්. ඔහු එක්ක මම සාකච්ඡා කරද්දි යටත්විජිතවාදය ගැන කතාවකට ආවා. පොදු රාජ්‍ය මණ්ඩලය යටත් විජිතවාදයෙන් ඉතුරු වූ දෙයක් නේද යයි මා අහුවාම ඔහු කිව්වේ යටත් විජිතවාදය අදට අදාල නොවන දෙයක් බව​. ඒ දේවල් නොවුනා නොවේ. නමුත් ඒවා මත්තෙම නැහෙන එක නුසුදුසු බවයි ඔහු කිව්වේ. ඔහු සමඟ වැඩ කරන බොහෝ තරුණ සංගීතඥයන් ඉපදුනේ කොමියුනිස්ට්වාදය බිඳ වැටුනාටත් පසුව බවත්, ඔවුන් යටත් විජිතවාදය තබා කොමියුනිස්ට්වාදයවත් හරියට දැක නැති බවත් ආචාර්ය රොස් මා සමඟ පැවසුවා.

රටවල් නව බල තුලනය තුල කඳවුරක් ලෙස එක් වීමක් පෙන්නුම් කලත් එය ඍජුවම වෙනම බල කඳවුරක් ලෙස මතු වෙන්නේ නෑ. එවන් සංවිධාන ගණනාවක් බිහිවෙමින් තියෙනවා.
නව යටත් විජිතවාදය ගැන කියවෙන දේ බැහැර කළ නොහැකි වුනත් අතීතයේ ලෝකය දැකපු විදියෙන් මිදිලා අලුත් විදියට ලෝකය දකින්න අපි පුරුදු වෙන්න ඕන​. යුරෝපයේ අයත් සීතල යුද්ධය අමතක කරපු කාලෙක (දැන් යුක්‍රේන ප්‍රශ්නය නිසා ඒ තත්ත්වය වෙනස් වෙන්නත් පුලුවන්) අපි ඒ පරණ අදහස් මත යැපෙන එක කොච්චර හරිද කියලා හිතන්න වෙනවා.

නමුත් ජනතාවගේ දැන ගැනීමේ ආශාව​, නැත්නම් දැනුම පිපාසය, පිළිබඳ නාලක කියන කාරණය ඇත්ත​. මේක මට මෑතකදි අත් දැකීමෙන්ම දකින්න ලැබුණා. මම පළමු ලෝක යුද්ධයට බලපෑ දීර්ඝ කාලීන හේතු ගැන බ්ලොග් පෝස්ට් එකක් ලියාපු දවසේ මගේ බ්ලොග් එකට කවදාවත් නැති තරම් පිරිසක් ආවා. මටත් හරිම පුදුම හිතුනා.

ඒ නිසා මට හිතුනා, ඉතාම කෙටියෙන්, සීතල යුද්ධය නිමා වූ පසු ලෝකයේ බල තුලනය වෙච්ච හැටි ගැන අදහසක් ඉදිරිපත් කරන්න​.

සෝවියට් දේශය බිඳ වැටුනත් එක්ක​, 1991 දී සීතල යුද්ධය නිමා වුනා කියලා පොදුවේ පිළිගන්නවා (වෙනස් අදහස් නැතුව නෙවෙයි). ඊට පස්සේ විශ්ලේෂකයන් කිව්වේ ඉස්සර තිබුණ ද්වී-ධ්‍රැව ලෝකය (වොෂින්ටන් සහ මොස්කව් කේන්ද්‍ර කරගත්) වෙනුවට ඒක​-ධ්‍රැව (වොෂින්ටන් කේන්ද්‍ර කරගත්) ලෝකයක් බිහිවෙයි කියලයි. 1990 දශකයේ නම් බොහෝකොටම දකින්න ලැබුණේ ඒ වගේ තත්ත්වයක්.

