Monday, February 29, 2016

තිස් වසරකට පසු බ්‍රිතාන්‍යයට දිනපතා පුවත්පතක්

බ්‍රිතාන්‍යය පුවත්පත් කලාවේ ඉතිහාසය සහ වර්තමානය පිළිබඳ සැළකීමේදී විශේෂ ස්ථානයක් ගන්නා රටකි. අද දින​, එරටින් පුවත්පත් කලාවට සම්බන්ධ තවත් අපූරු, ඓතිහාසික පියවරක් වාර්තා විය​.

අද දින බ්‍රිතාන්‍යයේ ට්‍රිනිටි මිරර් පුවත්පත් ආයතනය විසින් නවතම දිනපතා පුවත්පතක්, The New Day නමින් හඳුන්වා දෙනු ලැබීය​. විශේෂත්වය වන්නේ මෙය වසර තිහකට පමණ පසු එරට අලුතෙන් නිකුත් වූ පළමු දිනපතා පුවත්පත වීමයි.

සිය දෙමාපියන් රැක බලාගන්නට සිදුවී තිබෙන කුඩා දරුවකු පිළිබඳ කවරයේ කතාවක් අද දින පුවත්පතෙහි ප්‍රධානතම අංගය වන අතර​, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බවට තර්ක කරමින් අගමැති ඩේවිඩ් කැමරන් ලියූ කොලමක්ද එහි අඩංගු ය​.

මුද්‍රිත පුවත්පත්වලට ඇති වෙළෙඳපොල කෙමෙන් අඩුවන සමයක වුවද​, නැවුම් ආරක පුවත්පතක් එළි දැක්වීමෙන් වෙළෙඳපොලෙහි රැඳී සිටීමේ හැකියාව තමනට පවතින බව The New Day පුවත්පත විශ්වාස කරයි.

"අප තවත් පුවත්පතක් පමණක් ඉදිරිපත් කළේ නම් එය අමනෝඥ ක්‍රියාවක් වනු ඇත​", පුවත්පතෙහි කර්තෘ මඩුල්ල ප්‍රකාශ කළේය​. "අප සතුව පුවත් ඇත​. අප කඩදාසියේ මුද්‍රිත පත්‍රයකි. නමුත් මෙම කරුණු දෙක හැරුණ කල​, වෙනත් සමානකමක් අප සහ අනෙක් පුවත්පත් අතර නොපවතී" යයිද ඔවුහු තව දුරටත් ප්‍රකාශ කළහ​.

කෙසේ වෙතත් සාමාන්‍ය පුවත්පතක පරිදිම ප්‍රහේලිකා, ලග්න පලාපල​, ගොසිප් ආදිය මෙම පුවත්පතෙහිද දකින්නට තිබුණි. කෙසේ වෙතත්, කවරයේ කතාවට අමතරව අප්‍රිකාවේ වසන ඇල්බිනෝ දරුවන් පිළිබඳ විශේෂාංගයක් ද ඇතුලත් වේ.

The New Day පුවත්පතෙහි ඉලක්ක වෙළෙඳපොල නම් වයස අවුරුදු 35-55 අතර වන ජනතාවය​. එමෙන්ම එය දේශපාලන වශයෙන් ස්වාධීනව සිටින බවට ප්‍රකාශ කර ඇත​.

අද දිනයේ පුවත්පත නොමිලේ බෙදා හැරෙන අතර හෙට සිට සති දෙකක් පැන්ස 25 කටද​, ඉන් පසු පැන්ස 50 කටද අලෙවි කෙරෙනු ඇත​.

The New Day පුවත්පත කල එළි බසින්නේ The Independent පුවත්පත මුද්‍රිත මාධ්‍යයෙන් ඉවත්ව මුලුමණින්ම ඉන්ටර්නෙට් පුවත්පතක් බවට පත්වන බව ප්‍රකාශ කර ඇති පසුබිමකය​. මාර්තු 26 වනදායින් පසු The Independent පුවත්පත මුද්‍රණය නොවන්නේය​.

මේ අතර ට්‍රිනිටි මිරර් ආයතනයේ ප්‍රධානතම පුවත්පත වන ඩේලි මිරර් පුවත්පතෙහි අලෙවිය ද ගිය වසරට සාපේක්ෂව සියයට 12 කින් පමණ අඩු වී තිබේ.

Sunday, February 28, 2016

අයර්ලන්ත මැතිවරණ ප්‍රතිඵල සභාග ආණ්ඩුවට අවාසිදායක වන ලකුණු

සිකුරාදා පැවැති අයර්ලන්ත මැතිවරණයේ ප්‍රතිඵල අද නිකුත් වීමට නියමිතය​. මේ වන විට ලැබෙන තොරතුරු අනුව, 2011 සිට එරට පාලනය කළ ෆින ගේල් (Fine Gael) සහ කම්කරු පක්ෂ සභාගයට පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයක් හිමි නොවන ලකුණු පහළ වී ඇත​.

මේ හේතුව නිසා, කුඩා පක්ෂවලට මෙම මැතිවරණ ප්‍රතිඵල වාසිදායක වනු ඇතැයි විචාරකයෝ අදහස් දක්වති. දැනට ලැබෙන තොරතුරු අනුව ඊළඟ රජය පිහිටුවීමට ඉඩ ඇත්තේ ෆින ගේල් ප්‍රමුඛ පුලුල් සභාගයක් හෝ ෆින ගේල් සහ ඊළඟ විශාලතම පක්ෂය වන ෆියන ෆොයිල් (Fianna Fáil) අතර මහා සන්ධානයකි. මෙම විකල්ප දෙකම සිදු නොවේ නම් මෙම වසර තුළ යළි මැතිවරණයක් පැවැත්වෙනු ඇත​.

