Tuesday, May 31, 2016

ඉරාක හමුදා ෆලූජා වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කරති

ඉරාක හමුදා ISIS ත්‍රස්තයින් අත පවතින ෆලූජා නගරය වෙත එල්ල කරන ප්‍රහාර දැඩි කර තිබේ.

ඊයේ දිනයේ මිත්‍ර සන්ධාන රටවල ගුවන් ප්‍රහාරවල සහය ද ලබමින් ඉරාක හමුදා ෆලූජා නගරය වෙත එල්ල කෙරෙන නව මෙහෙයුමක් ඇරඹූහ​. ඒ සතියක් මුලුල්ලේ නගරය අවට ප්‍රදේශවල කෙරුණ හමුදා මෙහෙයුම්වලින් අනතුරුවය​.

ෆලූජා නගරය තුළ දහසක පමණ ISIS සටන්කාමීන් පිරිසක් සිටින බව විශ්වාස කෙරෙන අතර 50,000 ක පමණ සිවිල් වැසියන් පිරිසක් නගරයෙහි සිරවී සිටින බවද අනුමාන කරනු ලැබේ. ISIS ත්‍රස්තයින් එම සිවිල් වැසියන් බලයෙන් රඳවාගන සිටින බව වාර්තා වේ.

නගරයේ උග්‍ර ආහාර සහ පානීය ජල හිඟයක් ද පවතින බව වාර්තා වේ.

ෆලූජා නගරය මෑත ඉරාක ඉතිහාසයේ වැදගත් නගරයකි. සුන්නි මුස්ලිම්වරුන් වසන මෙම නගරය 2003 ඇමරිකානු ආක්‍රමණයෙන් පසු ඇතිවූ කැරළිවලදී උග්‍ර සටන් සිදුවූ නගරයකි. 2004 මාර්තු-අප්‍රේල් සමයෙහි නගරයෙහි සිටි කැරළිකරුවන් පළවා හැරීමට ඇමරිකානු හමුදා විසින් කරන ලද උත්සාහයක් ව්‍යර්ථ වූයේය​. ඇමරිකානු හමුදා නගරයේ පාලනය අල්ලා ගත්තේ එම වසරේ නොවැම්බර්-දෙසැම්බර් කාළයේ සිදු වූ දෙවන ෆලූජා සංග්‍රාමයෙන් පසුවය​.

මේ හේතුව නිසා මෙන්ම බැග්ඩෑඩ් නගරයට ආසන්න නිසාවෙන් ද ෆලූජා නගරය වැදගත් ස්ථානයක් ගනී. මෙහි සිට කිලෝමීටර 70 කට අඩු දුරකින් නැගෙනහිරට වන්නට බැග්ඩෑඩය පිහිටා තිබේ.

තවද ISIS ත්‍රස්තවාදීන් අතට පත් වූ පළමු ප්‍රධාන පෙළේ ඉරාක නගරය මෙය වූ අතර අද වනවිට උතුරේ පිහිටි මෝසුල් නගරය හැරුණ විට ඉරාකය තුළ ත්‍රස්තයින් විසින් පාලනය කරනු ලබන විශාලම නගරය ෆලූජා වේ.

Monday, May 30, 2016

මැකෆී (McAfee) ඇමරිකානු ජනපති සටනට​

ලොව පළමු ප්‍රති-වයිරස මෘදුකාංගයේ නිර්මාතෘ ජෝන් මැකෆී ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණ සටන සඳහා ඉදිරිපත් වීමට දැරූ උත්සාහය අසාර්ථක විය​.

එරට තෙවැනි පක්ෂයක් වන ලිබර්ටේරියානු පක්ෂයේ (Libertarian Party) ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ඔහු කළ උත්සාහය මැයි 29 වනදා පරාජයෙන් කෙළවර විය​.

එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තෝරාගනු ලැබුණේ නව මෙක්සිකෝ ප්‍රාන්ත හිටපු ආණ්ඩුකාර ගැරී ජොන්සන් ය​. ඔහු 2012 දී ද එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය​.

ලිබර්ටේරියානු ජාතික සම්මේලනය මැයි 26 වනදා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ ඕර්ලැන්ඩෝ නගරයේදී ආරම්භ විය​. මෙහිදී පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා කිහිප දෙනකුම තරඟ වැදුණි.
John McAfee (Wikimedia Commons)

පළමු වටයේ ඡන්ද විමසීමේදී පක්ෂ සම්මේලන නියෝජිතයින් 458 දෙනකුගේ ඡන්ද ජොන්සන්ට ලැබුණු අතර දෙවනි තැන දිනාගත් ඔස්ටින් පීටර්සන්ට ඡන්ද 197 ක් ලැබුණි. මැකෆී ඡන්ද 131 ක් දිනාගත්තේය​.

දෙවැනි වටයේදී මුලු ඡන්ද 928 කින් 518 ක්, එනම් සියයට 55.82 ක් ජොන්සන් වෙත ලැබුණ අතර පීටර්සන් ඡන්ද 203 ක් දිනුවේය​. මැකෆී නැවතත් ඡන්ද 131 ක් ලබාගත්තේය​.

මේ අතර පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු මැසචුසෙට්ස් ආණ්ඩුකාර විලියම් වෙල්ඩ් තෝරාගන්නා ලදී.

ලිබර්ටේරියානු පක්ෂය මධ්‍ය දක්ෂිනාංශික පක්ෂයක් වන අතර සිවිල් නිදහස සුරැකීම මෙන්ම ආර්ථිකයට රජය විසින් කරන බලපෑම අවම කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති පක්ෂයකි.

අනපේක්ෂිත යමක් නොවී නම් මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වනු ඇති අතර ඩිමොක්‍රටික් පක්ෂයෙන් බොහෝ විට හිලරි ක්ලින්ටන් ඉදිරිපත් වීමට ඉඩ ඇත​. බැර්නි සැන්ඩර්ස්ට ඇත්තේ ඉතා අඩු ඉඩකි. කෙසේ වෙතත් රිපබ්ලිකන් පක්ෂය තුළ ට්‍රම්ප්ට විරුද්ධ සැළකිය යුතු කොටසක් වන අතර ඩිමොක්‍රටික් පක්ෂය තුළ ද ක්ලින්ටන්ට විරුද්ධ සැළකිය යුතු පිරිසක් වෙති. ලිබර්ටේරියානු පක්ෂය බලාපොරොත්තු වන්නේ මෙම අපේක්ෂාභංගත්වයට පත් පිරිස් තමන් වටා එක් කර ගැනීමටය​

Sunday, May 29, 2016

පළමු ලෝක යුද්ධය​: වර්ඩුන් සහ සෝම්

1916 වසරේදී බටහිර පෙරමුණෙහි සටන් පිළිබඳ වචන දෙකකින් විස්තර කළ හැක​. එනම් වර්ඩුන් සහ සෝම් යන වචන දෙකෙනි. පළමු ලෝක යුද්ධය පුරාවට බටහිර පෙරමුණෙහි සිදු වූ දැවැන්තම සටන් දෙක ලෙස වර්ඩුන් සහ සෝම් සැළකිය හැක​.

1915 වසරේදී රුසියාවේදී ලද ජයග්‍රහණයන් හේතුවෙන්, 500,000 ක පමණ සේනාංක බටහිර පෙරමුණ වෙත එවීමට ජර්මනියට හැකියාව ලැබිණ​. ඔවුනගේ අභිප්‍රාය වූයේ 1916 වසරේ මුල දී, එනම් සීත කාළය නිමාවෙන් පසු, බටහිර පෙරමුණට දරුණු ප්‍රහාරයක් එල්ල කර මිත්‍ර පාක්ෂික හමුදාවන්ට හැකි තරම් හානි සිදු කිරීමටය​.

ජර්මන් හමුදා කාර් ය මණ්ඩල ප්‍රධානී ජෙනරාල් එරික් ෆොන් ෆොල්කන්හේන් (Erich von Falkenhayn) වර්ඩුන් ප්‍රදේශයට පහර දීමට තීරණය කළේ එම ප්‍රදේශයේ උපක්‍රමික වැදගත්කම මෙන්ම ප්‍රංශ ජාතිකයින්ට එහි වූ සංකේතාත්මක වැදගත්කම ද සළකා බලමිනි. වර්ඩුන් ප්‍රදේශය දැඩි ආරක්ෂක විධිවිධාන පනවා ශක්තිමත් කරන ලද ප්‍රදේශයක් විය​. එකළ පැවති යුධ උපක්‍රමය අනුව​, සතුරාගේ ප්‍රබලම ස්ථානයට පහර දී දැඩි අලාභහානි පැමිණවීම ආක්‍රමණික හමුදාවේ අරමුණ වූයේය​.
Map of the Western Front, 1915-1916 (History Department of the US Military Academy - West Point)

ජර්මන් හමුදා වර්ඩුන් ප්‍රදේශයට පහර දීමට පිඹුරුපත් සකසද්දී මිත්‍ර හමුදා ද සෝම් නදී ප්‍රදේශයට පහර දීමේ සැලසුම් සකස් කරමින් සිටියෝය​. නමුත් ඔවුනගේ සැලසුම් ක්‍රියාත්මක වීමට තිබුණේ ගිම්හානයේදී ය​.

ජර්මන් හමුදා ඊට පෙර සිය ප්‍රහාර ඇරඹූහ​. මිත්‍ර හමුදාවල​, වෙසෙසින්ම වර්ඩුන් හා ඒ අවට වූ ප්‍රංශ හමුදාවල දැඩි ප්‍රහාර මධ්‍යයේ දහස් ගණනින් සෙබලුන් අහිමි වද්දීද ඔවුහු සිය හමුදා ඉදිරියට මෙහෙයවූහ​. සටන් අරඹා සිව් දිනකින්, එනම් පෙබරවාරි 21 වනදා ජර්මන් හමුදාවෝ ඩෝඅමොන් බලකොටුව අල්ලාගත් හ​.

වර්ඩුන් සටන් බිමෙහි ප්‍රංශ හමුදා අණ දෙන නිලධාරියා ලෙස පත් කළ ජෙනරාල් ෆිලිප් පෙටේන් ගේ මූලික උපක්‍රමය වූයේ වෙඩි බලය මඟින් ප්‍රතිවාදියා මැඩීමය​. ප්‍රංශ හමුදා විසින් එල්ලකළ දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයන් හමුවේ ජර්මන් හමුදා ඉදිරියට ගියේ විශාල ජීවිත හානි ද සමගිනි. මේ අතර මාර්තු 22 වනදා හාර්කෝර්ට් බලකොටුව ද ඉන් සතියකට පසු මෙලන්කෝර්ට් බලකොටුව ද ජර්මානුන් විසින් අල්ලාගන්නා ලදී.

කෙසේ වෙතත් වර්ඩුන් නගරය අල්ලාගැනීමට ඔවුහු තවමත් සමත් නොවූහ​.

අප්‍රේල් මාසය වනවිට ප්‍රදේශයට ඉහළ අහසේ ගුවන් බලය තමන් සතු කර ගැනීමට ප්‍රංශය සමත් වීම යම් වැදගත්කමකින් යුතු සිද්ධියක් වූයේය​. ජුනි මාසයේදී ජර්මානුන් විසින් වෝ බලකොටුව ඇතුලු තවත් බලකොටු කිහිපයක් අල්ලාගන්නා ලද නමුත්, තවමත් වර්ඩුන් නගරය තිබුණේ ප්‍රංශ හමුදා අත ය​.

ජුලි 1 වනදා බ්‍රිතාන්‍යයන් විසින් සෝම් නදී සංග්‍රාමය අරඹන ලදී. ජර්මානු හමුදා සේනාංක සමහරක් එම ප්‍රදේශයට මාරු කර යැවීමට සිදු වූයෙන් වර්ඩුන් දෙසට වන ජර්මන් ප්‍රහාර මඳක් අඩු විය​. මේ අතර අගෝස්තු-දෙසැම්බර් මාසවල ප්‍රංශ හමුදා ප්‍රති ප්‍රහාර එල්ල කරමින් තමන්ට අහිමි වූ ප්‍රදේශ කෙමෙන් කෙමෙන් යළි අල්ලාගත් හ​. වර්ඩුන් හි නව අණ දෙන නිලධාරී ජෙනරල් රොබර්ට් නිවෙල් බලකොටුවෙන් උතුරු දෙසට ප්‍රහාරයක් දියත් කළේය​. සැප්තැම්බර් 24 වනදා ප්‍රංශ හමුදා ඩෝඅමොන් සහ තියොමොන් බලකොටුවලින් එළවා දමන ලදී. නොවැම්බරය වනවිට ඔවුනට වෝ බලකොටුව ද අහිමි විය​.