මේ අතරෙ මෙහෙම දෙයක් සිද්ධ වෙන්න පටන් ගත්තා. සීතල යුද්ධය තියෙන කාලෙ, විශේෂයෙන්ම බටහිර කඳවුර​, ලෝකය දැක්කේ බොහොම සරල විදියට​. "එක්කෝ ඔබ අපි එක්ක​, නැත්නම් අපට විරුද්ධව​" කියන අදහසින්. මැද මාවතක් කියලා එකක් ගැන ඔවුන් බැලුවේ වපර අහැකින්. මේ නිසා නොබැඳි ජාතීන් ගේ ව්‍යාපාරය වගේ දේවල් ඔවුන් දැක්කේ සෝවියට් අතකොලු විදියට​. ඒ නිසා අන්තිමට වුනේ ඒ වගේ සංවිධාන සෝවියට් කඳවුර පැත්තට වැඩිපුර නැඹුරු වීමයි.

කඳවුරු දෙකම එක්ක හොඳින් ඉඳපු රටවල් අතලොස්සක් තිබුණා. නමුත් සාමාන්‍යයෙන් වුනේ දෙපැත්තකට වීම තමයි.

නමුත් සීතල යුද්ධය ඉවර වුනාට පස්සේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවලට තව දුරටත් සෝවියට් තර්ජනයක් ගැන බයක් තිබුනේ නැහැ. එතෙක් කල් ඔවුන් "සෝවියට් තර්ජනයට​" මුවා වෙලා ඒකාධිපති පාලකයන් එහෙම නඩත්තු කලා වගේම තුන්වැනි බලවේගයකට නැගිටින්න දුන්නේ නෑ. (අනිත් පාර්ශවයත් කටයුතු කළේ එහෙම තමයි). නමුත් සීතල යුද්ධන නිමා වුනාට පස්සේ බල කඳවුරු දිය වෙලා ඔක්කොම එක ආර්ථික රාමුවකට ගේන්න බටහිර රටවල් පෙරුම් පිරුවා.

මේ අතරෙ ඉන්දියාව​, චීනය එහෙම විවෘත ආර්ථිකයේ ප්‍රතිපල නෙලා ගනිමින් වේගයෙන් සංවර්ධනය වුණා. වෙනත් රටවලුත් වේගයෙන් සංවර්ධනය වුනා. මේවා එකක්වත් එක බල කඳවුරකට අයත් වුනේ නෑ. ඒ වගේම මේ එක රටක්වත් තමුන්ව බටහිර රටවල් විසින් අනවශ්‍ය විදියට පාලනය කරනවාට කැමැත්තක් දැක්වූවෙත් නෑ. මේ ආකාරයෙන්, ටික කලක් යද්දි ලෝකයේ රටවල් කිහිපයක්ම ආර්ථික මෙන්ම යුධමය වශයෙනුත් ඉදිරියට ආවා.

මේ තත්ත්වය තවත් වේගවත් වුනේ 2000 පමණ සිට ව්ලැඩිමීර් පුටින් යටතේ රුසියාවත් ආපහු නැගිටින්න පටන් ගැනීමත් එක්කයි.

මේ අතරේ පරණ සංසිද්ධීන්, අලුත් මුහුණුවරකින් කරලියට එන්න පටන් ගත්තා. ඉස්සර ත්‍රස්තවාදී කණ්ඩායම් පවා බොහෝවිට ඇති වුනේ සහ ක්‍රියාත්මක වුනේ සීතල යුද්ධ පසුබිමේ. ඉස්ලාමීය සටන්කාමීන් පවා ඇෆ්ඝනිස්ථානයේ ඒ කාලෙ සටන් කලේ සෝවියට් දේශයට විරුද්ධව​, ඇමරිකාවේ ආධාර ඇතුව. නමුත් දැන් ඔවුන් වෙනමම බලයක් බවට පත් වෙන්න පටන් ගත්තා. අද වෙනකොට, විශේෂයෙන්ම ඉස්ලාමීය සටන්කාමීන් ලෝක බලතුලනයේ තවත් පැත්තක් බවට පත් වෙලා. නමුත් මේක වුනේ සීතල යුද්ධ පසුබිමේම නෙවෙයි. මූල බීජය එතනදි වුනාට​, පහුගිය අවුරුදුවල සිද්ධ වුනේ වෙනමම ක්‍රියාවලියක්.