2011 අයර්ලන්ත මැතිවරණය එරට ඓතිහාසික මැතිවරණයක් වූයේය​. එවක පාලක පක්ෂය වූයේ 1932 පටන්ම අයර්ලන්තයේ ප්‍රබලම තනි පක්ෂය වූ ෆියන ෆොයිල් ය​. නමුත් නරක ආර්ථික තත්ත්වය හමුවේ එරට වැසියෝ එම පක්ෂයට ඓතිහාසික පරාජයක් අත්කර දුන් හ​. එවක ආසන 165 ක් වූ පාර්ලිමේන්තුවේ ෆියන ෆොයිල් පක්ෂයට ලැබුණේ ආසන 20 ක් පමණි. ෆින ගේල් පක්ෂය ආසන 76 ක් දිනූ අතර කම්කරු පක්ෂය ආසන 37 දිනීය​. මේ දෙපක්ෂය එක්ව සභාග ආණ් ඩුවක් පිහිටුවන ලදී.

පසුගිය වසර පහේදී අයර්ලන්ත රජය 'පටි තද කිරීමේ' (austerity) ක්‍රියාවලියක් හඳුන්වා දීමෙන් ආර්ථිකය යහපත් තත්ත්වයකට ගෙන ඒමට සමත් විය​. මෙම ආර්ථික ජයග්‍රහණය අගමැති එන් ඩා කෙනීගේ ප්‍රධානතම තුරුම්පුව විය​. නමුත් ජනතාව ඔහු හා එක සේ එකඟ නොවන බැව් පෙනී ගොස් ඇත​.

අයර්ලන්තයේ පාර්ලිමේන්තුවේ වර්තමාන ආසන සංඛ්‍යාව 157 කි. ෆින ගේල් පක්ෂය වැඩිම ආසන ගණනක් දිනන තනි පක්ෂය බවට පත් වේ යයි අනාවැකි පළ වන නමුත් කම්කරු පක්ෂය සැළකිය යුතු පසුබෑමක් පෙන්වනු ඇති බවත්, ෆියන ෆොයිල් පක්ෂය ආසන 40 ක් වත් ලබාගනු ඇති බවත් අනාවැකි පළවී ඇත​. මේ අනුව ප්‍රධාන පක්ෂ දෙක අතර විශාල වෙනසක් නොපවතිනු ඇත​.

මෙම පසුබිම යටතේ කුඩා පක්ෂ වැදගත් වනු ඇත​. අයර්ලන්තයේ සිව් වැනි විශාලම පක්ෂය වන්නේ සින් ෆෙන් පක්ෂයයි. 2011 දී ආසන 14 ක් ලබාගත්, මධ්‍ය-වාමාංශික සින් ෆෙන් (Sinn Féin) පක්ෂය මෙවරද සැලකිය යුතු ආසන ප්‍රමාණයක් බලාපොරොත්තු වෙයි. මේ අතර නව පක්ෂයක් වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද ආසන කිහිපයක් දිනා ගනු ඇතැයි අපේක්ෂිතය​. තවද 'පටි තද කිරීමට​' එරෙහි වමේ පක්ෂ කීපයක් ද ආසන කිහිපයක් දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Monday, February 22, 2016

දැනුම මිනුම 05: පර්ල් හාබර් ප්‍රහාරය​

1941 දෙසැම්බර් 7 වනදා ජපානය විසින් ඇමරිකා එක්සත් ජනපදයේ හවායි දූපත්වල පිහිටි පර්ල් වරායට බෝම්බ දමන ලදී. මේ අවස්ථාව වන විට ඇමරිකා එක්සත් ජනදය දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ වී තිබුණේ නැත​. එමෙන්ම ජපානයද ඒ වන විට යුධ වැදී සිටියේ චීනය සමඟ පමණි. ජපානය මෙම ප්‍රහාරයට පෙර ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කළේද නැත​. මේ හේතුව නිසා එවක එක්සත් ජනපද ජනාධිපතිවරයා වූ ෆ්‍රැන්ක්ලින් ඩෙලානෝ රූසවෙල්ට් එම දිනය හැඳින්වූයේ "නීචත්වයේ දිනයක්" (a date that will live in infamy)ලෙසය​.
ප්‍රහාරය අවස්ථාවේ ජපන් ගුවන් යානයක සිට ගත් ඡායාරූපයක්

1. එක්සත් ජනපද ශාන්තිකර (පැසිෆික්) නාවුක බල ඇණිය (Pacific Fleet) පර්ල් හාබර් වෙත යවන ලද්දේ රූසවෙල්ට් විසිනි. ඒ නැගෙනහිර ආසියාවේ මතුවෙමින් ආ උණුසුම් තත්ත්වය හේතුවෙනි. ඊට පෙර එම බල ඇණිය​, බටහිර එක්සත් ජනපදයේ නගරයක ස්ථානගතව පැවැතියේය​. දිගු කළක් මුලුල්ලේ නාවික හමුදාව හා බැඳුන ඉතිහාසයක් ඇති මෙම නගරයේ ගැඹුරු පත්ළක් ඇති වරායක්ද වේ. වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ අටවැනි විශාලතම නගරය වෙන මෙම නගරය කුමක්ද​?