සෝම් නදී සංග්‍රාමය ආරම්භ වූ 1916 ජූලි 1 වනදා බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසයේ අඳුරු දිනයකි. බ්‍රිතාන්‍ය හමුදා බලාපොරොත්තු වූයේ දරුණු කාලතුවක්කු ප්‍රහාරවලින් ජර්මන් යුධ අගල්වල සිටින සෙබලුන්ට ජීවිත හානි විශාල ප්‍රමාණයක් සිදු කර​, එම අගල් අල්ලා ගැනීමය​. මෙම සැලසුමට අනුව ජූලි 1 වනදා හිමිදිරියේ පටන් පැය කිහිපයක් යනතුරු දරුණු කාලතුවක්කු ප්‍රහාරයක් ජර්මන් ආරක්ෂක අගල් වෙත එල්ල කරන ලදී. ඉනික්බිති බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සේනා සිය පාබල හමුදා මගින් අගල් අල්ලා ගැනීමට උත්සාහ කළහ​.

සටන් පෙරමුණේ ඇතැම් ප්‍රදේශවල මෙම ප්‍රහාරය සාර්ථක වූ නමුත් බ්‍රිතාන්‍යයින් විසින් පහර දෙන ලද එක් කොටසකදී සිදු වූයේ බලාපොරොත්තු නොවූවකි. කාලතුවක්කු ප්‍රහාරවලින් ආරක්ෂා වී සිටි ජර්මන් හමුදා බ්‍රිතාන්‍ය පාබල සේනාංක සිය ප්‍රහාරය දියත් කරද්දී ප්‍රති ප්‍රහාර එල්ල කළේ බලාපොරොත්තු නොවූ අයුරිනි. බ්‍රිතාන්‍යයින් ද කිහිප විටක්ම පහර දුන් නමුත් ඒ සෑම විටෙකදීම ඔවුනට පහර දෙන ලදී. මෙම ප්‍රහාරයට ලක් වූ බ්‍රිතාන්‍ය හතරවැනි හමුදාවේ 55,000 ක්ට වැඩි පිරිසක් එදින මිය ගියහ​; නැතහොත් තුවාල ලදහ​.

සෝම් නදී සංග්‍රාමය නොවැම්බරය කරා ඇදී ගිය අතර එහිදී මිත්‍ර හමුදා විසින් වර්ග කිලෝමීටර 325 ක් පමණ අල්ලාගන්නා ලදී.

මෙම සටන අතරවාරයේ සිදු වූ තවත් වැදගත් සිදුවීමක් නම් අලුත් යුධ ආයුධයක් ලෝකට හඳුන්වා දීමය​. 1916 සැප්තැම්බර් 16 වනදා කෝර්සලේ ප්‍රදේශයේදී කරළියට පැමිණි මේ ආයුධය නම් යුධ ටැංකියයි.

කළින් ලිපිය​: ගැලිපොලි සහ තුර්කි සටන්

Saturday, May 28, 2016

රියෝ ඔලිම්පික් උළෙලට සහභාගීවන එස්තෝනියාවේ "Trio for Rio" නිවුන් සොයුරියෝ

ලෙයිලා, ලීනා සහ ලිලී ලුයික් (Leila Luik, Liina Luik, Lily Luik) නිවුන් සහෝදරියෝ එස්තෝනියාවේ වසන සර්වසම නිවුන් සොයුරියන් තිදෙනෙකි. මේ තිදෙනා මෙවර රියෝ ඔලිම්පික් උළෙල සඳහා එකම ඉසව්වට​, එනම් කාන්තා මැරතන් ඉසව්වට​, සුදුසුකම් ලබා සිටිති.

ඔලිම්පික් උළෙලක එකම ඉසව්වට නිවුන්නු දෙදෙනකු තරඟ කළ අවස්ථා තිබුණද, මේ ආකාරයෙන් නිවුන්නු තිදෙනකු එකම ඉසව්ව සඳහා ඉදිරිපත් වන අවස්ථාවක් මින් පෙර මතුවී නැති බව විශ්වාස කෙරේ.

තිස් හැවිරිදි ලුයික් සොයුරියෝ එස්තෝනියාවේ ටාර්ටු නගරයේ වසන්නෝ වෙති.  ඔලිම්පික් උළෙල සඳහා ඔවුන් සුදුසුකම් ලැබීම පිළිබඳ වැදගත් කරුණක් වන්නේ ඔවුන් දිගු දුර දිවීම ඉසව් කෙරෙහි අවධානය යොමු කර වැඩි කළක් ගතවී නොමැති වීම යි. මෙම තුන් නිවුන් සොයුරියන් මුලින්ම දිගු දුර දිවීමට පටන් ගෙන ඇත්තේ වයස අවුරුදු 24 දී ය​.

ඔවුන් මෙවර රියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන්නේ "Trio for Rio" යන නමින් ඔවුන්ව හඳුන්වා ගනිමිනි.

Friday, May 27, 2016

ඉරාකයේ ෆලූජා නගරය නිදහස් කරගැනීමට​ 'මානුෂීය මෙහෙයුමක්'

ඉරාක හමුදා ISIS ත්‍රස්තවාදීන් අත පවතින ෆලූජා නගරය අල්ලාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබේ. පසුගිය සතිය තුළ ඔවුහු නගරය අවට උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක්ම අල්ලාගත් හ​.

බිම් බෝම්බ සහ අගල් පද්ධති මගින් ත්‍රස්තවාදීන් ඔවුන් රැඳී සිටින ස්ථාන සුරක්ෂිත කරගැනීමට උත්සාහ ගනිමින් සිටින අතර ඉරාක හමුදා විසින් එම ස්ථාන වෙත රොකට් ප්‍රහාර එල්ල කරනු ලැබේ.

මෙම මෙහෙයුම්වලට ඉරාක හමුදාව​, පොලිස් ත්‍රස්ත විරෝධී බල ඇණි, ප්‍රාදේශීය ගෝත්‍රික කණ්ඩායම් සහ ෂියා මිලීෂියා භටයින් සමඟ 20,000 ක පමණ පිරිසක් සහභාගී වෙති. ඔවුනට එරෙහිව ෆලූජා නගරයේ රැඳී සිටිනුයේ සටන්කාමීන් දහසක පමණ පිරිසක් බව විශ්වාස කෙරේ.
Map credit: Washington Post

කෙසේ වෙතත් දැනට ඉරාක හමුදා සතුව ඇති විශාලතම අභියෝගයක් වන්නේ නගරයේ සිවිල් වැසියන් ආරක්ෂා කරගැනීමය​. ඔවුනට පිටවී යාමට මාර්ග කිහිපයක් හමුදාව විසින් ප්‍රකාශයට පත් කර ඇති නමුත් 50,000 ක පමණ සිවිල් වැසියන් පිරිසක් ත්‍රස්තවාදීන් විසින් බලෙන් රඳවාගෙන සිටින බව වාර්තා වේ. ඔවුන් ආහාර සහ පානීය ජලය හිඟකමින් පීඩා විඳින බව වාර්තා වේ.

මේ හේතුවෙන් සිවිල් වැසියන් ගලවා ගැනීම සඳහා ඉරාක හමුදාවලට 2009 දී ශ්‍රී ලංකා හමුදා සිදු කළ ආකාරයේ "මානුෂීය මෙහෙයුමක්" දියත් කිරීමට සිදු වනු ඇතිදැයි සැකයක් පහළ වී ඇත​.

ෆලූජා නගරය නැවත අල්ලා ගැනීම ඉරාක හමුදාවලට වැදගත් ජයග්‍රහණයක් වනු ඇත​. ෆලූජා යනු ISIS ත්‍රස්තවාදීන් ගේ පාලනයට නතු වූ පළමු ඉරාක නගරයයි. එමෙන්ම එය සුන්නි මුස්ලිමානුවන් වසන නගරයකි. බැග්ඩෑඩ් අගනුවර සිට ෆලූජා නගරයට ඇත්තේ කිලෝමීටර 69 ක පමණ දුරකි.

සිරියාවේ රකා නගරය ISIS ත්‍රස්තයින්ගෙන් ගලවා ගැනීමේ මෙහෙයුම

ඇමරිකා එක්සත් ජනපද ආධාර ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා (Syrian Democratic Forces - SDF) සටන්කාමීන්, "ඉස්ලාමීය රාජ්‍යය​" නමින් තමුන්ව හඳුන්වාගන්නා ISIS ත්‍රස්තවාදීන් ගේ "අගනුවර​" ලෙස සැළකෙන රකා (Raqqa) නගරය ආසන්න ප්‍රදේශවලට පහර දීම අරඹා ඇත​.

රකා නගරයට කිලෝමීටර 60 ක් පමණ වයඹ දෙසින් වන අයින් ඉසා නම් ප්‍රදේශයට SDF සංවිධානයේ හමුදා පහර දී ඇති අතර මේ වනවිට ගම්මාන ගණනාවකින් ISIS ත්‍රස්තයින් පළවා හැර ඇති බව වාර්තා වේ.
SDF භටයින් (Rodi Said/Reuters)

කෙසේ වෙතත් නුදුරු දිනයකදී රකා නගරය වෙත කෙළින්ම ප්‍රහාරයක් එල්ල වීමේ ඉඩකඩ අඩු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

SDF සංවිධානය, ISIS ත්‍රස්තයින්ට මෙන්ම සිරියානු රජයට ද එරෙහි සංවිධාන සමූහයක එකතුවකි. එහි ප්‍රධානතම සාමාජිකයා වන්නේ කුර්දි ජාතිකයන් ගෙන් සැදුම් ලත් මහජන ආරක්ෂක ඒකක​ (People's Protection Units - YPG) සංවිධානය ය​.

මේ අවස්ථාව වනවිට ඔවුනගේ මූලික අරමුණ වන්නේ කෙළින්ම නගරයට පහරදීමට වඩා නගරයෙන් උතුරේ වන විශාල ප්‍රදේශය අල්ලාගැනීම බව SDF ප්‍රකාශකයකු වන තලාල් සිලෝ රොයිටර්ස් පුවත් සේවය සමඟ පැවසීය​.

SDF සංවිධානය විසින් එල්ල කරන මෙම ප්‍රහාරයන් ඇරඹෙන්නේ එක්සත් ජනපද ජෙනරල් ජෝසෆ් වොටෙල් සිරියාව වෙත කළ හදිසි සංචාරයෙන් දින කිහිපයකට පසු වීම විශේෂත්වයකි. මේ අතර ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය සහ රුසියාව ද රකා ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටී.
මැයි 26 වනවිට සටන් පෙරමුණ​. සිතියමේ පහළින් රකා නගරයේ කොටසක් දිස් වේ.

රකා නගරය සිරියානු රාජ්‍ය විරෝධී සටන්කාමීන් අතට පත් වූයේ 2013 මාර්තුවේදීය​. 2014 අප්‍රේල් වනවිට එහි පාලනය තනිකරම ISIS සංවිධානය සතු වූ අතර ඔවුන් විසින් එය සිය අගනුවර ලෙස ප්‍රකාශයට පත් කෙරිණ​. ISIS සංවිධානය පවසන්නේ තමුන් පරමාදර්ශී ඉස්ලාමීය රාජ්‍යයක් නිර්මාණය කරන බවය​. නමුත් ඔවුනගේ ප්‍රතිවාදීන් පවසනුයේ සංවිධානය සිවිල් වැසියන් සුබසාධනය කෙරෙහි කිසිදු අවධානයක් නොදක්වන බවය​.

පරමාණු බෝම්බ හෙළීම පිළිබඳ බරක් ඔබාමා සමාව ගනීද​?

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති බැරක් ඔබාමා එරට විදේශ ප්‍රතිපත්තියේ පැහැදිලි වෙනස්කම් කිහිපයක්ම සිදු කළ නායකයකු බව අවිවාදයෙන් පිළි ගැනෙන්නකි.

මෙම පියවරයන් හි අවසන් අරමුණ කළින් පැවති සමහර ඇමරිකානු රජයයන්හි අරමුණුවලින් එතරම් වෙනස් නොවන බව කෙනෙකුට තර්ක කිරීමට පිළිවන​. නමුත් විදේශ ප්‍රතිපත්තියේ භාවිතාවේ පැහැදිලි වෙනසක් ඔහු විසින් ඇති කරනු ලැබුණ බව පිළිගැනීමට සිදු වේ.