අදටත් තනි රටක් විදියට ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදය තමයි ලෝකයේ ප්‍රබලම රාජ්‍යය​. ලෝකයේ බොහෝ සමාගම්වල මූලස්ථානය තියෙන්නේ එහෙ. මම දැන් වැඩ කරන පරිඝනකයේ තියෙන ඔපරේටින් සිස්ටම් එක වින්ඩෝස්. ඒ මයික්‍රසොෆ්ට් සමාගමේ. තියෙන්නෙ ඇමරිකාවෙ. මම බ්ලොග් ලියන වෙබ් අඩවිය බ්ලොග්ස්පොට්. අයිති ගූගල් සමාගමට​. තියෙන්නෙ ඇමරිකාවෙ. මම මේ බ්ලොග් පෝස්ට් එක සමාජගත කරන ෆේස්බුක් සහ ට්විටර් සමාජජාල සමාගම් තියෙන්නෙ ඇමරිකාවෙ. ලෝකයේ ලොකුම ආර්ථිකය තියෙන්නෙ ඒ රටට​. ඒ වගේම ඕනෑම අවස්ථාවක ඕනෑම තැනකට හමුදා යවන්න පුලුවන් හැකියාවක් තියෙනවා නම් තියෙන්නේ ඇමරිකාවට​.

නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඇමරිකාවට ඔලුව නමලා හැමෝම ඉන්නවා කියලාවත්, ඒ ඔලුව නොනමන හැමෝම එක කඳවුරක ඉන්නවා කියලාවත්. ඒකයි අද තියෙන බහු-ධ්‍රැව භූ දේශපාලනික තත්ත්වය​.

Friday, September 5, 2014

පළමු ලෝක යුද්ධයට බලපෑ දිගු කාලීන හේතු

පළමු ලෝක යුද්ධය ආරම්භ වීමට ආසන්නතම හේතුව වූයේ ඔස්ට්‍රා-හංගේරියාවේ ආර්ච්ඩියුක් හෙවත් මහාධිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනය කිරීම වුවද එය යුරෝපා ජාතීන් අතර කලක් පටන් පැවති නොරිස්සුම්කම්වල පිපිරීමක් ලෙසද සැළකිය හැක. මෙම නොරිස්සුම්කම් සඳහා බලපෑ හේතු කිහිපයක් විය.

1. ජාතිවාදය

මධ්‍යතන යුගයේදී යුරෝපා මහාද්වීපය අඳුරෙහි ගිලී තිබුණේය. එකළ ප්‍රබල ජාතික රාජ්‍යයන් නොවූ අතර එසේ වී නම්, ඒවා වැඩිකල් නොපැවැත්තේය. බොහෝකොටම ජාතික රාජ්‍යවලට වඩා ප්‍රමුඛ වූයේ වංශාධිපතිවරුන්ගේ බලයය. ඔවුහු රජවරුනට වඩා බලගතු වූහ. වර්තමානයේ අප දකින ඇතැම් විශාල රාජ්‍යයන් වෙනුවට එවකට වූයේ කුඩා රාජ්‍යයන් සමූහයකි. එයට හොඳම උදාහරණ ලෙස ජර්මනිය සහ ඉතාලිය ගත හැක.

කෙසේ නමුත්, වැඩවසම් ක්‍රමය බිඳ වැටෙන විට ඒ වෙනුවට යලිත් ජාතික රාජ්‍යයන් ඉස්මතු වන්නට වූයේය. මෙහි උච්ඡතම අවස්ථා ලෙස ඉතාලිය සහ ජර්මනිය එක්සත් වීම සැළකිය හැක. ඉතාලිය 1870 දී එක්සත් රටක් බවට පත්වූ අතර එහිදී එරට ඔස්ට්‍රියාව හා ගැටුණාය. මේ අතර ප්‍රංශ-ප්‍රෂියානු යුද්ධය අවසානයේදී ජර්මනිය එක්සත් කිරීමේ ක්‍රියාවලියද සම්පූර්ණ විය. මෙසේ ජාතික රාජ්‍යයන් බිහිවීමත් සමඟ යුරෝපයේ විවිධ ජාතීන් අතර ගැටුම් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි විය.