2. 19 වන සියවසදී හවායි රාජධානිය ඇමරිකන් බලපෑමට නතු වෙමින් පැවැති සමයේ, පර්ල් වරාය ඇමරිකානුවනට වැදගත් ස්ථානයක් බවට පත් විය​. ශාන්තිකර සාගරයේ සරන ඇමරිකානු නෞකා සඳහා ගල් අඟුරු හා වෙනත් සැපයුම් ලබාගන්න ස්ථානයක් ලෙස එය පවත්වාගන යන ලදී. 1898 දී හවායි රාජධානිය ඇමරිකාව විසින් ඈඳා ගන්නා ලදී. පර්ල් හාබර් වරායේ නාවික කඳවුර පිහිටවූයේ ඉන් පසුය​. ඒ කිනම් වසරකද​?

3. පර්ල් හාබර් වරායට පහර දුන් ජපන් සේනාංකයෙහි ගුවන් යානා ගෙන යන නෞකා හයක්, ප්‍රහාරක ගුවන් යානා 414ක්, සබ්මැරීන 23ක්, කුඩා ප්‍රමාණයේ 'මිජට්' සබ්මැරීන 9ක් , සහ තවත් නෞකා කිහිපයක් විය​. ප්‍රහාරක සැලසුමෙහි මූලික නිර්මාතෘ වූයේ අද්මිරාල් ඉසොකෝරු යමාමෝටෝ ය​. ප්‍රහාරක සේනාංකයෙහි අණ දෙන නිලධාරියා වූයේ ප්‍රධානතම ගුවන් යානා ප්‍රවාහන බල සේනාංකය වූ පළමු ගුවන් නාවික බල ඇණියේ අණදෙන නිලධාරියාය​. යමාමොටෝගේ සැලසුම සමඟ ඔහු එකඟ නොවූවත් ඔහු එම ප්‍රහාරය සැලසුම අනුව දියත් කළේය​. කෙසේ වෙතත්, පර්ල් හාබර්හි වූ තෙල් ගබඩා සහ නැව් අලුත්වැඩියා අංගණවලට පහර නොදීම පිළිබඳ ඔහු පසුව දෝෂදර්ශනයට ලක් විය​. පසු කාලීනව ලංකාවට බෝම්බ දැමීම ඇතුලු ප්‍රහාර රැසක නායකත්වය ගෙන ක්‍රියා කළ හෙතෙම 1944 ජුලි 6 වනදා සයිපෑන් දූපතේ සටනේදී පරාජය අභිමුව දිවි තොර කරගත්තේය​. මරණින් පසු හෙතෙම අද්මිරාල් තනතුරට උසස් කෙරිණ​. මේ කවුද​?
ප්‍රශ්න අංක 5 හි සඳහන් නෞකාව ගිලාබසින අතරතුර​

4. හවායි දූපත් වාසී ඩේවිඩ් අකුයි ජපන් යුධ සිරකරුවකු අල්ලාගත් පළමු ඇමරිකානුවා බවට පත් වූයේද පර්ල් හාබර් ප්‍රහාරය එල්ල වූ දිනයේය​. අකුයි විසින් ඔහු සොයාගන්නා විට මෙම ජපන් සෙබළා සිහිසුන්ව උන්නේය​. යුද්ධාවසානය තෙක් යුධ සිරකරුවකු ලෙස ඇමරිකාවේ දිවි ගෙවූ ඔහු යුද්ධාවසානයෙන් පසු ජපානයට ගොස් බොහෝ කළක් ටොයෝටා සමාගමේ සේවය කළේය​. 1999 දී වයස අවුරුදු 81ක් ව සිටියදී මියගිය ඔහු කවරෙක්ද​?

5. පර්ල් හාබර් ප්‍රහාරයේදී මියගිය ඇමරිකානුවන් ගණන 2402 කි. මින් අඩකට ආසන්න ගණනක් (1177) මියගියේ එක්තරා නෞකාවක වෙඩිබෙහෙත් ගබඩාවට මිසයිලයක් වැදීමෙන් එහි වූ පිපිරීමෙනි. පර්ල් වරායේදී ගිලාබත් වූ අනෙක් ඇමරිකානු යුධ නැව් තුනම ගොඩගනු ලැබුණද මෙම නැව සම්පූර්ණයෙන්ම ගොඩගනු නොලැබිණ​. මෙම නැවෙහි ගිලුණු බඳ පිහිටි ස්ථානය කේන් ද්‍ර කරගනිමින් යුධ ස්මාරකයක් ඉදිකර තිබේ. මෙම යුධ නෞකාව කුමක්ද​?

දැනුම මිනුම 04: ජනපති කෙනඩි සඳහා පිළිතුරු

1. ජැක්
2. ඒබ්‍රහම් ලින්කන්
3. සොලමන් දූපත්
4. ජෝන් කොනලි
5. ජැක් රූබි

Sunday, February 21, 2016

පැරණි ගොඩබිම් සේද මාවතට යළි පණ දෙයි

චීනය බාහිර ලෝකය සමඟ සිය ආර්ථික සබඳතා පුලුල් කිරීමේ වැඩපිළිවෙල කිහිපයක් මෑතකදී දියත් කොට තිබේ. මේ අතර 21 වන සියවස මුහුදු සේද මාවත සහ ගොඩබිමින් මධ්‍යම ආසියාව සහ ඉරානය දෙසට විහිදෙන නව සේද මාවත වැදගත් තැනක් උසුලයි. මෙම ව්‍යාපෘතීන් දෙක​, පැරණි ගොඩබිම් සහ මුහුදු සේද මාවත් යළි නිර්මාණය කිරීමේ වෑයමකි.
Pic: AFP

ගොඩබිම ඔස්සේ දිවෙන නව සේද මාවතේ ආරම්භය සනිටුහන් කරමින් මීට දින කිහිපයකට පෙරදී චීනයෙන් ඇරඹි දුම්රියක්, ඉරානයට ළඟා වූයේය​. පෙට්ටි 32 කින් සමන්විත වූ මෙය චීනයේ ෂෙජියෑං (Zhejiang) පළාතෙන් ගමන් අරඹා, කසාක්ස්තානය සහ තුර්ක්මෙනිස්තානය ඔස්සේ ඉරානයේ ටෙහෙරාන් අගනුවර තෙක් වූ කිලෝමීටර 9,500 ක දුර දින 14 කින් ගෙවා දැමීය​.