මෙවන් එක් අවස්ථාවක් වූයේ ඔහුගේ කියුබානු සංචාරයයි. තවත් අවස්ථාවක් වනු ඇත්තේ ඔබාමාගේ හිරෝෂිමා සංචාරයයි.

G-7 සමුලුවට සහභාගී වීම සඳහා ජපානයට ගොස් සිටින ඇමරිකානු ජනාධිපතිවරයා මැයි 27 වනදා හිරෝෂිමාවට පැමිණ එහි සාම ස්මාරකය කරා යනු ඇත්තේය​. එහිදී ඔහු එතරම් දිගු නොවන කතාවක් පැවැත්වීමට ද සූදානම් වී සිටී.
ඡායාරූපය AFP/Getty Images

මෙහිදී ඇමරිකා එක්සත් ජනපදය විසින් ජපානයට පරමාණු බෝම්බ හෙලීම පිළිබඳ එරටින් සමාව ගනු ඇති බවට අනාවැකි පළ විය​​. නමුත් පසුව සඳහන් වූයේ එවන් සමාව ඉල්ලීමක් සිදු නොවන බවත් යුද්ධයෙන් මියගිය සියල්ලන් වෙත ගෞරවය පුද කිරීම පමණක් ඔබාමා විසින් සිදු කෙරෙන බවත් ය​.

සාම ක්‍රියාකාරිකයන් පවසනුයේ සමාව ගැනීමට වඩා වැදගත් වනුයේ න්‍යෂ්ටික අවි හරණය පිළිබඳ පියවර ගැනීම බවය​.

1945 අගෝස්‍තු 6 වනදා ඇමරිකානුවන් විසින් ජපානයේ හිරෝෂිමාවට පරමාණු බෝම්බයක් හෙළන ලදී. ඒ දෙවැනි ලෝක යුද්ධයේ අවසන් දිනවලදී ය​. ඉන් දින තුනකට පසු නාගසාකි නගරයටද එලෙසම බෝම්බ දමන ලදී. මෙම නගර දෙක දැඩි සේ විනාශ වූ අතර දස දහස් ගණන් ජනයා මිය ගියහ​. තවත් දහස් ගණනක් විකිරණවල බලපෑමට ලක්ව විවිධ රෝගාබාධවලට ලක් වූහ​.

සෑම වසරකම අගෝස්තු 6 වනදා හිරෝෂිමාවට එල්ල වූ ප්‍රහාරය සැමරීම සඳහා එනුවර සාම ස්මාරකය අසළ උත්සවයක් පවත්වනු ලබයි. ඔබාමා ජනාධිපති ධූරයට පැමිණි පසු, 2010 වසරේ පටන්, ඇමරිකානු රජයේ නියෝජිතයකු එම අවස්ථාවට සහභාගී වන්නේය​. පසුගිය මාසයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද හිරෝෂිමා සාම ස්මාරකය දැක බලාගත්තේය​.

Thursday, May 26, 2016

ඇෆ්ඝන් තලේබාන් සංවිධානයේ නව නායකයා

ඇෆ්ඝන් තලේබාන් සංවිධානයේ නව නායකයා ලෙස හයිබතුල්ලා අකුන්ද්සාදා පත් කරන ලද බව එම සංවිධානය ඊයේ, එනම් මැයි 25 වනදා, ප්‍රකාශ කළේය​.

තලේබාන් සංවිධානයේ ඉහළම පාලනාධිකාරිය වන ෂූරා කවුන්සිලය විසින් එම පත්වීම ඒකමතිකව සම්මත කරන ලද බැව් එම සංවිධානය කියා සිටියේය​.

මේ අනුව ඇෆ්ඝන් තලේබාන් සංවිධානයේ තුන්වන නායකයා බවට අකුන්ද්සාදා පත් වූයේය​. ඒ එහි ආරම්භක නායක මුල්ලා මොහොමඩ් ඔමාර් සහ මුල්ලා මන්සූර්ට පසුවය​.

අකුන්ද්සාදා එම තනතුරට පත් වූයේ පසුගිය සෙනසුරාදා පාකිස්ථානයේදී ඇමරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය මුල්ලා මන්සූර්ගේ ස්ථානය ගැනීමටය​. දැනට වයස අවුරුදු 50 ගණන්වල මුල් අවධියේ සිටින්නේ යයි සැලකෙන අකුන් ද්සාදා කලින් ඇෆ්ඝන් තලේබාන් නායකයින් දෙදෙනාටම වඩා වෙනස් අයෙකි. මක් නිසාද යත්, කලින් නායකයින් දෙදෙනාම හමුදා නායකයින් වෙද්දී අකුන්ද්සාදා හමුදාමය පසුබිමක අයකු නොවන බැවිනි.

අකුන්ද්සාදා ඉස්ලාම් දහම පිළිබඳ උගතකු සහ හිටපු තලේබාන් යුධ අධිකරණ විනිසුරකු ලෙස සලකනු ලැබේ.

මේ අතර​, තලේබාන් නියෝජ්‍ය නායකත්වයට පත්ව ඇත්තේ දැඩි මතධාරී මිලිටරි නායකයකු වන සිරයුද්දින් හකානි සහ මුල්ලා යාකුබ් ය​. හකානි යනු පකිස්ථානය කේන්ද්‍ර කරගත් හකානි ජාලයේ නායකයා ය​. ඔහුට පකිස්ථානයේ ප්‍රබල කණ්ඩායම්වල සහය ලැබෙන බව පැවසේ. මුල්ලා යාකුබ් යනු ඇෆ්ඝන් තලේබාන් සංවිධානයේ නිර්මාතෘ මුල්ලා මොකොමඩ් ඔමාර්ගේ පුතෙකි.

හකානි සහ යාකුබ් මුල්ලා මන්සූර් යටතේද නියෝජ්‍ය නායකත්වය දැරූහ​. අකුන්ද්සාදා ද එවක තලේබාන් නියෝජ්‍ය නායකයකු විය​.
තලේබාන් පාලනය යටතේ වන ප්‍රදේශ තද දුඹුරු පාටින් (නිව් යෝර්ක් ටයිම්ස්, අප්‍රේල් 29, 2016)

තලේබාන් සංවිධානයේ විවිධ බෙදීම් සහ ඉරි තැලීම් සමනය කිරීම කෙරෙහි අකුන්ද්සාදා සාර්ථක වනු ඇතැයි ඇතැම් විචාරකයන් මත පළ කර තිබේ. මුල්ලා ඔමාර්ගේ මරණින් පසු මුල්ලා මන්සූර් බලයට පත්වීම කෙරෙහි ඇතැම් තලේබාන්වරුන් සතුටින් පසු වූයේ නැත​. එයට එක හේතුවක් වූයේ මන්සූර්, ඔමාර් මෙන්, නූර්සායි ගෝත්‍රයේ අයකු නොවූ බැවිනි. අකුන් ද්සාදා එම ගෝත්‍රයේ අයෙකි.

මේ අතර තලේබාන් හමුදාමය අංශය වැඩි වැඩියෙන් සිරයුද්දින් හකානි අතට පත් වීමේ ඉඩක් ද පවතින බව මේ අතර අදහස් පළ වෙමින් පවතී. ඇෆ්ඝනිස්ථානය තුලදී තලේබාන්වරුන් පසුගිය සමය තුළ සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාර ගණනාවකටම වගකිව යුතු වූයේ හකානිගේ ජාලයයි.

හකානිගේ බලය වැඩිවීම තුල ඇෆ්ඝන් යුද්ධය තවත් දරුණු වනු ඇතැයි ඇතැම් විචාරකයන් බිය පළ කර තිබේ.

පළමු ලෝක යුද්ධය​: ගැලිපොලි සහ තුර්කි සටන්

1914 නොවැම්බර් අගදී මඳක් නිහඬ වූ කොකේසස් සටන් පෙරමුණ දෙසැම්බර් මැදදී යළිත් පණ ගැන්විණ​. ජනවාරි මාසය වනවිට සරිකමිෂ් නම් සංග්‍රාමයේදී තුර්කි හමුදා පරාජය කරන ලදී. පෙබරවාරියේදී ජෙනරල් යුඩෙනිච් කොකේසස් හි රුසියානු අණදෙන නිලධාරියා ලෙස නම් කරන ලදී.

මේ අතර ගැලිපොලි සංග්‍රාමය ඇරඹි හෙයින් තුර්කියට කොකේසස් ප්‍රදේශය කෙරෙහි විශාල අවධානයක් යොමු කළ නොහැකි විය​. මේ සමයෙහි සිදු වූ වැදගත් සටනක් නම් වෑන් නගරය වටලෑමයි. බොහෝකොටම පැරණි තුවක්කු සහ පිස්තෝලවලින් සන්නද්ධ වූ ආර්මේනියානු ස්වේච්ඡා භටයින් විසින් ආරක්ෂා කරන ලද නගරය තුර්කි හමුදා විසින් අප්‍රේල් 20 වනවිට වටකරන ලදී. සති තුනක ඇවෑමෙන් යුඩෙනිච්ගේ රුසියානු හමුදා නගරය වටලෑමෙන් මුදාගන්න තෙක් ආර්මේනියානුවෝ තුර්කි හමුදා හමුවේ නගරය ආරක්ෂා කරගැනීමට සමත් වූහ​.

මේ අතර තුර්කීන් විසින් අප්‍රේල් 24 වනදා ආර්මේනියානු බුද්ධිමතුන් පිරිසක් අත් අඩංගුවට ගන්නා ලදී. මින් පසු දිනවල අධිරාජ්‍යය පුරා ආර්මේනියානු ජන සංහාරයක් සිදුවූ බැව් ප්‍රකට ලෙස පිළි ගැනෙන කරුණකි. කොකේසස් ප්‍රදේශයේදී ආර්මේනියානු ස්වේච්ඡා භටයින් තුර්කීන්ට එරෙහිව රුසියානුන්ට සහය වීම මීට හේතුවක් වී යැයි සලකනු ලැබේ.

කෙසේ වුවද තුර්කිය මේ ආකාරයෙන් ජන සංහාරයක් සිදු වූ බව පිළි නොගනී.

ගැලිපොලි

බටහිර පෙරමුණේ අගල් යුධ ව්‍යාපාරය හේතුවෙන් යුද්ධයට කෙටි කාලීන අවසානයක් ළඟා නොවන බව තේරුම් ගත් 'ප්‍රාචීන නිකායක්' බ්‍රිතාන්‍යය තුළ බිහිවිය​. ඔවුනගේ අදහස වූයේ නැගෙනහිරින් ඔටෝමන් අධිරාජ්‍යයට පහරදී බිඳ හෙළා ඉන්පසු එදෙසින් ඔස්ට්‍රා-හන් ගේරියාවට කඩා වැදීමය​. එමගින් ජර්මනිය වටලෑමට හැකිවන බව ඔවුහු අදහස් කළෝය​.

මහා භාණ් ඩාගාරාධිපති ලොයිඩ් ජෝර්ජ් සහ අද්මිරාල්තියේ පළමු සාමිවරයා වූ වින්ස්ටන් චර්චිල් මෙම අදහස ක්‍රියාවට නැංවූ මූලිකම දෙදෙනෙක් වූහ​.

ගැලිපොලි අර්ධද්වීපයට මිත්‍ර පාක්ෂික හමුදා ගොඩ බස්වන ලද්දේ ඔටෝමන් අධිරාජ්‍යය බිඳ දමන අදහසිනි.

ගැලිපොලියට මුලින්ම නාවික ප්‍රහාර එල්ල කරන ලද්දේ 1915 පෙබරවාරියේය​. මාර්තු මාසයේදී ගැලිපොලියේ මෙන්ම ඩාර්ඩනැලිස් සමුද්‍ර සන්ධියේ අනෙක් පස​ වූ ඇනටාලියා වෙරළේ බලකොටු සහ බිම් බෝම්බ ඇතිරූ ප්‍රදේශවලට පහරදීමට මිත්‍ර පාක්ෂික නැව් යොදවන ලදී. නමුත් එම නැව් වලට සැළකිය යුතු අලාභ හානි සිදු විය​.

බ්‍රිතාන්‍ය යුධ ලේකම් වූ කිච්නර් ආදිපාදවරයා විසින් ගැලිපොලි යුධ ව්‍යාපාරයට අණ දීමට ජෙනරාල් ඉයන් හැමිල්ටන් පත් කරන ලදී. බ්‍රිතාන්‍යය​, බ්‍රිතාන්‍ය ඉන් දියාව සහ ප්‍රංශය ආදී රටවල හමුදා මෙම යුධ ව්‍යාපාරයට සම් බන් ධ වූ අතර විශේෂ අවධානයක් යොමු වූයේ ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත (පොදුවේ ඇන්සැක් නමින් හඳුන්වන​ - Anzac) භටයින් වෙතය​.