මේ අතර, යුරෝපා රටවල් සමහරක් විසින් වෙනත් මහාද්වීපවල වැසියන් විශාල ප්‍රමාණයක් යටත් කරගෙන සිටියදීම, යුරෝපයේ ඇතැම් ජාතීන්ද වෙනත් ජාතීන්ගේ යටත් වැසියන් ලෙස තවමත් ජීවත් වන අයුරු දක්නට ලැබිණ. 20 වන සියවස පළමු දශකය අවසන් වනවිටත් ඇල්බේනියානුවන් සහ සමහර ග්‍රීක ජාතිකයන් තුර්කි පාලනය යටතේ දිවි ගෙවූහ. මේ අතර ට්‍රාන්සිල්වෙනියා ප්‍රදේශයේ රුමෙනියානුවෝද, සර්බ් ජාතිකයෝ කොටසක්ද, ගැලීසියාවේ විසූ පෝලන්ත වැසියෝද, චෙක්, ස්ලොවැක්, රුතීනියානු, ස්ලොවීනියානු සහ ක්‍රොඇට් ජාතිකයෝද ඔස්ට්‍රා-හංගේරියානු පාලනය යටතේ විසූහ. පෝලන්තයේ විශාල ප්‍රදේශයක් පැවතියේ රුසියානු පාලනය යටතේය. සත්‍ය වශයෙන්ම පෝලන්ත වැසියනට ඔවුන්ගේම රටක් නොතිබුණේය. සිය නිදහස දිනාගැනීම පිළිබඳ මේ සියලු ජාතීහු සිහින දකිමින් සිටියහ.
ප්‍රතිවාදී මිත්‍ර ගිවිසුම් දෙකක්


2. ප්‍රතිවාදී මිත්‍ර ගිවිසුම් දෙකක්

1879 දී ජර්මන් සහ ඔස්ට්‍රියා-හංගේරියානු අධිරාජ්‍යයෝ මිත්‍ර ගිවිසුම් දෙකකට එළඹුනහ. මේ අතර අප්‍රිකාවේ ටියුනිස් නගරය දෙස ගිජු ලෙස නෙත් හෙලාගෙන සිටි ඉතාලියද 1881 දී ප්‍රංශය විසින් එහි හමුදා නැවැත්වීම නිසා සුන්වූ බලාපොරොත්තු හේතුවෙන් ඊළඟ වසරේදී ජර්මන්-ඔස්ට්‍රියානු මිත්‍ර සන්ධානයට එක් විය. ඉතාලියේ එක්සත්භාවය සඳහා වූ අරගලයේදී මුලින් උපකාර කර පසුව විරුද්ධකම් පෑම නිසා ප්‍රංශය කෙරෙහි ඔවුන් එතරම් හොඳහිතකින් පසු වූයේ නැත. නමුත් එරට සහ ජර්මනිය අතර මිත්‍රත්වයක් ගොඩනැගී තිබුණි. කෙසේ නමුත්, ඉතාලිය සහ ඔස්ට්‍රියාව එකම මිත්‍ර සන්ධානයක දක්නට ලැබීම පුදුමයට කරුණක් විය. මක්නිසාද යත් එම දෙරට අතර සාම්ප්‍රදායික එදිරිවාදිකමක් පැවතීමයි. යුධමය තත්ත්වයකදී මෙම දෙරට එකම සන්ධානයක කටයුතු කරනු ඇතැයි සිතීම පවා විහිලුවක් විය.