මෙම ගමන් කාළය චීනයේ ෂැංහයි සිට ඉරානයේ බන් ඩාර් අබ්බාස් වරාය තෙක් වන ගමන් කාළයට වඩා දින 30 ක පමණ අඩු කාළයකි.

2014 දී චීනය විසින් එළිදක්වන ලද ව්‍යාපෘතිය නැතහොත් නව සේද මාවත​, චීනය සහ බටහිර ආසියාව​, මධ්‍යම ආසියාව සහ දකුණු ආසියාව සම්බන්ධ කෙරෙන මහාමාර්ග​, දුම්රිය මාර්ග සහ වරාය සහිත ඉතා පුලුල් ව්‍යාපෘතියකි.

ඉහත සඳහන් නව සේද මාවත ඉරානයෙන් නවතිනු ඇත යන්න ඉරානයේ මෙන්ම චීනයේද බලාපොරොත්තුව නොවේ. ඔවුනගේ අභිලාෂය වන්නේ මෙම මාර්ගය යුරෝපය තෙක්ම එකිනෙක රටවල් සබැඳෙන නව මාර්ගයක් වනු දැකීමයි.

යුරෝපා සංගමය බිඳ වැටේද​? එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ ජනමත විචාරණය ජූනි මාසයේදී

එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේද යන්න තීරණය කිරීම සඳහා පැවැත්වීමට සැලසුම් කෙරුණ ජනමතවිචාරණය සඳහා ඊයේ දින නියම විය​. කැබිනට් මණ් ඩලය සමඟ පවත්වන ලද සාකච්ඡාවකට පසු එළඹෙන ජූනි 23 වනදා මෙම ජනමතවිචාරණය පවත්වනු ලබන බව අගමැති ඩේවිඩ් කැමරන් ඊයේ එරට වෙලාවෙන් සවස් යාමයේදී ප්‍රකාශ කළේය​.

අගමැතිවරයාගේ මෙම ඓතිහාසික කතාව සිදු කරන ලද්දේ එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අතර ඇතිවූ එකඟතාවයෙන් එක් දිනකට පසුවය​. මෙම එකඟතාවය හේතුවෙන් යුරෝපා සංගමය තුළ එක්සත් රාජධානියට විශේෂ ස්ථානයක් හිමිවන බව කැමරන් ප්‍රකාශ කළේය​.

එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ සාමාජිකයකු වීම නුරුස්සන පිරිසක් කළක් මුලුල්ලේම එරටෙහි වූහ​. එරට ප්‍රධානම දේශපාලන පක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂය තුළද මෙම මතය කවදත් තරමක් ජනප්‍රිය වූ අතර ඊට වඩා දක්ෂිනාංශික යයි සැළකෙන සියලු කණ්ඩායම් සාමාන්‍යයෙන් කවදත් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බැව් ප්‍රකාශ කළහ​.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම වඩා තීව්‍ර වූයේ ආර්ථික අර්බුදය සහ සරණාගත ප්‍රශ්නය හේතුවෙනි. අගමැති ඩේවිඩ් කැමරන් ද යුරෝපා සංගමය තුළ පැවති තත්ත්වය යටතේ එක්සත් රාජධානිය රැඳී සිටිනට අකමැති වූ නමුදු එයින් ඉවත්වීම පිළිබඳ දෙගිඩියාවෙන් පසු වූයේය​. එහෙයින් ඔහු එක්සත් රාජධානියට යම් විශේෂිත ස්ථානයක් ලැබෙන ආකාරයෙන් එකඟතාවකට ළඟා වූයේය​. මේ අනුව සරණාගත ප්‍රශ්නයේදී, මූල්‍ය කටයුතුවලදී සහ දේශපාලන ඒකාබද්ධතාව පිළිබඳ ගැටලුවලදී බ්‍රිතාන්‍යයට යම් සුරක්ෂිතභාවයක් ලැබෙනු ඇත​.

මෙම එකඟතාවයෙන් පසු කැමරන් යුරෝපා සංගමයේ දිගටම රැඳී සිටීම කෙරෙහි සිය පූර්ණ සහයෝගය ලබාදීමට තීරණය කළේය​. එහෙත් ඔහුගේම කැබිනෙට්ටුවේ සාමාජිකයන් කිහිප දෙනෙක් ද ඇතුලුව කොන්සර්වේටිව් පාක්ෂිකයන් පිරිසක් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු යයි ප්‍රකාශ කරති.

මේ අතර ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය එක්සත් රාජධානිය යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බව ප්‍රකාශ කරන අතර එම පක්ෂයේ කුඩා පිරිසක් යුරෝපයෙන් වෙන්වීම සඳහා සහය දක්වන්නට තීරණය කර තිබේ. ස්කොට්ලන්තයේ ප්‍රධානතම පක්ෂය වන ස්කොටිෂ් ජාතික පක්ෂය (Scottish National Party - SNP) වෙනමම වචන හරඹයක යෙදෙමින් 'ස්කොට්ලන්තය යුරෝපා සංගමයේ සිටිය යුතු බව​' ප්‍රකාශ කර තිබේ. ස්කොටිෂ් ජාතික පක්ෂය ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන්විය යුතු නමුත් යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බව පිළිගන්නා පක්ෂයකි.