1915 අප්‍රේල් 25 වනදා මුල්ම මිත්‍ර පාක්ෂික හමුදා ගැලිපොලියට ගොඩ බස්වන ලද අතර ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය විසින් අදටද අප්‍රේල් 25 වනදා ඇන්සැක් දිනය ලෙස සමරනු ලැබේ.

දුර්වල නායකත්වය මෙන්ම හරි හමන් සූදානමක් නොමැති වීමද ගැලිපොලි ව්‍යාපාරයේ අසාර්ථකත්වයට හේතු විය​. මුල් ගොඩබැසීම්වල සිටම මිත්‍ර හමුදාවලට තුර්කි හමුදාවන් එල්ල කළේ දරුණු ප්‍රතිරෝධයකි. තුර්කි හමුදා මෙහෙයවන ලද්දේ තරුණ හමුදා නිලධාරියකු වූ මුස්තාපා කැමල් සහ ජර්මන් හමුදා ජෙනරල්වරයකු වූ ඔටෝ ලීමන් ෆොන් සැන්ඩර්ස් ය​.

මිත්‍ර හමුදා බලාපොරොත්තු වූ අයුරින් ගැලිපොලි අර්ධද්වීපය අල්ලාගෙන කොන්ස්තන්තිනෝපල් අගනගරය කරා ගමන් කිරීමට නොහැකි වූයෙන් යුධ ව්‍යාපාරය එකතැන පල් වීමට පටන් ගත්තේය​. අගෝස්තුවේදී මිත්‍ර හමුදා නැවතත් ප්‍රහාරයක් දියත් කරමින් තුර්කි පෙරමුණු බිඳ දැමීමට උත්සාහ කළත් එය අසාර්ථක විය​.

අගෝස්තුවෙන් පසු බ්‍රිතාන්‍යය කෙමෙන් කෙමෙන් ගැලිපොලියෙන් හමුදා ඉවත් කරගැනීම කෙරෙහි අවධානය යොමු කළහ​. ඔක්තෝබරයේදී ජෙනරාල් චාර්ල්ස් මොන්රෝ ගැලිපොලි ව්‍යාපාරයේ අණදෙන නිලධාරියා ලෙස පත් කෙරුණ අතර කෙටි කළකින් මිත්‍ර හමුදා ගැලිපොලියෙන් ඉවත්වීම ඇරඹූහ​. 1916 ජනවාරි 8 වනදා වනවිට අවසන් මිත්‍ර හමුදා භටයාද අර්ධද්වීපය හැර ගියේය​.

ගැලිපොලි ව්‍යාපාරයේදී මියගිය හෝ තුවාල ලැබූ හෝ බ්‍රිතාන්‍ය සහ ඇන්සැක් භට සංඛ්‍යාව 200,000 පමණ වූ අතර ප්‍රංශ හමුදාවේ 47,000 ක් පමණ වූහ​. තවද 250,000 - 300,000 ක් පමණ තුර්කි භටයෝ ද මිය ගියහ​; නැතහොත් තුවාල ලැබූහ​.

මිත්‍ර පාක් ෂිකයන් ගැලිපොලිහිදී විජයග්‍රාහී වී නම් තුර්කි අගනුවර වැඩි කල් නොගොස් වැටෙන්නේය​. එසේ වී නම් 1918 ට පෙර යුද්ධය නිම වීමේ ඉඩක් පැවතිණ​.

ගැලිපොලි ව්‍යාපාරයෙන් තුර්කිය බෙහෙවින් දුර්වල අඩියකට පත් වූ බව සැබෑවකි. ඒ අතින් එම යුධ ව්‍යාපාරය සැළකිය යුතු වැදගත්කමකින් යුක්ත වේ.

මෙසපොතේමියා පෙරමුණ​

තුර්කියට එරෙහිව බ්‍රිතාන්‍යයින් ඇරඹූ තවත් යුධ ව්‍යාපාරයක් වූයේ මෙසපොතේමියාව ආක්‍රමණයයි. එවක තුර්කිය විසින් පාලනය කෙරුණ මෙම ප්‍රදේශයට බ්‍රිතාන්‍ය ඉන් දියාවෙන් පැමිණි හමුදා 1914 වසර තුළදීම කඩා වැදුණෝය​. සුප්‍රකට බැග්ඩෑඩය ඔවුනගේ මූලික ඉලක්කය විය​.

1914 නොවැම් බර් 6 වනදා ෆාඕ බලකොටුවට නාවුක ප්‍රහාරයක් එල්ල කළ බ්‍රිතාන්‍යයෝ එම මස 22 වනදා බස්රා නගරය අල්ලාගත් හ. ඉන් මාස කිහිපයකට පසු බ්‍රිතාන්‍යයෝ කුට්-අල්-අමාරා නගරය ද අල්ලාගත්තෝ ය​.

ඔටෝමන් යුධ ඇමති එන්වර් පාෂා මෙසපොතේමියානු සටන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්නට වූයේ බැග්ඩෑඩය ප්‍රතිවාදියා අතට පත්වීමේ අවදානමක් මතු වූ හෙයිනි.

මෙසපොතේමියාවේ ඔටෝමන් හමුදා ප්‍රතිසංස්කරණය කරන ලදුව ඔටෝමන් හයවැනි හමුදාව පිහිටුවන ලදී. එහි අණ දෙන නිලධාරියා වූයේ ජර්මන් ජාතික ජෙනරල්වරයකු වූ කොල්මාර් ෆොන් ඩර් ගොල්ට්ස් ය​.

බැග්ඩෑඩය කරා ගමන් ගත් බ්‍රිතාන්‍ය හමුදා ක්ටෙසිෆොන් (Ctesiphon) හිදී ඔටෝමන් හමුදා හා ගැටුණේ නොවැම්බර් අගදීය​. එම සටනෙන් එක පක්ෂයකටවත් විශාල ජයග්‍රහායක් නොලැබුණ ද බැග්ඩෑඩය බේරා ගැනීමට ඔටෝමන් හමුදා සමත් වූ හෙයින් එය ඔවුනට වැදගත් සටනක් විය​.

මෙම සටනින් පසු ඔටෝමන් හමුදා කුට්-අල්-අමාරා වෙත ළඟා වූ අතර දෙසැම්බර් 7 වනදා වනවිට නගරය වටලන ලදී.

කළින් ලිපිය​: පළමු ලෝක යුද්ධය​: 1915 සටන් පෙරමුණු

Wednesday, May 25, 2016

පළමු ලෝක යුද්ධය​: 1915 සටන් පෙරමුණු

1914 වසර අවසන් වනවිට යුධ අගල් ඔස්සේ බටහිර පෙරමුණ සිරවූ අතර​, එහෙයින්ම වෙනත් 1915 වසරේදී සටන් පෙරමුණුවල ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් යුධ මෙහෙයුම් කිහිපයක්ම දියත් වනු දැකිය හැකි විය​.

බටහිර පෙරමුණ​

දෙපක්ෂයෙහි යුධ අගල් අභිබවනය කිරීමට මෙම වසර තුළදී කිහිප අවස්ථාවකම උත්සාහයන් දියත් විය​. මාර්තු 10 වනදා න්‍යු චැපෙල් (Nueve Chapelle) හිදී මිත්‍ර පාක්ෂික ප්‍රහාරයක් යම් සාර්ථකත්වයක් ලැබීය​. මේ අතර මැයි-ජූනි මාස අතරතුරදී න්‍යු චැපෙල් සහ අරාස් අතර ප්‍රදේශයට මිත්‍ර පාක්ෂිකයන් එල්ල කළ ප්‍රහාරයක ප්‍රතිඵලය ලෙස ඔවුහු කිලෝමීටර 4ක පමණ දුරක් ඉදිරියට යෑමට සමත් වූහ​.

මේ අතර 1915 අප්‍රේල් මසදී ජර්මන් හමුදා බෙල්ජියමේ යිප්‍රී (Ypres) වෙත පහර දුන්හ​. එම මස 22 වනදා, ඔවුහු පළමුවරට අලුත් යුධ ආයුධයක් හඳුන්වා දුන්හ​. අන්තර්ජාතික නීති උල්ලංඝනය කරමින් ඔවුහු සිය ප්‍රතිවාදියාට ක්ලෝරීන් වායු ප්‍රහාරයක් එල්ල කළ හ​. උදෑසන මීදුමත් සමඟ සටන් පෙරමුණෙහි කිලෝමීටර 7 ක ප්‍රදේශයක් සිසාරා එල්ල වූ එම ප්‍රහාරය මිත්‍ර පාක්ෂික සෙබලුන්ට අක්ෂි ආබාධ සහ ශ්වසන ආබාධ ගෙනාවේය​.

සැප්තැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය හමුදා බෙල්ජියමේ ලෙන්ස් නගරයට පහර දුන් අතර ප්‍රංශ හමුදා අසළ වූ විමි රිජ් වෙත පහර දුන්හ​. ඔවුහු කිලෝ මීටර 2.5 ක දුරක ජර්මානු පළමු අගල් පේළිය අල්ලාගැනීමට පමණක් සමත් වූහ​.

මේ අනුව මෙම වසර නිම වෙද්දී ද බටහිර පෙරමුණෙහි දෙපක්ෂයටම විශේෂ වාසිදායක තත්ත්වයක් නොවීය​.

නැගෙනහිර පෙරමුණ​

ටැනන්බර්ග් සංග්‍රාමයෙන් ඔද වැඩුන ජර්මන් හමුදා 1914 සැප්තැම්බරයේදී පළමු මසුරියානු විල් සංග්‍රාමය ජයගත් අතර 1915 පෙබරවාරියේදී දෙවන මසුරියානු විල් සංග්‍රාමයෙන් ද රුසියානුන් පරාජයට පත් කළහ​.

මේ අතර ඔස්ට්‍රියානු ප්‍රදේශවලදී රුසියානු හමුදා වඩා වැඩි සාර්ථකත්වයක් ලැබුවෝය​. ගැලීසියාවට කඩා වැදුණ රුසියානු හමුදා ශෙමිෂල් (Przemyzl) නගරය වටලාගත් හ​. මෙම නගරය දින 133 කට පසු 1915 මාර්තුවේදී යටත් විය​.
ශෙමිෂල් බලකොටුව 1915

මැයි මාසයේදී ඒකාබද්ධ ජර්මන් - ඔස්ට්‍රා හන්ගේරියානු හමුදා ප්‍රහාරයකින් රුසියන් හමුදා විදුලි වේගයෙන් පසු බස්වන ලදී. මාස හතරකදී ඔවුන් පෝලන්තය​, ලිතුවේනියාව සහ කෝර්ලන්තය හරහා පසු බස්වන ලදී. මධ්‍ය බලවතුන් සිය ප්‍රහාරය නිම කරද්දී රුසියානු හමුදා සහ ඔවුන් අතර සීමාව වූයේ රීගා සහ ඩ්වින්ස්ක් (ඩෝගව්පිල්ස්) අතර ඩ්වීනා නදිය දිගේත්, එහි පටන් ඩ්නීස්ටර් නදිය තෙක් ගොඩබිම් තීරයේත් ය​.

දකුණු පෙරමුණ​

යුද්ධයේ ආරම්භක මාසවලදී සිදුවූ සටන්වලින් පසු දකුණු පෙරමුණ​, එනම් සර්බියාව ආශ්‍රිත පෙරමුණ මඳක් නිහඬ බවක් ප්‍රදර්ශනය කළේය​. මෙම තත්ත්වය වෙනස් වූයේ 1915 ඔක්තෝබරයේදී ය​.

මෙම පෙරමුණෙහි සිදු වූ වැදගත්ම සිදුවීමක් නම් බල්ගේරියාව යුද්ධයට අවතීර්ණ වීමය. මිත්‍ර පාක්ෂිකයන්ට මෙන්ම මධ්‍ය බලවතුන්ට ද බල්ගේරියාව සිය පක්ෂයෙන් යුද්ධයට අවතීර්ණ කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් විය​. සැප්තැම්බර් පමණ වනවිට බල්ගේරියාවේ ෆර්ඩිනන්ඩ් රජු මධ්‍ය බලවතුන් සමඟ එක් වේ යයි සැක කළ මිත්‍ර පාක්ෂිකයෝ ග්‍රීසිය සමඟ එකඟත්වයකට පැමිණ සේනාංක දෙකක් සැලෝනිකාවට ගොඩ බැස්සවූහ​. නමුත් ඔවුනට සර්බියාව ගලවා ගැනීම සඳහා ප්‍රමාණවත් කාළයක් නොවීය​.