1862 සිට ප්‍රෂියාවේ අගමැති හෙවත් චාන්සලර් වශයෙන් සේවය කර 1871 දී ජර්මන් අධිරාජ්‍යය පිහිටුවීමෙන් පසු එහිද අගමැතිවරයා වූ ඔටෝ ෆොන් බිස්මාර්ක්ගේ ප්‍රතිපත්තිය වූයේ වෙනත් බලවතුන් සමඟ අනවශ්‍ය ගැටුම් ඇති නොකර ගැනීමය. ඔස්ට්‍රියාව සහ රුසියාව අතරද පැවති සතුරු ආකල්පයන් දුටු ඔහු ඔස්ට්‍රියානු මිත්‍රත්වයද මඳකට පසෙකලා රුසියාව සමඟ රහස්‍ය ගිවිසුමකට එළඹුණේය. 1887 දී අත්සන් කෙරුණ මෙම ගිවිසුමට අනුව, රුසියාව සහ ඔස්ට්‍රියාව අතර යුද්ධයකදී මධ්‍යස්ථව සිටීමට ජර්මනිය පොරොන්දු විය. බ්‍රිතාන්‍යය පවා හොඳින් තබාගත් බිස්මාර්ක්, ජර්මනියේ ප්‍රධානම ප්‍රතිවාදියා ලෙස සැලකුණ ප්‍රංශය දිගටම ජාත්‍යන්තර තලයේදී හුදෙකලා කිරීමට සමත් විය.

නමුත් 1888 දී වියපත් I වන විළියම් අධිරාජ්‍යයා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයාද කෙටි කාලසීමාවක් ඇතුලත කලුරිය කළහ. එයින් පසු රාජ්‍යත්වයට හෙවත් ජර්මනියේ කයිසර් බවට පත් වූයේ එවකට 28 හැවිරිදි වූ II වන විළියම් අධිරාජ්‍යයාය. ඔහු රුසියාව සමඟ වූ ගිවිසුම අවලංගු වීමට ඉඩ දුන්නේය. ජර්මනියේ සිට බැග්ඩෑඩ් නගරයට කොන්ස්තන්තිනෝපලය හරහා දුම්රිය මඟක් සාදවා, පණ අදින ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය ජර්මන් බලපෑමට යටත් කිරීමට ඔහු සිහින දැක්කේය. මෙහිදී ඔහුට ඔස්ට්‍රියානු සහය අවශ්‍ය විය. මන්ද, දුම්රිය මාර්ගය ඔස්ට්‍රියා-හංගේරියානු ප්‍රදේශ හරහාද යායුතු වූ බැවිනි. මෙහිදී රුසියාවේ සහ ජර්මනියේ අවශ්‍යතා එකට ගැටිණි. තවද, ඉල්ලා අස්වීමට බලකරන ලදින් බිස්මාර්ක්ට 1890 දී චාන්සලර් ධූරය අතහැර යාමට සිදු විය. ජර්මනිය උදෙසා තමන් විසින් ඇතිකරගත් ආරක්‍ෂිත තත්ත්වය කෙමෙන් කෙමෙන් බිඳ වැටෙනු ඔහු මියයනතෙක් ගතවූ වසර අටක් තුල සාංකාවෙන් බලා සිටින්නට ඇත. 1891-95 කාළය තුල රුසියාව සහ ප්‍රංශය තර මිත්‍රත්වයක් කෙමෙන් කෙමෙන් වර්ධනය වීමත් සමඟ ප්‍රංශය ජාත්‍යන්තර තලයෙහි වූ හුදෙකලාවෙන් මිදෙන්නට පටන් ගත්තේය.