යුරෝපයෙන් වෙන්වීම සිය ප්‍රතිපත්තින්හි මූලික අංගයක් වන එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂය (United Kingdom Independence Party - UKIP) ඒ සඳහා ප්‍රචාරක කටයුතුවල නිරත වනු ඇත​. මේ අතර එංගලන්තයේ සහ වේල්සයේ හරිත පක්ෂය (Green Party of England and Wales) වඩා යහපත් යුරෝපයක් සඳහා සටන් කරමින්, යුරෝපයේ රැඳී සිටින ගමන් එහි පාරිසරික සහ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කළ යුතු බව කියයි.

Wednesday, February 17, 2016

ආසියාවේ විශාලතම ගුවන් ප්‍රදර්ශනය​

ආසියාවේ විශාලම ගුවන් ප්‍රදර්ශනය වන සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනය (Singapore Air Show) ඊයේ දිනයේ එරට චැංගි ප්‍රදර්ශණ මධ්‍යස්ථානයේදී (Changi Exhibition Centre) ආරම්භ විය​. සෑම දෙවසරකටම වරක් පැවැත්වෙන මෙම දැවැන්ත වෙළෙඳ ප්‍රදර්ශනය ලෝකයේ ප්‍රධානතම ගුවන් කාර්මික වෙළෙඳ ප්‍රදර්ශනයක් ලෙස සළකනු ලබයි.
ඡායාරූපය​: ෂින්හුවා පුවත් සේවය​

මෙම ප්‍රදර්ශනය සඳහා ලොව පුරා ගුවන් යානා නිශ්පාදන සමාගම්, ගුවන් සේවා සමාගම් සහ වෙනත් විවිධ ආකාරයෙන් ගුවන්‍ යානා කර්මාන්තයට සම්බන්ධ වන සමාගම් ගණනාවක් සහභාගී වෙති. මෙවර ප්‍රදර්ශනය සඳහා රටවල් 47 කින් සමාගම් 1,018 ක් සහභාගී වන බව සංවිධායකයෝ පැවසූහ​. මෙම සමාගම් අතර ලෝකයේ ප්‍රධාන ගුවන් සමාගම් සියයෙන්, සමාගම් 65 ක් ද වන බව සංවිධායකයෝ වැඩිදුරටත් කියා සිටියහ​. මේ අතර රටවල් 125 කින් වෙළෙඳ නියෝජිතයින් 45,152 ක් ප්‍රදර්ශනය සඳහා එක් වෙති.

තවද​, ගුවන් හමුදා නියෝජිතයින් ද විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය සඳහා සහභාගි වන අතර, ගුවන් සන්දර්ශණ සඳහා රටවල් කිහිපයකම ගුවන් හමුදා එක්ව සිටිති.

පෙබරවාරි 16 සිට 21 තෙක් පැවැත්වෙන ප්‍රදර්ශනය අවසන් දින දෙකේදී මහජනයාට විවෘත වේ.

Tuesday, February 16, 2016

"මම ඔයාලගෙ අපේක්ෂකයා නෙවෙයි"

ඒ 1982 වසරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවක දැඩි අර්බුදයක ගැලී සිටියේය​. පක්ෂ නායිකාව වූ සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කොට තිබිණ​. මේ අතර ලක් ඉතිහාසයේ පළමු ජනාධිපති මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් වූයේය​.

මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් එවකට ජනාධිපති ධූරය දැරූ ජේ. ආර්. ජයවර්ධන ඉදිරිපත් වූයේය​. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයකු තෝරාගැනීම පිළිබඳ බරපතල ගැටලුවකට මුහුණ දුන්නේය​.

පක්ෂ නායිකා සිරිමා බණ්ඩාරනායකගේ අවශ්‍යතාවය වූයේ තම පුත් අනුර බණ්ඩාරනායකට ජනාධිපති අපේක්ෂකත්වය පිරිනැමීමය​. නමුත් පක්ෂයේ විශාල පිරිසකගේ, වෙසෙසින්ම එහි තරුණ සාමාජිකයන්ගේ දැඩි විරෝධයක් මෙම තීරණය කෙරෙහි මතු වූයේය​.

විජය කුමාරතුංග ඇතුලු පක්ෂයේ තරුණ සාමාජිකයන් පිරිසක් හෙක්ටර් කොබ්බෑකඩුව මුණ ගැසීමට යන්නේ මේ අතරතුරය​. ඔවුන් හෙක්ටර් කොබ්බෑකඩුවගෙන් ඉල්ලා සිටිනුයේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙසය​.

හෙක්ටර් කොබ්බෑකඩුව ආදර්ශමත් දේශපාලකයකු වූයේය​. 1970-77 රජයේ කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා වූ ඔහුට අක්කර 50 නීතිය හේතුවෙන් විශාල ඉඩකඩම් ප්‍රමාණයක් අහිමි වූ අතර​, ඉඩම් අහිමි වූ බොහෝ නෑදෑයෝ ඔහු හා අමනාප ද වූහ​. තත්ත්වය කෙතරම් බරපතල වී ද යත්‍, ඔහුගේ සහෝදරයකු ඔහුගේ නිවසද බෙදාගෙන ඔහුගේ කොටසට අයිතිවාසිකම් කීවේය​. කොබ්බෑකඩුව දේශපාලනයෙන් මුදල් සෙවූවකු ද නොවීය​.