බල්ගේරියාව යුද්ධයට අවතීර්ණ වීමේ බලාපොරොත්තු ඇතිව ජර්මන් සහ ඔස්ට්‍රා හන්ගේරියා හමුදා සර්බියාවට එරෙහිව ප්‍රහාර ඇරඹූවේ ඔක්තෝබර් 7 වනදාය​. ඉන් සතියකට පසු, ඔක්තෝබර් 14 වනදා, සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළ බල්ගේරියාව එරට ආක්‍රමණය කළේය​.

ඔක්තෝබර් 15 වනදා බ්‍රිතාන්‍යය සහ මොන්ටිනීග්‍රෝව ද ඉන් පසුදා ප්‍රංශය සහ ඉතාලිය ද (ඉතාලිය මේ වනවිට මිත්‍ර පාක්ෂිකයන් හා එක්ව සිටියේය​) බල්ගේරියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළෝය​.
'Map of the Kingdom of Serbia in 1914' (Ministry for Culture and Heritage, New Zealand)

1915 මුල් මාසවලදී සර්බ් හමුදා ප්‍රතිසංවිධානය කෙරෙහි එරටෙහි අවධානය යොමු වුවද ඒ සම්බන්ධයෙන් එතරම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට ඔවුනට හැකි නොවීය​. මේ අනුව මධ්‍ය බලවතුන් එල්ල කළ ප්‍රහාර හමුවේ පසු බැසීම හැර විකල්පයක් ඔවුනට නොවීය​.

ප්‍රංශ ජෙනරල් මොරිස් සරේල් විසින් මෙහෙයවූ හමුදා සැලෝනිකාවේ සිට සර්බියාවට ඇතුලු වූ නමුත් සර්බියාව අභ්‍යන්තරයේ වැඩි ඈතට යාමට ජෙනරාල්වරයා කැමැත්තක් නොදැක්වීය​. කෙසේ වෙතත් ඔහුගේ පැමිණීම සර්බ් හමුදාවලට මඳ අස්වැසිල්ලක් වූයේ බල්ගේරියාවට සිය හමුදාවලින් කොටසක් සරේල්ගේ හමුදාවලට එරෙහිව යෙදවීමට සිදු වූ හේතුවෙනි.

ඔක්තෝබර් 21 සහ නොවැම්බර් 22 අතර සමයෙහි සිදු වූ ක්‍රිවෝලැක් සංග්‍රාමයේදී බල්ගේරියානු සහ ප්‍රංශ හමුදා පළමු වරට ගැටුණහ​. මෙම සටනෙන් ප්‍රංශ සේනාංකවලට අයත් වූයේ අන්ත පරාජයකි.

පරාජිත සර්බ් හමුදා ඇල්බේනියාව හරහා පසු බැසගිය අතර එතැනින් ඔවුන් ග්‍රීසියේ කෝර්ෆු දූපත වෙත රැගෙන යන ලදී. මේ අතර සර්බියාවේ මිතුරා වූ කුඩා මොන්ටිනීග්‍රෝ රාජ්‍යයේ හමුදා ඔවුනගේ රටෙහි ආරක්ෂාව තර කිරීම පිණිස එරට වෙත පසු බැස්සෝය​. ඔස්ට්‍රා-හන්ගේරියානු ප්‍රහාර හමුවේ 1916 ජනවාරි 25 වනදා මොන්ටිනීග්‍රෝ හමුදා අවි බිම තැබූහ​.

ඉතාලි පෙරමුණ​

ජර්මනිය සහ ඔස්ට්‍රියාව සමඟ වූ මිත්‍ර සන්ධානය පසෙක ලා ඉතාලිය 1915 මැයි 23 වනදා ඔස්ට්‍රා-හංගේරියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළේය​. ඒ ට්‍රෙන්ටිනෝ (ටයිරල්) ප්‍රදේශය සහ ට්‍රිඑස්ට් නගරය බලාපොරොත්තුවෙනි. ඉතාලි ජාතිකයන් විසින් එම ප්‍රදේශ හඳුන්වන ලද්දේ නිදහස් නොකරන ලද ඉතාලිය ලෙසය​.

යුධ පෙරමුණ කපාගෙන ට්‍රිඑස්ට් වෙත යාමට ඉතාලි හමුදා කරන ලද උත්සාහයන් ගණනාවක්ම ඉසොන්සෝ (Isonzo) නදී තෙරදී පරාජය කරන ලදී. මේ අනුව ජූනි 29-ජූලි 7, ජූලි 18-අගෝස්තු 3, ඔක්තෝබර් 18-නොවැම් බර් 3 සහ නොවැම් බර් 10 - දෙසැම් බර් 2 අතර වූ පළමු, දෙවන​, තෙවන සහ සිව්වැනි ඉසොන්සෝ නදී සංග්‍රාමයන් සියල්ලම අවසන් වූයේ ඉතාලියට පරාජය අත්කර දෙමිනි.

කළින් ලියූ ලිපි පෙළ​

* පළමු ලෝක යුද්ධයට බලපෑ දිගු කාලීන හේතු

* පළමු ලෝක යුද්ධයට මග විවර කල අන්තර්ජාතික අර්බුද

* පළමු ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය

* පළමු ලෝක යුද්ධයේ ආරම්භක අවස්ථා

* පළමු ලෝක යුද්ධය: තුර්කිය යුද්ධයට එක් වෙයි

* පළමු ලෝක යුද්ධයේ ආසියානු - පැසිෆික් කලාපීය සටන්

ගංවතුර පිළිබඳ කළින් අනාවැකි කිව නොහැකි වීද​?

පසුගිය දිනවල කැළණි ගං මිටියාවතේ ඇතිවූ ගං වතුර තත්ත්වය පිළිබඳ විවිධ අදහස් මතුවෙමින් පවතී. ඒ අතර රජයට එල්ලවන විවේචන ද බොහෝය​.

මේ එවැන්නකි. මේ පිළිබඳ බලධාරීන් පමණක් නොව පුරවැසියන් ද දැනුවත් විය යුතුය​.

උපුටා ගැනීම: සයිබර වරිගෙ උණ්ඩියා / Facebook

වාරිමාර්ග ඉංජිනේරුවෙකු සමග දීර්ඝ සාකච්ඡාවක් කළා....ඔහු අග්නිදිග ආසියාවේ සේවයේ නියුතුව සිට මේ අවස්ථාවේ මව් රටට පැමිණි කෙනෙක්.....

කැළණි ගඟේ ජල මට්ටම මනින ස්ථානයන් සහ ඒවායේදී මැනීම් සඳහා යොදාගන්නා තාක්ෂණය, මින් පෙර ඒ ඒ ස්ථානයන්හිදී ලද කියවීම්, ආදිය ඇතුළත් දත්ත වාර්ථාවක් අතැතිව ඔහු මට පැවසූ දෙය අනුව -

කැළණි ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශ වලට අධික වැසි වැටුණු විට, ගං වතුර ආපදාවක් ඇතිවන්නේ සෑම තැනකම එකවර, එකම කාළයකට නොවේ....ගං වතුර තර්ජනය වනාහී ගඟට ඉහළින් එක්වන අතිරික්ත ජල ධාරිතාවය පහළට ගලා එන විට ඒ, ඒ ප්‍රදේශ යටවෙමින් ක්‍රමානුකූලව සිදුවෙමින් පැමිණෙන්නකි......

කැළණි ගඟේ ජල මට්ටම මනිනු ලබන්නේ අනුපිළිවෙලින් පහත සඳහන් ස්ථානයන් හි පිහිටි මැනුම් ස්ථාන වලින්ය...ඉහළ අක්වැසි වලින් ගඟට එකතුවෙන අතිරික්ත ජලය මේ ස්ථානයන් කරා අනුපිළිවෙලින් පැමිණේ.....

නෝවුඩ් >>> කිතුල්ගල >>> දැරණියගල >> හොලොම්බුව >>> ග්ලෙන්කෝස් >>> හංවැල්ල >>> අවසාන මිනුම් ස්ථානය හෙවත් නාගලගං වීදිය....

මෙම ඉංජිනේරු මහතා පවසන අන්දමට දැරණියගලින් පහළට ඇත්තේ කැළණි ගං මිටියාවතේ පහත් බිම් නිසා ඉතාම පහසුවෙන් ඒ එක් එක් ස්ථානයන් ජලයෙන් යටවනවිට, එම ස්ථානයේ සිට ඉදිරියට පවතින ස්ථානයන් අවට ගම්, නගර ජලයෙන් යටවනුයේ තව කොපමණ වේලාවකින්දැයි සැළකිය යුතු තරම් නිරවද්‍ය භාවයකින් යුතු අනාවැකි ඉදිරිපත් කළ හැක.....වතුර මට්ටම වැඩිවෙමින් පවතින බවට අනතුරු අඟවමින් ප්‍රදේශ වාසීන්ට ආරක්ෂක ස්ථාන කරා යෑමට සහ සිය වටිනා බඩු බාහිරාදිය ප්‍රමුඛ චංචල දේපළ ( රථ වාහන ආදිය ) බේරා ගැනීමට පැය කිහිපයකට පෙර සිට ක්‍රමානුකූලව කරන අනතුරු ඇඟවීමකට මහ විශාල වියදමක් යන්නේ ද නැති අතර, එවැනි ක්‍රමවේදයන් ද සංකීර්ණ බවින් තොරය....

මේ සිදුවූ විනාශයේ ගං වතුර නිසා අහිමිවූ ජීවිත සහ දේපළ වටිනාකමෙන් බාගයකටත් වඩා එසේ වීමට වග කිව යුත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අලස බව සහ අකාර්යක්ෂමතාවය නිසා බව ඔහුගේ මතය විය....

උදා: ඔහුට අනුව ග්ලෙන්කෝස් හි ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යනවිට හංවැල්ල මධ්‍යස්ථානය අවට ඇති වැලිවිට, හංවැල්ල, කඩුවෙල, බෝමිරිය ආදී ප්‍රදේශද, නාගලගම් වීදිය මිනුම් කණුව අවට ඇති කොටිකාවත්ත, වැල්ලම්පිටිය, මුල්ලේරියාව, කැළණිය, දෙමටගොඩ, කොළොන්නාව, ආදී වූ සියළු ස්ථාන වලට ගං වතුර ගලන්නේ කොයි තරම් වේලාවකින්දැයි ප්‍රබල නිරවද්‍යතාවයකින් යුතුව පූර්ව දැනුම් දීමක් කළ හැක.....ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් මේ වනවිටත් ශ්‍රී ලංකාව සතුව ඇති බව ඔහු තහවුරු කළේය.....

යම් හෙයකින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම දෙපාර්තමේන්තුවේ මාතෘ අමාත්‍යංශය වන වාරිමාර්ග සහ ජල සම්පත් කළමණාකරන අමාත්‍යංශය මැදිහත්ව ඒකාබද්ධව එම පියවර ගත්තා නම් මෙයට වඩා ජීවිත ප්‍රමාණයක්, සහ වටිනා දේපළ රැසක් ඉතිරීවීමට අවකාශ තිබුණු බව ඔහුගේ අදහසයි.....

තත්වය මෙසේ නම්, මේ ගැන බුකියේ ස්වේච්ඡා පිරිස් එක්ව මෙම ගං වතුර ආපදා තත්වය සහමුලින්ම අවසන් වූ පසුව විශේෂ ගවේෂණයක් කළ යුතුය....එයින් පසුව මෙම කරුණු සත්‍ය බවට ඔප්පු වුවහොත්, අදාළ අමාත්‍යංශයේ සහ දෙපාර්තමේන්තුවේ තනතුරු දරන දේශපාලකයන්ට සහ නිළධාරීන්ට, වගකීම පැහැර හැරීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඇති හැකියාව සොයා බැලිය යුතුය.
(සයිබර වරිගෙ උණ්ඩියා/Facebook)

ගංවතුරට අහු වූ වාහන ගැන උපදෙස් අටක්

රජය විසින් කරන්න අවශ්‍ය දැනුවත් කිරීම් කෙරෙන්නේ නැති සමයක ෆේස්බුක් හරහා සමාජ ක්‍රියාකාරීන් විශාල දැනුවත් කිරීම් ප්‍රමාණයක් සිදු කරන ආකාරය ගං වතුර විපත්තියේදී අපි දුටිමු. මේ එවන් තවත් දැනුවත් කිරීමක්.