කෙසේ වුවද, මෙකල ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය අතර එතරම් හොඳහිතක් තිබුණේ නැත. 1881 දී ටියුනිස් නුවර ප්‍රංශ හමුදා නැවැත්වීමත්, මොරොක්කෝව දෙස ඔවුන් දැක්වූ ආශාවත් නිසා බ්‍රිතාන්‍යය ප්‍රංශය සමඟ අමනාපයෙන් පසු විය. එමෙන්ම 1898 වසරේදී වර්තමාන සුඩානයේ ෆැෂෝඩා නම් ස්ථානයේදී බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ කණ්ඩායම් දෙකක් අතර ඇතිවන්නට ගිය සිද්ධිය හේතුවෙන් දෙරට අතර සබඳතා බෙහෙවින් පලුදු වන ලකුණු පහළ වූයේය. දෙරට අතර යුද්ධයක් පවා ඇතිවන්නට ඉඩක් නොතිබුනා නොවේ. නමුත් ප්‍රංශයට බ්‍රිතාන්‍යය සමඟ හැප්පෙන්නට අවශ්‍යතාවයක් නොවීය. එරට විදෙස් ඇමති ඩොල්කැසේ පැවසූ පරිදි ප්‍රංශයට සුඩානය ලබාගැනීමට වඩා වැදගත් වූයේ බ්‍රිතාන්‍යය සමඟ වූ මිතුදම ආරක්ෂා කරගැනීමයි.

මේ අතර, 1895 දී ජර්මනිය උතුරු මුහුද සහ බෝල්ටික් මුහුද යා කෙරෙන කීල් ඇල කැපීම ආරම්භ කිරීමත් සමඟ ජර්මනියේ වර්ධනය කෙරේ බ්‍රිතාන්‍යය බියවන්නට පටන් ගත්තේය. මෙම තත්ත්වය අවසානයේදී බ්‍රිතාන්‍ය-ප්‍රංශ මිත්‍රත්වයකට පාර කැපුවේය. 1904 දී දෙරට අතර ද්වි පාර්ශවික ගිවිසුම් දෙකක් ඇතිවූ අතර 1907 දී ඒ වනවිටත් ප්‍රංශයේ හොඳ මිත්‍රයකු වූ රුසියාවේද සහභාගිත්වයෙන් ත්‍රි-පාර්ශවික මිත්‍රත්වයක් බවට එය පත් වූයේය.


3. බලවතුන් අතර තරඟය

යුරෝපයේ විවිධ බලවතුන් අතර කළක පටන් යටත් විජිත පිහිටුවීම සඳහා විශාල තරඟයක් විය. මෙය අප්‍රිකාව බෙදා ගැනීම පිළිබඳව මූලික වශයෙන්ම ඇති විය. මේ අතර දකුණු ඇමරිකාවේ සහ වෙනත් ප්‍රදේශවලත් එක් එක් බලවතුන් අතර වූ වෙළෙඳ තරඟයද එදිරිවාදිකම් වැඩි වීමට දායක විය. මේ අතර කීල් ඇළ හාරනු ලැබීමෙන් පසු ජර්මනිය නාවික හමුදාව දියුණු කිරීම බ්‍රිතාන්‍යය කිසිසේත්ම රිස්සුවේ නැත. මෙයින් සිදු වූයේ දෙරට අතර අවි ආයුධ තරඟයක් ඇතිවීමයි.

ප්‍රධාන බලවතුන් කෙළින්ම සම්බන්ධ වූ යුද්ධ කිසිවක් 1878 න් පසු යුරෝපයේ ඇති නොවීය. නමුත් මේ කාළයේ බෝල්කන් යුද්ධ දෙකක්, ඉතාලි-තුර්කි යුද්ධයක් මෙන්ම විවිධ ජාත්‍යන්තර අර්බුධ කිහිපයක්ම ඇති විය. මේ සියල්ල සමථයකට පත් කරගැනීමට හැකි වුවත් ඕනෑම මොහොතක යළිත් විශාල පිපිරීමක් ඇතිවීමේ අවධානම පහවී නොගියේය. 1914 ජුනි 28 වනදා ආර්ච්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනයෙන් පසු එම පිපිරීම සිදුවූ අතර ජීවිත  ගණනක් බිලිගැනීමෙන් පසු යළිත් එය යම් සමථයකට පත් කරගනු ලැබීය.

* මීළඟ කොටස ආර්ච්ඩියුක් ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් ඝාතනයට පෙර විවිධ පාර්ශව අතර ඇතිවූ අර්බුද පිළිබඳවය.