මේ හේතුවෙන්ම විජය ඇතුලු පිරිසගේ ඉල්ලීම ඔහු කරුණාවෙන් ඉවත දැම්මේය​. "මේ ගේත් තාප්පයක් ගහල දෙකට බෙදල​. මම අඳින්නෙත් අණ්ඩ දාපු කමිස​. කැබිනට් ඇමතියෙක් වුනාට මම හොයාගත් මුදලක් නෑ. එහෙව් මම කොහොමද ඡන්ද කරන්නෙ. මම ඔයාල හොයන අපේක්ෂකයා නෙවෙයි. කරුණාකර වෙන කෙනෙක් හොයාගන්න​" ඔහු කීවේය​.

නමුත් එයින් විජය කුමාරතුංග ඇතුලු පිරිස පසුබට නොවූහ​. "සර් තරග​ කරන්න​. අපි වියදම් බලාගන්නම්" ඔවුහු කීහ​.

සිරිමා බණ්ඩාරනායකගේ විරුද්ධත්වය හේතුවෙන් පක්ෂයෙන් කොබ්බෑකඩුවට වියදම් නොකළද ඔහුගේ සහචරයෝ කෙසේ හෝ මුදල් සපයා ගත් හ​. 1982 සැප්තැම්බර් 17 වනදා නාම යෝජනා කැඳවන ලද අතර අපේක්ෂකයෝ සය දෙනෙක් මෙහිදී තරග​ බිමට බටහ​. මෙයින් ලංකා සම සමාජ පක්ෂයේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා අපූරු තර්කයක් ඉදිරිපත් කරමින් පැවසූයේ කොබ්බෑකඩුවගේ පක්ෂයේ නායිකාවට ප්‍රජා අයිතිය නොමැති බවත්, ඔහුට ඡන්දය දීම නිශ්ඵල බවත් ය​.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම වූ සිරිමා පාර්ශවයේ වූවෝ කොබ්බෑකඩුව සමච්චලයට ලක් කළහ​. අනුර බණ්ඩාරණායක වරක් ප්‍රකාශ කළේ සිය පක්ෂයේ අපේක්ෂකයාට 'මෝටර් රථයට පෙට්‍රල් ගහගන්නටවත් මුදල් නැති' බවය​. මේ සියලු ප්‍රශ්න මැද හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්ද ව්‍යාපාරය ඉදිරියට ඇදී ගියේය​.

කෙසේ වෙතත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරණ සටන ජයගත්තේය​. ජයවර්ධන ඡන්ද 3,450,811ක් (52.91%) ලබාගනිද්දී කොබ්බෑකඩුව ඡන්ද 2.548,438 ක් (39.07%) ලබාගත්තේය​.

Monday, February 15, 2016

අග්නිදිග ආසියාවේ විශාලතම බැංකුව​

අග්නිදිග ආසියාව (South East Asia) යනු රටවල් දහයක පමණ ප්‍රමාණයකින් සමන්විත ආසියාවේ ඉතාමත් වැදගත් ආර්ථික කලාපයකි. මෙම කලාපයේ බැංකු අතුරින් විශාලම බැංකුව ලෙස කළක් තිස්සේම පැවතියේ සිංගප්පූරුවේ DBS බැංකුවය.

නමුත් මෙම වාර්තාව DBS බැංකුවට අහිමි වූ බව පසුගිය සතියේ සිංගප්පූරුවේ චැනල් නිව්ස් ඒෂියා (Channel News Asia) රූපවාහිනී සේවය විසින් වාර්තා කරන ලදී. මෙම වාර්තාවට අනුව අලෙවිකරණ ප්‍රාග්ධනය (Market capitalization) අතින් දැනට අග්නිදිග ආසියාවේ විශාලම බැංකුව වනුයේ ඉන්දුනීසියාවේ බෑන්ක් සෙන්ට්‍රල් ඒෂියා (Bank Central Asia) ආයතනයයි.

මීට හේතු වී ඇත්තේ DBS බැංකුවේ කොටස්වල වටිනාකම සීඝ්‍ර ලෙස අඩු වීමත්, ඒ සමඟින්ම බෑන්ක් සෙන්ට්‍රල් ඒෂියා බැංකුවේ කොටස්වල වටිනාකම ඉහළ යාමත් බව සඳහන්.

2015 අගෝස්තුවේ සිට මේ දක්වා කාළය තුළ DBS හි කොටස්වල වටිනාකම සියයට 37.8 කින් පහළ වැටී ඇතත්, BCA කොටස්වල අගය සියයට 18.6 කින් ඉහළ ගොස් ඇත​.

බෑන්ක් සෙන්ට්‍රල් ඒෂියා බැංකුවෙහි ඉතිහාසය 1957 පෙබරවාරි 21 වනදා තෙක් දිවෙන අතර DBS බැංකුව ආරම්භ කර ඇත්තේ 1968 ජූනි මාසයේය​. 2009 සිට 2015 තෙක් පිට පිටම වසර හතක් "ආසියාවේ සුරක්ෂිතම බැංකුව" ලෙස ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් තෝරාගෙන ඇත්තේ DBS බැංකුවය​.