වාහනය ගංවතුරට අසු වුවහොත් කරන්න දේවල් අටක්: (Dasun Tharanga/Facebook)

1. මුලින්ම වාහනේ ස්ටාර්ට් කරන්න නම් එපා. මොකද එන්ජින් එක තුළ වතුර, මඩ වගේම කුණු හිරවෙලා තියන්න පුලුවන්. ඒ නිසා එකපාරට ස්ටාර්ට් කරන්න කලින් චෙක් කළ යුතු දේවල් ටිකක් තියනවා.

2. වාහනේ කොච්චර ගංවතුරෙ ගිලුනද කියලා මුලින්ම පරීක්ෂා කරන්න. වාහනේ ගෑවිලා තියන මඩ හෝ වතුර ලෙවල් එක බලන්න. ගොඩක් වෙලාවට ලෙවල් එක දොරේ යට කොටසින් ඉවරයි නම් ප්‍රශ්ණයක් නෑ. ගොඩක් වෙලාවට රක්ෂණ සමාගම් වලින් වාහනයක් ගංවතුරට අහුවුනා යැයි සළකන්නෙ ඩෑෂ්බෝඩ් එක ළඟට වත් වතුර පිරිලා නම් විතරයි.

3. කෝල් ඉන්ෂුවරන්ස්
ඔයා දාල තියෙන්නෙ ෆුල් ඉන්ෂුවරන්ස් එකක් නම්, ගංවතුර සහ ස්වාභාවික විපත් ආවරණය ලබාගෙන තියෙනවානම් ප්‍රශ්ණයක් නෑ. මොකද ඒකෙ ස්වාභාවික විපත් සඳහා රක්ෂණාවරනය අඩංගු වෙනවානම් ඔයාගේ රෙපෙයාර් එකට යන ගාන ක්ලේම් කරගන්න පුලුවන්. ප්‍රශ්ණයක් නෑ.

4. ඒ වැඩේ ඒ පැත්තෙන් වෙනකොට මේ පැත්තෙන් අපි වාහනේ ගොඩදාගන්නත් එපැයි. මුලින්ම ඇතුලෙන් පටන්ගන්න. වාහනේ ඇතුලට වතුර ගිහින් නම් වාහනේ දොරවල් ඇරලා කාපට් ඔක්කොම අයින් කරලා ඉක්මණින් වතුර ටික අයින් කරන්න. ටවල් දාලා හොඳට වේලගන්න. නැත්තම් ෆුට්බෝඩ් එක පරිස්සම් කරගන්න බැරිවෙනවා.

5. ඔයිල් සහ එයාර් ක්ලීනර් චෙක් කරන්න
ඔයිල් කූරෙ වතුර හෝ ඔයිල් ලෙවල් එක වැඩියෙන් පෙන්වනවා නම් හෝ එයාර් ෆිල්ටර් එකේ වතුර නම් එන්ජිම ස්ටාර්ට් කරන්න යන්න එපා. ෆුල් ක්ලීන් අප් එකක් දෙන්න වෙනවා. ඒ වගේම ස්පාර්ක් ප්ලග් ටිකත් ඒ විදිහටම චෙක් කරගන්න.

6. අනිත් ඔයිල් වර්ග ටිකත් චෙක් කරගන්න
අලුත් වාහන වල නම් සීල්, හැබැ‍යි පරණ වාහන වලට එනකොට බලන්න වෙනවා. බ්‍රේක්, ක්ලච්, පවර් ස්ටියරින් සහන් කූලන්ට් අපවිත්‍ර වෙලාද බලන්න.

7. ඊට පස්සෙ බලන්න ඉලෙක්ට්‍රික් සිස්ටම් ටික. එන්ජින් එකේ වරදක් නැත්නම් වාහනේ ස්ටාර්ට් කරන්න. ඊට පස්සෙ හෙඩ්ලයිට්, සිග්නල් ලයිට්, A/C, රේඩියෝ පවර් ලොක් ෂටර්ස් සහ සීට් වැඩද බලන්න.

8. වාහනේ ටයර් සහ වීල් චෙක් කරන්න. වාහනේ කිසිම වරදක් නැත්නම් සුපුරුදු විදිහට ටයර් ටික චෙක් කරලා බලන්න.

ගංවතුරෙන් පසු නිවසේ විදුලි පද්ධතිය​

රජය විසින් කරන්න අවශ්‍ය දැනුවත් කිරීම් කෙරෙන්නේ නැති සමයක ෆේස්බුක් හරහා සමාජ ක්‍රියාකාරීන් විශාල දැනුවත් කිරීම් ප්‍රමාණයක් සිදු කරන ආකාරය ගං වතුර විපත්තියේදී අපි දුටිමු. මේ එවන් එක් දැනුවත් කිරීමක්.

ස්තූතිය​: Shami Mudunkotuwa (Engineer at CEB) / Facebook

ගංවතුරෙන් පස්සේ ගෙවල් තියෙන විදුලි පද්දතියට අත තියන්න යන්නේ බලාගෙන.

විදුලි බල මණ්ඩලෙන් ඔබගේ පලාතට ලයිට් කපල ඇති. වතුර බැහැලා ගියහම ඔවුන් සැපයුම දමාවි. එතකොට ඔබේ නිවසට කරන්ට් එක ඒවි.

නමුත් ගෙදර ප්‍රධාන ස්විචය (main switch) හෝ වෙනත් කිසිම විදුලි උපාංගයක් අල්ලනවත් යන්න එපා! ලයිට් දාන ස්විච්, ප්ලග් පොයින්ට් ඇතුලට වතුර/මඩ ගිහින් තියෙන්නේ. බිමත් බිත්තියත් ඔක්කොම හොඳටම තෙත නිසා විදුලි කාන්දු වෙන්න තියෙන ඉඩ හොඳටම වැඩියි!

හොඳම දේ තමයි මුළු පද්ධතියම විදුලි කාර්මිකයෙක් ලවා පරීක්ෂා කරවා ගැනීම! හැම ස්විච් එකක්ම, ප්ලග් එකක්ම ගලවල එකින් එක චෙක් කරන්නම ඕනේ. ඇතුලේ තියෙන වතුර සම්පුර්ණයෙන්ම යවල සුද්ද කරලා වේලෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ තමයි, එකින් එක පරිපථ චෙක් කරගන්න ඕනේ!

විදුලිය එක්ක වැඩ පුරුදු නැත්තම් තනියෙන් කරන්න එනම් යන්න එපා!

මේක සුළුවට ගන්න එපා, හදිස්සි වෙන්න යන්නත් එපා! විදුලියත් සුළු වැරැද්දකට උනත් කිසිම සමාවක් නැහැ!

Tuesday, May 17, 2016

ලෝකයේ ලොකුම මගී ප්‍රවාහන නෞකාව Harmony of the Seas

ලොව විශාලතම මගී ප්‍රවාහන නෞකාව වන "Harmony of the Seas" නෞකාව අද දින (17) හිමිදිරියේ එංගලන්තයේ සදම්ප්ටන් (Southampton) වරාය වෙත ළඟා විය​.

සදම්ප්ටන් වෙත නෞකාව පැමිණියේ ප්‍රංශයේ පෝර්ට් නසායර් නෞකා අංගනයේ සිටය​. එය පැමිණි අවස්ථාවේ අසල්වැසි ජනතාව එය දැකගැනීමට වරාය අසබඩට රොක් වූහ​.

මීළඟ සතියක පමණ කාළය තුළ බොහෝදෙනා මෙම නෞකාව දැක ගැනීමට පැමිණේ යයි බලාපොරොත්තු වේ.

ඉරිදා දිනයේ නෞකාව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වෙත ගමන් කරනු ඇත​. මැයි 29 වනදා එහි පළමු මගී චාරිකාව ලෙස ස්පාඤ්ඤයේ බාර්සිලෝනා වෙත ගමන් කරන Harmony of the Seas නෞකාව ගිම්හානයේ මධ්‍යධරණියේ සංචාරය කරනු ඇත්තේය​. සීත ඍතුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා සහ කැරිබියානු දූපත් අතර සංචාරය කරනු ඇත​.

රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගමට අයත් මෙම නැවෙහි තට්ටු 18 ක් වේ. මීටර 362 ක් හෙවත් අඩි 1,181 ක් දිග නැවෙහි පළල අඩි 215.5 කි. එහෙයින් ලොව දිගින් මෙන්ම පළලින් ද වැඩිම මගී නෞකාව මෙය වේ.

තවද මෙම මගී නෞකාව ලොව වැඩිම බර (ටොන් 227,000), වැඩිම මගීන් ගෙනයාමේ හැකියාව (උපරිමය 6,780) සහ වැඩිම කාමර ගණන (2,747) සහිත මගී නෞකාව ලෙස ද වාර්තා තබා ඇත​.

නැවෙහි කාර්ය මණ් ඩලය 2,100 ක් වන අතර රටවල් 77 ක පුරවැසියෝ ඒ අතර වෙති.

පාවෙන නගරයක් මෙන් වන මෙම නෞකාවේ පිහිනුම් තටාක 23 කි. භෝජනාගාර 20 ක් සහ කැසිනෝ එකක් ද මෙහි වේ.

රෝයල් කැරිබියන් ඉන්ටර්නැෂනල් සමාගම විශාල ප්‍රමාණයේ මගී නෞකා සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මේ වන විට ලොව පවතින විශාලතම මගී නෞකා හයම එය සතු වේ.

Sunday, May 15, 2016

පළමු ලෝක යුද්ධයේ ආසියානු - පැසිෆික් කලාපීය සටන්

පළමු ලෝක යුද්ධය ඇරඹෙන අවධියෙහි ආසියාවේ හා විශේෂයෙන්ම පැසිෆික් සාගරයෙහි ජර්මන් යටත් ප්‍රදේශ ගණනාවක් විය​. චීනයේ ට්සිංටාඕ ප්‍රදේශය ජර්මනිය සතු වූ වැදගත්ම නාවික මධ්‍යස්ථානයක් විය​. මීට අමතරව ජර්මන් නව ගිනියාව, ජර්මන් මයික්‍රෝනීසියාව (නාවුරු, මාර්ශල් දූපත්, මරියානා දූපත්, කැරොලයින් දූපත්) සහ ජර්මන් සැමෝවාව ද ඊට අයත් විය​.
නිව් ගිනියා දූපත 1914 දී. වම් කොටස නෙදර්ලන්තයට අයත් වූ කොටසය​.

යුද්ධාරම්භයේදී ට්සිංටාඕ හි සිටි ජර්මන් නැගෙනහිර ආසියානු බල ඇණිය වයිස් අද්මිරාල් මැක්සිමිලියන් ෆොන් ස්පී (Maximilian von Spee) විසින් අණ දෙන ලද නෞකා හයකින් යුතු වූ බල ඇණියක් විය​. මෙයින් එම්ඩන් නෞකාව ඉන්දියන් සාගරයේ මෙහෙයුම් සඳහා වෙන් කරන ලද අතර අනෙක් නෞකා සමඟින් ජර්මනිය වෙත ළඟා වීමේ බැරෑරුම් උත්සාහයකට ෆොන් ස්පී මුල පිරුවේය​.

නමුත් තමන්ට වඩා ප්‍රබල නාවික සේනාංකවල තර්ජනය සහ ජර්මනියට ඇති දුර හේතුවෙන් මෙම කාර්යය අන්ත අපහසු එකක් බව ඔහු දැන සිටියේය​. මිත්‍ර පාක්ෂික නෞකාවලට සහ නාවික මධ්‍යස්ථානවලට හැකි පමණ කරදර කිරීම ඔහුගේ බලාපොරොත්තුව වූයේ ය​.

ටික කළක් මරියානා දූපත් හි පගාන් දූපතේ රැඳෙමින් මිත්‍ර පාක්ෂික නැව්වලට පහර දුන් ෆොන් ස්පීගේ බල ඇණිය ඉන්පසු 1914 සැප්තැම්බර් 22 දා හයිතිය දෙසට කඩා වැදී, ප්‍රංශ නැව් දෙකක් ද ගිල්වා හයිති අගනුවර වන පැපිති නගරයට ද දැඩි අලාභහානි කළේය​.

