Friday, January 16, 2015

රජුගේ වරදට ජනතාවගෙන් පළි ගැනීම​

ශ්‍රී ලංකා වැසියන් තුල අනාදිමත් කාළයක පටන් සංඝයා වහන්සේ කෙරේ වූයේ මහත් වූ ගෞරවයකි. මෙම ගෞරවයේ මහත කෙතරම් දැයි කියැවෙන කතා පුවතක් වන්නේ මිරිසවැටිය දාගැබ නිර්මාණය කිරීමේ කතා පුවතයි.

එළාර රජුන් පරදා ත්‍රී සිංහලය එක්සත් කලාවූ දුටුගැමුණු රජතුමා තුළ සංඝයා කෙරේ වූයේ මහත් භක්තියක් බව වංසකතාකරුවෝ පවසති. තමන් අනුභව කරන කවර ආහාරයකින් වුවද මුල් කොටස සංඝයා වහන්සේලාට පූජා කරන සිරිතක් දුටුගැමුණු රජතුමාට තිබූ බවත්, එක් දිනක රජතුමා යම්කිසි ප්‍රමාද දෝෂයකින් සඟුන් නොපුදා මිරිස් මාළුවක් අනුභව කළ බවත්, සිදු වූ එම දෝෂයට වන්දි වශයෙන් මෙම චෛත්‍යය ඉදි කළ බවත් මහාවංශයේ සඳහන් වේ.

තවත් මතයක සඳහන් වන්නේ දිය කෙළිය සඳහා තිසා වැවට ගිය රජතුමා එක් දිනක එතුමාගේ සර්වඥ ධාතු සහිත ජය කොන්තය මෙම ස්ථානයේ තබා ගිය බවත්, දිය කෙළි නිමවා නැවත පැමිණ එම කොන්තය ගැනීමට උත්සාහ කිරීමේදී එය එතැනින් සෙලවීමටවත් නොහැකිව තිබූ බවත්, පසුව රජතුමා එය වට කොට මෙම චෛත්‍යය ඉදි කරවූ බවත් ය.

වංසකතා කරුවන් මෙහිදී ප්‍රකාශ නොකරන කතාවක් වේ. එනම් මෙවන් විශාල චෛත්‍ය කර්මයක් සඳහා අවශ්‍ය ශ්‍රමය පිළිබඳ සාධකයයි. පුණ්‍ය ක්‍රියාවක් ලෙස චෛත්‍ය නිර්මාණයකට දායක වීම ජනතාව කැමැත්තෙන්ම කරන්නට ඇත​. නමුත් තමා අතින් වූ අතපසු වීමකට දඬුවමක් ලෙස දුටුගැමුණු රජු විසින් මෙම චෛත්‍යය ගොඩ නැගුවේ නම් එහි අදහස දුටුගැමුණු රජතුමා අකාරුණික රජකු බවයි. මන්ද යත්, ඔහු තමාගේ අතපසු වීම වෙනුවෙන් දසදහස් ගණන් රටවැසියන් ගේ ශ්‍රමය යොදවාගෙන චෛත්‍යයක් සෑදවූ බැවිනි.

රජතුමා ජනතාවගේ ශ්‍රමය සූරාගත් බවක් මින් අදහස් නොකෙරේ. රුවන්වැලි සෑය ගොඩ නගද්දී ශ්‍රමයෙන් දායක වූ සියල්ලන්ට රජතුමා විසින් වේතනයක් ගෙවූ බව වංසකතාකරු පවසයි. මිරිසවැටිය ගොඩ නගද්දී ද එය එසේ වන්නට ඇත​. නමුත් ඒ ගෙවන්නට ඇත්තේ රාජ්‍ය භාණ්ඩාගාරයෙනි. එනම්, ජනතාවගේම බදු මුදල්වලිනි. රජකුගේ අතපසුවීමක් වෙනුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කිරීම අවැඩකි.

පුණ්‍ය ක්‍රියාවක් ලෙස චෛත්‍යයක් ගොඩ නැගීම මහත් වූ වදගත් කමකින් යුත් කාර් යයකි. නමුත් තමන් කළ වරදකට දඬුවමක් ලෙස එය කරවන ලද්දේ නම් දුටුගැමුණු රජතුමා කර ඇත්තේ තම වරදට ජනතාවගෙන් පළි ගැනීමයි.

රජකුගේ අතපසුවීමකට රට වැසියාගෙන් පළි ගැනීම අයුතු ය​.

මේ සිද්ධියේ ඇත්ත නැත්ත අපි නොදනිමු. අප දන්නේ මහාවංසය අපට පවසන දෙයයි. ඒ අනුව මහාවංසය දුටුගැමුණු රජතුමා අකාරුණික රජකු බවට පෙන්වා ඇත​.

මේ මහාවංසය විවෘත මනසකින් යළි කියැවීමට කාළය යහපත් වගට තවත් එක් කුඩා සාධකයක් පමණි.

Wednesday, January 7, 2015

ජනාධිපතිවරණයකදී ඡන්දය දෙන්නේ කොහොමද​?

2015 ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 19 දෙනෙක් ඉදිරිපත්ව තිබෙනවා. ඡන්දය විමසීම දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක 22 ක ආසන 160 ක මධ්‍යස්ථාන 12,134 කදී සිදු වෙනවා.

අද අපේ ලිපියේ අරමුණ ජනාධිපතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම ගැනයි.