Saturday, February 13, 2016

තමිල්නාඩු මැතිවරණය සඳහා කරුණානිධි සහ කොංග්‍රස් පක්ෂය යළි එක්වෙති

ළඟ එන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය සඳහා සන්ධානගතව තරඟ කිරීමට මුත්තුවේලු කරුණානිධිගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාහම් (DMK) පක්ෂය සහ ඉන්දීය ජාතික කොංග්‍රසය එකඟ වූහ​.
කරුණානිධි

ඉන්දීය රාජ්‍ය සභාවේ විපක්ෂ නායක සහ කොංග්‍රස් පක්ෂයේ ප්‍රමුඛ පෙළේ නායකයකු වන ගුලාම් නබි අසාඩ් සහ කරුණානිධි අතර හමුවකින් පසු මෙම තීරණය කරා එළඹුන බව ප්‍රකාශ කරන ලදී.

මෙම පක්ෂ දෙක මීට පෙර 2006 දී සන් ධානගතව තරඟ වැදී තමිල්නාඩු මැතිවරණය ජයගත් අතර 2011 දී ඔවුන් ඇතුලත් වූ සන් ධානය ජයලලිතාගේ සමස්ථ ඉන් දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක් ෂය ප්‍රමුඛ සන් ධානය විසින් පරාජය කරන ලදී.

DMK නායක කරුණානිධි 2013 දී කොංග්‍රසය සමඟ වූ සන්ධානය බිඳ දැමූයේ එවකට කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් විසින් පාලනය කෙරුණ ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව, ශ්‍රී ලංකාවේ දමිළ ජාතිකයන් ගේ අයිතීන් පිළිබඳ හඬක් නොනගන බවට දෝශාරෝපණය කරමින්.

2014 දී පැවැති ඉන්දීය මහ මැතිවරණයේදී DMK පක්ෂය ප්‍රාන්තයේදී අන්ත පරාජයකට පත්වූ අතර කොංග්‍රසය සමස්ථ ඉන්දියාව පුරාම අන්ත පරාජයක් භුක්ති වින් දේය​.

තෙල් මිල සියයට 12 කින් නගී

ඔපෙක් රාජ්‍යයන්හි තෙල් නිෂ්පාදනයෙහි සීමා කිරීමක් පිළිබඳ පළවූ වාර්තා හේතුවෙන් සිකුරාදා දිනයෙහි ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිළ සියයට 12 කින් පමණ ඉහළ ගියේය​.

ඇමරිකා එක්සත් ජනපදයේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෙට්‍රෝලියම් ඇමති උපුටා දක්වමින් ඔපෙක් රටවල් නිෂ්පාදනය අඩු කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා කළේය​.

මේ අතර වෙනෙසුවේලාවේ පෙට්‍රෝලියම් ඇමති එයුලෙජියෝ ඩෙල් පිනෝ ප්‍රකාශ කළේ මේ පිළිබඳ ඛනිජ තෙල් නිපදවන ඔපෙක් සාමාජික මෙන්ම සාමාජික නොවන රටවල් ද එකඟතාවකට පැමිණෙමින් ඇති බවයි.

මේ පිළිබඳ ඔහු බීබීසී සේවයට අදහස් දැක්වූයේ සෞදි අරාබියේ සහ රුසියාවේ සංචාරයකින් අනතුරුව වීම වැදගත් කරුණක්.

බ්‍රහස්පතින්දා වන විට ඇමරිකානු ඩොලර් 30 ටත් වඩා අඩු වූ බ්‍රෙන්ට් බොර තෙල්වල මිල සිකුරාදා වන විට ඩොලර් 33.36 වී තිබුණ අතර ඩොලර් 26.05 වූ ඇමරිකානු බොර තෙල්වල මිල ඩොලර් 29.44 දක්වා ඉහළ නැඟ තිබුණි.

කෙසේ නමුත් මෙම මාධ්‍ය වාර්තා පිළිබඳ සැක පළ කරන පිරිස් දක්වා සිටින්නේ මෙය වෙනෙසුවේලාවේ සහ රුසියාවේ උවමනාවට කෙරෙන ප්‍රකාශ මිස අවසන් එකඟතාවකට තවමත් පැමිණ නැති බවයි.

මේ අතර​, ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ එක්සත් ජනපදය සිය නිෂ්පාදනයන් පාලනය කිරීමට කටයුතු කිරීම බලාපොරොත්තු විය යුතු බවය. මෙම වසර අවසානය වනවිට ලෝක තෙල් මිල ඩොලර් 50 පමණ අගයකට පත් කිරීම ඔවුනගේ අරමුණ විය හැකි බව මෙම විශ්ලේෂකයින් මත පළ කළහ​.

ලෝක කොටස් වෙළෙඳපොළවල වත්මන් කඩා වැටීමට ප්‍රධාන හේතු

ලෝක කොටස් වෙළෙඳපොළ පසුගිය සතියේ පැහැදිලි කඩා වැටීමකට ලක් වූයේය​. ආසියාවේදී මෙම තත්ත්වය වඩාත් පැහැදිලි වූ අතර ජපානයේ ටෝකියෝ කොටස් වෙළෙඳපොළ සියයට එකොළහකින් පමණ පහත වැටුණි. ලෝකයේ මතුවූ මෙම ප්‍රවණතාවය කෙරේ බල පෑ කරුණු කිහිපයකි.
Tokyo Stock Exchange (Pic: Stefan, Wikimedia Commons)

1. ඛනිජ තෙල් මිල පහළ යාම​: ලෝක වෙළෙඳපොළෙහි තෙල් බිල පහල වැටීම හේතුවෙන් තෙල් සමාගම්වල ලාභය පහත වැටෙනු ඇති බව ද​, එහෙයින්ම ඔවුන් ණය ලබාගෙන ඇති  බැංකුවලට එයින් බලපෑමක් එල්ල වේ යයිද යන බිය කොටස් වෙළෙඳපොළවලට බලපෑමක් කළේය​.