නොවැම් බර් 1 වනදා චිලී රාජ්‍යයේ වෙරළට එපිටින් මුහුදේදී සිදුවූ කොරොනෙල් මුහුදු සටන ෆොන් ස්පීගේ මීළඟ ජයග්‍රහණය විය​. එහිදී බ්‍රිතාන්‍ය නාවික බල ඇණියක් ජර්මානුන් අතින් අන්ත පරාජය විය​. මෙම සටනේදී 1,500 ක පමණ බ්‍රිතාන්‍යයින් පිරිසකගේ ජීවිත අහිමි වූ බැව් කියැවේ.
Maximilian von Spee

මින් ටික දිනකට පසු ජර්මන් නැගෙනහිර ආසියා නෞකා බල ඇණිය අත්ලන්තික් සාගරය වෙත පිවිසි අතර 1914 දෙසැම්බර් 8 වනදා ෆෝක්ලන්ත සටනේදී බ්‍රිතාන්‍යයන් අතින් පරාජයට පත්ව විනාශ මුඛයට පත් වූහ​. වයිස් අද්මිරාල් ෆොන් ස්පී ද සටනින් මියගිය අතර ඔහුගේ නෞකාව වූ ෂාන්හෝර්ස්ට් නෞකාව ගිලාබත් විය​.

එම්ඩන් නැවේ වික්‍රම​

ජර්මන් නැගෙනහිර ආසියානු නෞකා බල ඇණියෙහි වූ එම්ඩන් නෞකාව එයින් ඉවත් කර ඉන්දියන් සාගරයේ ප්‍රහාරක කටයුතු සඳහා යෙදවුණේ 1914 අගෝස්තු 14 වනදාය​. එහි අණ දෙන නිලධාරියා වූයේ කාර්ල් ෆොන් ම්‍යුලර් ය​. මේ වනවිට ද බටහිර ඉන් දියන් සාගරයෙහි ක්‍යෝනිග්ස්බර්ග් ජර්මන් නෞකාව මෙහෙයුම් කටයුතුවල නිරත වූ බැවින් නැගෙනහිර ඉන් දියන් සාගරයෙහි මෙහෙයුම්වල නිරත වීමට ම්‍යුලර් තීරණය කළේය​.

එම්ඩන් නෞකාව ඉන් දියන් සාගරයට කඩා පනින විට ද එය තවමත් ෆොන් ස්පීගේ නැගෙනහිර ආසියානු බල ඇණිය සමඟ සිටිතියි යන්න බ්‍රිතාන්‍යයන් ගේ විශ්වාසය විය​. මේ නිසා මුල් දිනවලදී කල්කටා සහ කොළඹ අතර වෙළෙඳ මාර්ගය ඔස්සේ ගමන් කරන වෙළෙඳ නැව් අල්ලා ගැනීමට සමත් විය​.

බ්‍රිතාන්‍යයන් සහ විශේෂයෙන්ම ඉන්දියානුවන් තුෂ්නිම්භූත කරමින් එම්ඩන් නෞකාව මදුරාසි (දැන් චෙන්නායි) නගරයට පහර දුන්නේ සැප්තැම්බර් 22 රාත්‍රියේය​. වරායේ වූ තෙල් ටැංකි දෙකකට ගිනි තබා තවත් තුනකට අලාභ සිදු කළ එම්ඩන් නෞකාව වෙළෙඳ නැවකට ද පහර දුන්නේය​. මදුරාසි වැසියන් මෙම ප්‍රහාරයෙන් භීතියට පත් වූ අතර ඔවුන් සමහරෙක් ජර්මනිය ඉන්දියාව ආක්‍රමණය කරන බව සිතුවේ යයි සඳහන් ය​.

ඔක්තෝබර 20 වනදා පමණ වනතුරු ඉන් දියන් සාගරයේ සැරි සරමින් මිත්‍ර පාක්ෂික වෙළෙඳ නැව් අල්ලා ගනිමින් මහත් හිසරදයක් වූ එම්ඩන් නැව ඉනික්බිති පීනෑං වරායට පහර දීම සඳහා පිටත් විය​. ඔක්තෝබර් 28 හිමිදිරි පාන් දර පීනෑං වෙත කඩා වැදුණ එම්ඩන් නෞකාව රුසියානු නැවක් සහ ප්‍රංශ නැවක් ගිලාබත් කළේය​.
එම්ඩන් නැවේ අවසාන සටනින් පසු (පින්තූරය ඇලන් ග්‍රීන්)
එම්ඩන් නැවෙහි වික්‍රමය නිමා වූයේ නොවැම්බර් 9 වනදා කොකෝස් දූපතේදී ය​. ඒ සිඩ්නි නම් ඔස්ට්‍රේලියානු නැවක් විසින් පහර දී පරාජය කිරීමත් සමඟිනි. ඇඩි ලෙස ප්‍රහාරයට ලක් වූ එම්ඩන් නැව ගලවා ගැනීම සඳහා ම්‍යුලර් විසින් එය උතුරු කීලිංග් දූපත් වෙරළ වෙත ගෙන යන ලදී. එහිදී නැවෙහි වූ ජීවතුන් අතර සිටි සෙබලුන් යුධ සිරකරුවන් බවට පත් විය​.

පැසිෆික් සාගරයේ ජර්මන් විජිත​

බොහොමයක් පැසිෆික් සාගරයේ ජර්මන් විජිත සටනක් නැතිවම යටත් වූයේය​. 1914 අගෝස්තු 29-30 අතර දහසකින් යුතු නවසීලන්ත බල ඇණියක් සැමෝවා දූපතෙහි ගොඩ බැස්ස අතර එහි වූ ජර්මන්නු සටනකින් තොරවම යටත් වූහ​.

මේ අතර සැප්තැම්බරයේදී ඔස්ට්‍රේලියානු හමුදා ජර්මන් නව ගිනියාවට ගොඩ බැස්සෝය​. ජර්මන් හමුදා බිටා පකා සහ ටෝමා හිදී විරුද්ධතා දැක්වූ නමුත් ඉනික්බිතිව වැඩි විරෝධතා නොදක්වා යටත් වූහ​. හර්මන් ඩෙට්ස්නර් යටතේ වූ කුඩා ජර්මන් බල ඇණියක් පමණක් නව ගිනියාවේ ඉතිරි වූහ​. ඔවුන් යටත් වූයේ යුද්ධය අවසන් වූ පසුවය​.

ට්සිංටාඕ

ජර්මනියට අයත් ව තිබූ ට්සිංටාඕ බලකොටුව ජපනුන් විසින් වටලනු ලැබුණේ 1914 ඔක්තෝබර් 31 වනදාය​. නොවැම්බර් 6 වනදා ජපන් හමුදා බලකොටුව දෙසට ප්‍රහාරයක් දියත් කළ අතර ඉන් පසුදින ජර්මන් හමුදා යටත් වූහ​.

මේ අතර පැසිෆික් සාගරයේ බටහිර කොටසෙහි වූ ජර්මන් මයික්‍රොනීසියාවේ දූපත් ද ජපනුන් විසින් අල්ලාගන්නා ලදී. මේ අනුව පැසිෆික් සාගර ප්‍රදේශවල යුද්ධය බොහෝ කොටම 1914 වසර තුළදීම නිම විය​.

කළින් ලියූ ලිපි පෙළ​

* පළමු ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය

* පළමු ලෝක යුද්ධයට බලපෑ දිගු කාලීන හේතු

* පළමු ලෝක යුද්ධයට මග විවර කල අන්තර්ජාතික අර්බුද

* පළමු ලෝක යුද්ධයේ ආරම්භක අවස්ථා

* පළමු ලෝක යුද්ධය: තුර්කිය යුද්ධයට එක් වෙයි

පළමු ලෝක යුද්ධය: තුර්කිය යුද්ධයට එක් වෙයි

කළක් යුරෝපයේ ප්‍රබලම රාජ්‍යය ලෙස සැළකිය හැකිව තිබූ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය 19 වන සියවස මුලුල්ලේ කෙමෙන් පරිහානිය කරා ගමන් කරමින් තිබිණ​. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ ප්‍රතිපත්තිය වූයේ දුර්වල තුර්කි අධිර්ජ්‍යය නොවැටී ආරක්ෂා කරගැනීමය​. එහි යටි අරමුණ නම් මධ්‍යධරණී ප්‍රදේශවල රුසියානු අණසක් පැතිරවීමට එරෙහි බාධකයක් ලෙස තුර්කිය යොදාගැනීමට හැකි වීම විය​.

කෙසේ වෙතත් 19 වන සියවස අවසන් කාළයෙහි ජර්මන් සහ ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයයන් අතර මිත්‍රත්වය වර්ධනය විය​. බර්ලින් සිට බැග්ඩෑඩ් දක්වා දුම්රිය මාර්ගයක් ඉදි කිරීමේ අවශ්‍යතාව මෙහිදී ජර්මනියට ඉතා වැදගත් සාධකයක් විය​. එමෙන්ම තුර්කි හමුදා ප්‍රතිසංස්කරණය කිරීම පිණිස ජර්මන් නිලධාරීන් ද යවන ලදී.
1914 දී ඔටෝමන් අධිරාය්‍යය

20 වන සියවස මුල් කාළයේදී තුර්කියේ මතුවූ නව දේශපාලන ව්‍යාපාරයක් වූ යෞවන තුර්කි ව්‍යාපාරය මීළඟ දශකයකට මඳක් වැඩි කාළය තුළ තුර්කියේ දේශපාලනය කෙරෙහි දැඩි බලපෑමක් කළේය​. 1908 දී ඔවුන් විසින් සුල්තාන් දෙවන අබ්දුල් හමීඩ්ගේ රජයට එරෙහිව කළ විප්ලවයකින් පසු පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ දිනා ගන්නා ලදී.

යෞවන තුර්කි ව්‍යාපාරය තුළ වූ අභ්‍යන්තර බල අරගල අවසානයේ 1913 දී එකමුතුකම සහ ප්‍රගමනය පිළිබඳ කමිටුව (Committee on Union and Progress - CUP) විසින් තුර්කියේ බලය ලබා ගන්නා ලදී. එහි ප්‍රධානීන් වූයේ අගමැති තලාත් පාෂා, යුධ ඇමති එන්වර් පාෂා සහ නාවුක කටයුතු ඇමති ජෙමාල් පාෂා ය​. මෙම පාෂාවරුන් තිදෙනාගේ රජය තුර්කිය ජර්මනිය කෙරෙහි නැඹුරු වීම වේගවත් කළේ ය​.

1914 ජූලි මාසයේදී බ්‍රිතාන්‍යය විසින් එරටෙහි නෞකා අංගනවල තුර්කිය සඳහා ඉදිකරමින් පැවති යුධ නැව් දෙකක් සිය භාරයට ගැනීමත් සමඟ තුර්කිය එම රට සමඟ අමනාපයක් ඇති කරගත්තේය​. මේ අතර 1914 අගෝස්තු මුල දී තුර්කිය සහ ජර්මනිය අතර රහස්‍ය එකඟතාවයකට පැමිණෙන ලදී.

කෙසේ වෙතත් මෙම රහස්‍ය එකඟතාවය කෙරෙහි තුර්කි රජයේ ඇතැම් පිරිස් එතරම් සහයක් නොදැක්වූ බව කියැවේ. එරට සුල්තන්වරයාට අවශ්‍ය වූයේ තුර්කිය මධ්‍යස්ථව තබා ගැනීමය​.

කෙසේ නමුත් කරුණු සීඝ්‍රයෙන් ගමන් කළේ යුද්ධයට තුර්කිය ඇතුලත් වීම දෙසටය​. මේ වනවිට තුර්කි නාවික හමුදාවල අණදෙන නිලධාරියා වූයේද ජර්මන් නිලධාරියකු වූ (පසුව අද්මිරාල් ධූරයට උසස් කෙරුණ​) විල්හෙල්ම් සෞෂන් (Wilhelm Souchon) ය​.

සෞෂන් අගෝස්තු මාසය වනතුරු ජර්මන් අධිරාජ්‍යයීය නාවුක හමුදාවේ මධ්‍යධරණී බල ඇණියෙහි අණ දෙන්නා වූයේය​. ඔහුගේ බල ඇණිය වූයේ ගෝබන් සහ බ්‍රෙස්ලාවු නම් නෞකා දෙකකි. අද්‍රයාතික් මුහුදෙහි නවතා තිබූ මෙම නෞකා අගෝස්තු මස මුලදී වහා ඉවත් කරගැනීමට කටයුතු කළ සෞෂන්, බ්‍රිතාන්‍ය නාවික හමුදාව තමන් ලුහු බඳිද්දී තුර්කිය දෙසට පළා ගියේය​. තුර්කිය ඔහුට ආරක්ෂාව ලබා දීමට එකඟ වූ අතර අගෝස්තු 12 වනදා ඔහුට තුර්කි නෞකා හමුදාවට එක් වීමට අවසර ලැබුණි.