දැන් පවතින මැතිවරණ ක්‍රමය යටතේ සාමාන්‍යයෙන් අප ඡන්දය දෙන්නේ යම් පක්ෂයකට කතිරයක් ගසා ඉන් පසු කැමැති නම් මනාප ලකුණු කිරීමෙන්. එය වෙනස් වෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් ජනාධිපතිවරණය​; අනෙක ජනමත විචාරණය​.

ජනාධිපතිවරණයකදී ඔබට ඡන් දය පාවිච්චි කරන්න පුලුවන් ක්‍රම කීපයක් තියෙනවා. මෙහිදී ඔබට එක් අපේක්ෂකයකුට ඡන් දය දමන්නත් පුලුවන්. නැත්නම් කැමති අනුපිළිවෙලට තුන් දෙනෙක්ට දමන්නත් පුලුවන්.

තමන් කැමැති යම් එක් අපේක්ෂකයකු පමණක් සිටී නම් සාමාන්‍ය ආකාරයට කතිරය ලකුණු කරන්න හෝ 1 ඉලක්කම ලකුණු කරන්න පුලුවන්. අපේක්ෂකයින් තුන් දෙනකුට කැමැති නම් 1, 2, 3 යන ඉලක්කම තුනෙන් ඔවුනට තියෙන කැමැත්තේ අනුපිළිවෙල දෙන්න පුලුවන්.

මෙහි 1,2,3 ලකුණු කිරීම වැදගත් වන අවස්ථාවක් තියෙනවා. පළමු වටයේදී ඔබේ ඡන්දය ගණන් ගැනෙන්නේ ඔබ 1 ලකුණු කළ අපේක්ෂකයාට දැමූ ඡන් දයක් විදියටයි. එවිට 2,3 අංක දැමූ අයට සෙතක් වන්නේ නැහැ. නමුත් කිසිදු අපේක්‍ෂකයකුට සියයට 50 කුත් එක් ඡන්දයක් හෝ ඊට වැඩියෙන් ලබාගන්න බැරි වුනොත් ඒ 2,3 මනාප වැදගත් වන්න පුලුවන්.

අපි හිතමු අපේක්ෂකයන් 5 දෙනෙක් (A, B, C, D and E) ඡන්දය ඉල්ලනවා කියලා. මෙයින් එක්කෙනෙක්ටවත් සියයට පනහ ඉක්මවා ඡන්ද නොලැබුණොත් දෙවන ගණන් කිරීමක් කරන්න වෙනවා.

අපි හිතමු ලබාගත් ඡන්දවලින් ඉදිරියෙන්ම ඉන්නේ A සහ B කියලා. එවිට දෙවන වටයේ ගණන් කිරීමට ඒ දෙන්නාට ඉදිරිපත් වූ ඡන්ද ගණන් කරන්නේ නෑ. ඒ අනුව අනෙක් අපේක්ෂකයන් වෙත දුන් ඡන්ද තමයි ගණින්නේ.

ඒ ඡන්දවලිනුත් කතිරය ගසා ඇති ඡන්ද හෝ 1 ඉලක්කම පමණක් ඇති, 2,3 මනාප නැති ඡන්ද දෙවන වටේදී ගණින්න බැහැ නෙ. ඒ නිසා තුන් දෙනාගෙන් කෙනෙක්ට කතිර ගහපු ඡන්දත් ගණින්නේ නෑ දෙවන වටේදි.

එතකොට ගණින්නේ තුන් දෙනාගෙන් කෙනෙක්ට 1 ලකුණු කොට වෙනත් අයට 2,3 ලකුණු කරපු චන්ද පමණයි.

මේ ඡන්දවලින් යම් එකක 2 ඉලක්කම A හෝ B හෝ දෙදෙනාගෙන් කෙනෙක්ට දී ඇත්නම් ඒ ඡන්දය ඒ දෙන්නාගෙන් කෙනෙක්ට ගිය ඡනදයක් ලෙස ගන්නවා. මෙහිදී 2 ඉලක්කම A ටත් 3 ඉලක්කම B ටත් දීලා තිබ්බොත් එය Aට ලැබුන ඡන්දයක් විදියටයි ගනින්නේ.

2 වන මනාපය දීලා තියෙන්නෙත් හෝ හෝ දෙන්නාගෙන් කෙනෙක්ට නෙවෙයි නම් 3 වන මනාපයත් බලනවා. එය Aට හෝ Bට හෝ ගසා ඇත්නම් ඒ ඡන්දය ඒ අපේක් ෂකයාගේ ඡන්දයක් ලෙස ගන්නවා.

මේ විදියට දෙවන වටයේ ඡන්දයෙන් වැඩි ඡන්ද ලැබෙන තැනැත්තා ජනාධිපතිවරණය ජයගන්නවා.

ඒ නිසා යම් ජනාධිපතිවරණයක ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නෙක් පැහැදිලිව පෙනෙන්න ඉන්නා අවස්ථාවක​, ඔබ ඡන්දය දෙන්නේ තුන් වැන්නෙකුට නම්, ඒ අපේක්ෂකයාට 1 ලකුණු කර කැමති නම් වෙන දෙන්නෙකුට 2,3 ලකුණු කරන්න​. යම් ලෙසකින් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 ඉක්මවන්න බැරි වුනොත්, ඔබ 2,3 ලෙස ලකුණු කළ මනාප වැදගත් වන්න පුලුවනි.