2. ඍණ පොළී අනුපාතික​: ජපානයෙහි යෙන් මුදල ඩොලරයට සාපේක් ෂව ශක්තිමත් වීමත් සමඟ අපනයන සමාගම්වල කොටස්වලට පහර වැදුණි. තවද​, භාණ් ඩ හා සේවාවල මිල වැඩිවීමේ වේගය අඩු වීම ආර්ථිකයට අසුබදායක වනු ඇතැයි වූ බිය ද කොටස් වෙළෙඳපොළ පරිහානියට හේතු විය​.

3. චීනයේ කොටස් වෙළෙඳපොළ අවප්‍රමාණ වීම​: ලෝකයේ නැගී එන ආර්ථික බලවතකු මෙන්ම බටහිර රටවල ආර්ථික අපහසුතා මධ්‍යයේ ස්ථාවරව සිටි ප්‍රබලම රට වූ චීනයේ කොටස් වෙළෙඳපොළ මෑතකදී දැඩි පසු බෑමකට ලක් විය​. එයටද මූලික වූයේ තෙල් මිල අවප්‍රමාණය වීමය​. පසුගිය සතියේ චීන නව වසර හේතුවෙන් එරට කොටස් වෙළෙඳපොළ වසනු ලැබ තිබුණි. මීළඟ සඳුදා දිනයේ යළි වීන වෙළෙඳපොළ විවෘත වන විට, ලෝක අවප්‍රමාණයන් ගේ බලපෑම චීනයට ද පැතිර යනු ඇතැයි යන බියක් ආර්ථික විශ්ලේෂකයන් තුළ පවතී.

4. ලෝක ආර්ථික අවපාතයක් කෙරෙහි වන බිය​: එක්සත් ජනපද ෆෙඩරල් සංචිත බැංකුවේ (Federal Reserve Bank) ප්‍රධානී ජැනට් යෙලන් ගිය සතියේ ප්‍රකාශ කළේ කොටස් වෙළෙඳපොළවල මතුව ඇති තත්ත්වයන් හේතුවෙන් ආර්ථික අවපාතයකට සූදානම් වීම කෙරෙහි සිය අවධානය යොමු කර ඇති බවයි. මෙම තත්ත්වය ද කොටස් වෙළෙඳපොළ කෙරෙහි අසුබදායී ලෙස බලපානු ඇත​.

5. බැංකු අර්බුධ​: යුරෝපයේ කළක් තිස්සේම පැවති අඩු පොළී අනුපාතික බැංකුවල ලාභාංශ කෙරෙහි අයහපත් බලපෑමක් එල්ල කොට ඇති අතර ඒවායේ ආදායම මෙන්ම ණයවලින් ලැබෙන ප්‍රතිලාභ ද අඩුවී ඇත​.

6. ලෝක දේශපාලනික තත්ත්වයන්: උතුරු කොරියානු මිසයිල අත් හදා බැලීමෙන් පසු දකුණු කොරියාව විසින් කේසොංග් (Kaesong) විශේෂ ආර්ථික කලාපය වසා දැමීමට තීරණය කළේය​. උතුරු කොරියාවේ පිහිටි මෙහි දකුණු කොරියානු සමාගම් 124 ක් ක්‍රියාත්මක වූ අතර උතුරු කොරියානුවන් 55,000 ක් රැකියා කළහ​. මෙම කලාපය වසා දැමීමෙන් පසු එහි ක්‍රියාත්මක වූ සමාගම්වල කොටස් මිල පහළ වැටුණි.

යූරෝ 500 නෝට්ටු භාවිතයෙන් ඉවත් කිරීමට සැරසේ

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරට ඊයේ රැස්වූ යුරෝපා මුදල් අමාත්‍යවරු යූරෝ 500 මුදල් නෝට්ටුව භාවිතයෙන් ඉවත් කිරීම පිළිබඳ සළකා බැලූහ​.
Pic: Bin im Garten, Wikimedia Commons

විශාල වටිනාකමක් ඇති යූරෝ 500 මුදල් නෝට්ටුව නීති විරෝධී ගනුදෙනු සඳහාත්, විශේෂයෙන්ම ත්‍රස්තවාදී කණ් ඩායම්වලට මූල්‍ය ආධාර ලබාදීම සඳහාත් යොදා ගැනීමට ඇති ඉඩකඩ මෙහිදී ඔවුනගේ අවධානයට යොමු විය​.

තවද​, මුදල් සඟවාගැනීම සඳහාද යූරෝ 500 නෝට්ටු භාවිතා කිරීමේ ඉඩකඩ මෙහිදී සළකා බලන ලදී.

ඇතැම් මුදල් ඇමතිවරුන් මෙම පියවර සඳහා ඍජු ලෙසම අනුමැතිය දක්වා තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේය​.

මේ අනුව, අවශ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ තමන්ට වාර්තා කරන ලෙස යුරෝපා මුදල් ඇමතිවරු යුරෝපා බහ බැංකුවට දන්වා සිටියෝය​.

වර්තමානයේ ලෝකය පුරා යූරෝ ට්‍රිලියනයක් පමණ වටිනා මුදල් නෝට්ටු සංසරණය වන බව ඇස්තමේන්තු කර ඇත​. මෙයින් තුනෙන් එකක් පමණ යූරෝ 500 නෝට්ටු ලෙස සැරිසරන බව විශ්වාස කෙරේ.