බල්ගේරියාව සහ තුර්කිය අතර මේ වනවිට ද එකඟතාවයක් අත්සන් කොට තිබුණි. මෙම එකඟතාවට හේතු වූයේ විශාල බලවතුන් සමඟ වූ එදිරිවාදිකමකට වඩා දෙරටේම පොදු විරුද්ධවාදියකු වූ ග්‍රීසිය දෙස අවධානය යොමු කිරීමය​.
පළමු ලෝක යුධ සමයේ තුර්කි යුධ ඇමති වූ එන්වර් පාෂා

තුර්කිය යුද්ධයට අවතීර්ණ වූයේ 1914 ඔක්තෝබර් 29 වනදා හිමිදිරි පාන්දර රුසියානු අධිරාජ්‍යයට එවකට අයත්ව තිබූ ඔඩෙස්සා නගරයට නාවික හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමෙනි. මෙහි දී තුර්කි හමුදාවලට අණ දෙන ලද්දේ විල්හෙල්ම් සෞෂන් ය​. මෙම සටනේදී රුසියානු නෞකා දෙකක් ගිල්වනු ලැබුණ අතර තව එකකට හානි සිදු විය​. තුර්කි හමුදාවලට කිසිදු හානියක් වූ වග වාර්තා නොවේ. මේ වනවිටත් තුර්කිය රුසියාවට එරෙහිව යුධ ප්‍රකාශ කර තිබුණේ නැත​.

නොවැම්බර් 2 වනදා රුසියාව තුර්කියට එරෙහිව යුධ ප්‍රකාශ කළ අතර​, නොවැම්බර් 5 වනදා බ්‍රිතාන්‍යය ද තුර්කියට එරෙහිව යුධ ප්‍රකාශ කළේය​.

මේ අතර නොවැම්බර් 1 වනදා ජෙනරල් ජෝර්ජි බ්‍රෙග්මාන් යටතේ වූ රුසියන් හමුදා කොකේසස් දේශසීමාවෙන් තුර්කිය වෙත කඩා පැන්නහ​. ඔවුහු මුලදී සාර්ථක ලෙස ඉදිරියට පැමිණියත් සතියකට පසු ඇරඹි තුර්කි ප්‍රතිප්‍රහාර හමුවේ පසුබැස ගියහ​. නොවැම්බර් 17 පමණ වනවිට එම සටන් පෙරමුණ තාවකාලිකව ස්ථාවර විය​. සීත ඍතුව එළඹෙමින් තිබුණ හෙයින් කොකේසස් පෙරමුණට මද විරාමයක් ලැබිණ​.

කළින් ලියූ ලිපි පෙළ​

* පළමු ලෝක යුද්ධයේ පළමු වෙඩි මුරය

* පළමු ලෝක යුද්ධයට බලපෑ දිගු කාලීන හේතු

* පළමු ලෝක යුද්ධයට මග විවර කල අන්තර්ජාතික අර්බුද

* පළමු ලෝක යුද්ධයේ ආරම්භක අවස්ථා

Saturday, May 14, 2016

රුවන්ඩා ක්‍රිකට් නායකයා පැය 51 ක් එකදිගට පිතිකරණයේ

රුවන්ඩා ක්‍රිකට් කණ්ඩායමේ නායක එරික් දුසිංගිෂිමානා (Eric Dusingizimana) පැය 51 ක් පුරාවට පුහුණු දැලක් තුල පිතිකරණයේ යෙදෙමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට​ සමත් විය​.

ඒ රුවන්ඩාවේ පළමු ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදි කිරීම සඳහා ආධාර එකතු කිරීමේ උත්සාහයක් ලෙසිනි.

සෑම පැයකටම විනාඩි පහක් බැගින් විවේක ගනිමින් ඔහු එක දිගට පැය 51ක් පිතිකරණයේ යෙදුණි.

ඔහුට පළමු පන්දුව එවන ලද්දේ රුවන්ඩාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් විලියම් ගෙලිංග් ය​. අවසාන පන්දුව එවන ලද්දේ ඔහුගේ බිරිඳ විසිනි.

එමෙන්ම හිටපු බ්‍රිතන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ද දුසිංගිෂිමානා වෙත පන්දු යැවීමට එක් විය​.

දුසිංග්‍ෂිමානා විසින් බිඳ හෙලන ලද්දේ 2015 දෙසැම්බරයේදී පැය 50 ක් පිතිකරණයේ යෙදෙමින් ඉන් දියාවේ විරාග් මරේ විසින් පිහිටවූ වාර්තාවකි.

Tuesday, May 10, 2016

පැනමා පත්‍රිකාවල ලාංකිකයන් 65 ක් නැහැ

මහත් ආන්දෝලනයකට ලක් වූ පැනමා පත්‍රිකාවල සඳහන් නම් සහ සමාගම්වල නම් ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30 ට නිකුත් කෙරුණි.

ඒ අන්තර්ජාතික ගවේෂණාත්මක ජනමාධ්‍යවේදී සංසදය (International Consortium of Investigative Journalists - ICIJ) විසින්.

මේ අතර ශ්‍රී ලාංකිකයන් ගේ නම් ද ඇතුලත්.

ICIJ විසින් නිකුත් කළ සම්පූර්ණ දත්ත ගබඩාවට 2013 දී නිකුත් වූ නම් ද ඇතුලත්. ඒ හේතුවෙන් බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණේ පැනමා පත්‍රිකාවල ලාංකිකයන් 65 කගේ නම් සඳහන් වී ඇති බවයි.

නමුත් මේ 65 න් 40 කට වඩා 2013 ලැයිස්තුවේ සඳහන් නම් වන අතර 'පැනමා පත්‍රිකා' හි සඳහන් ශ්‍රී ලාංකික නම් සංඛ්‍යාව 20 ක් පමණ වේ.


2013 ලැයිස්තුව පහළින් බලන්න​



Monday, May 9, 2016

පැනමා පත්‍රිකා තොරතුරු අද රාත්‍රියේ නිකුත් වේ

පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට හේතු වූ පැනමා පත්‍රිකාවල (Panama Papers) සඳහන් සමාගම් 200,000 කට අධික විස්තර ඇතුලත් දත්ත ගබඩාවක් අද දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30 ට නිකුත් කරන බව අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදී සංසදය ප්‍රකාශ කළේය​.

පැනමා පත්‍රිකා යනු පැනමාවේ පිහිටි නීති සමාගමක් වන මොසාක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනු පිළිබඳ ලේඛන මිලියන 11.5 ක පමණ සුවිශාල එකතුවකි. මේවායෙහි සමාගම් 214,000 ක පමණ අයිතිකරුවන්, කොටස් හිමිකරුවන් සහ අධ්‍යක්ෂකවරුන් පිළිබඳ විස්තර ඒවායේ තිබෙන බව පැවසේ. ආදායම් බදු නීති ලිහිල් රටවල සමාගම් ස්ථාපිත කොට ආදායම් බදු නීති සහිත රටවල අයවලුන් ගේ මුදල් ඉහත කී සමාගම්වල තැන්පත් කිරීම සඳහා පහසුකම් සැලසීම මොසැක් ෆොන්සේකා සමාගමට එල්ලවන චෝදනාවය​. එමගින් ඉහත මුදල් තැන්පත් කරන්නන් ඔවුනගේ රටවල ආදායම් බදු නීතිවලින් නිදහස් ව සිය මුදල් තැන්පත් කිරීමට සමත් වන බව සඳහන් ය​.

2015 අගෝස්තුවේ සියුඩ්ඩොයිෂ සෙයිටුන්ග් (Süddeutsche Zeitung - දකුණු ජර්මන් පුවත්පත) නම් පුවත්පතට අඥාත පුද්ගලයකු විසින් මෙම ලිපි ලේඛන ලබා දී ඇති අතර එම පුවත්පත විසින් ඒවා අන්තර්ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදී සංසදය (International Consortium of Investigative Journalists) වෙත යොමු කොට තිබේ. මේවා ලොවපුරා මාධ්‍ය ආයතන රැසක මාධ්‍යවේදීන් අතර බෙදා හැර පරීක්ෂාවට බඳුන් කරන ලදී.

මෙම ඇතැම් සමාගම්වල කොටස් හිමිකරුවන් අතර රාජ්‍ය නායකයින් පස් දෙනකු සහ රාජ්‍ය නායකයින් 40 කගේ පමණ පවුල්වල සාමාජිකයින් සිටින බවද සොයාගෙන තිබේ. එමෙන්ම වෙනත් සුප්‍රසිද්ධ පුද්ගලයින් රැසකගේ නම් ද මේ අතර වේ.

මේ පිළිබඳ පළමුවෙන්ම ජනමාධ්‍යවලින් වාර්තා කෙරුණේ අප්‍රේල් 3 වනදා ය. එයින් ටික දිනකට පසු එම හෙළිදරව් කිරීම් හේතුවෙන් අයිස්ලන්ත අගමැතිවරයාට ඉල්ලා අස්වීමට සිදු වූ අතර බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට ද ඉල්ලා අස්වන ලෙස බලපෑම් එල්ල වූයේය​.

Saturday, May 7, 2016

නැගෙනහිර ජර්මනියේ හිටපු නායක එරික් හොනෙකර්ගේ බිරිඳ මිය යයි

නැගෙනහිර ජර්මනියෙහි හෙවත් ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජයෙහි හිටපු නායක එරික් හොනෙකර්ගේ බිරිඳ වූ මාර්ගොට් හොනෙකර් ඊයේ දිනයේ චිලී දේශයේදී මිය ගියාය​.  මරණයට හේතුව ලෙස සඳහන් වූයේ පිළිකාවකි. මිය යනවිට ඈ 89 වන වියෙහි පසු වූවාය​.

1927 අප්‍රේල් 17 වනදා ජර්මනියේ හෝල් නගරයේදී උපන් ඈ මිය යනවිට 89 වන වියෙහි පසු වූවාය​. 1945 දී ජර්මන් කොමියුනිස්ට් පක්ෂයට බැඳුණාය​. ඈ 1946 දී අලුතින් බිහිවූ සමාජවාදී එක්සත් පක්ෂයෙහි (SED) සාමාජිකාවක වූවාය​.

මාර්ගොට් සිය අනාගත සැමියා වූ එරික් හොනෙකර් මුණ ගැසුනේ 1950 පමණය​. ඔහු ඇයට වඩා අවුරුදු පහළවකින් වැඩිමහලු වූවාක් මෙන්ම විවාහකයකුද විය​. 1952 දී ඔවුනට සොන්යා නම් දියණියක උපන් අතර හොනෙකර් සිය කළින් බිරිඳ දික්කසාද කොට 1953 දී මාර්ගොට් හා විවාහ වූවේය​.

1963 සිට 1989 දක්වා නැගෙනහිර ජර්මනියේ අධ්‍යාපන ඇමතිණිය වූ මාර්ගොට් එරට පාසල්වලට යුධ පුහුණුව හඳුන්වා දීම හේතුවෙන් කුප්‍රකට වූවාය​.

දැඩිමතධාරී කොමියුනිස්ට්වාදිනියක වූ ඈ එවකට නැගෙනහිර ජැමනියෙහි දෙවැනියටම වෛරයට පාත්‍ර වූ පුද්ගලයා ලෙස සැළකේ. ඇයට වඩා ජනතා අප්‍රසාදය යොමු වූයේ එරට රහස් ඔත්තු සේවය වූ ස්ටාසි හි ප්‍රධානියා වූ එරික් මීල්කේ පමණි.

සිය කොණ්ඩය වර්ණ ගැන්වීම පිළිබඳ ප්‍රකට වූ ඈ එනිසාම 'දම්පැහැ යක්දෙස්සිය' යන නමින් ජනතාව අතර ප්‍රකට වූවාය​.

1976 සිට 1989 දක්වා එරික් හොනෙකර් නැගෙනහිර ජර්මනිය පාලනය කළ අතර 1989 න් පසු ඔහු රුසියාවට පළා ගියේය​. 1993 දී ඔහු නැවතත් ජර්මනියට පිටුවහල් කළ නමුත් අයහපත් සෞඛ්‍යය තත්ත්වය හේතුවෙන් ඔහුට එරෙහිව නඩු විමසීමක් කෙරුණේ නැත​.

හොනෙකර් යුවළ ඉනික්බිති චිලී දේශයෙහි පදිංචි වූහ​. එරික් 1994 දී පිළිකාවකින් මිය ගියේය​. එරික් සහ මාර්ගොට්ගේ දියණිය සොන්යා අදත් චිලී දේශයේ වසන්නීය​.