Saturday, April 26, 2014

ලන්දේසින්ට අහිමි වූ කටුවන බලකොටුව

කටුවන බලකොටුවේ දොරටුව සහ කොටු පවුරේ කොටසක්
මාතර සිට හක්මණ හරහා වලස්මුල්ලට පැමිණ එහි සිට මිද්දෙනිය නගරය කරා ගමන් කරන්නෙකුට වලස්මුල්ලේ සිට කිලෝ මීටර පහලවක් පමණ දුරින් පිහිටි කටුවන නගරයට පැමිණිය හැක. වලස්මුල්ල දෙසින් නගරයට ඇතුලු වී තරමක් දුර ගිය තැන, වම් පැත්තෙන් වන කුඩා මාර්ගයකට හැරී මඳ දුරක් ගමන් කිරීමෙන් ඓතිහාසික කටුවන ලන්දේසි බලකොටුවවේ ප්‍රවේශ දොරටුව අසළට පැමිණිය හැක.

කටුවන ප්‍රදේශයේ ඉතිහාසය අනාදිමත් කාළයකට දිව යන බැව් අනුමාන කළ හැක. මහාවංශයේ සඳහන් වන අන්දමට 12 වන සියවසෙහි පරාක්‍රමබාහු රජු හා සටන් වැදුණ සුගලා දේවියගේ සෙබලු රැඳී සිටි ස්ථානයක් ලෙස කටුවන ප්‍රදේශය ගත හැක. වර්තමානයේ වුවද, කටුවන බලකොටුවේ පිහිටීම අනුව මෙම ස්ථානය මූලෝපායික වශයෙන් වැදගත් ස්ථානයක් වන්නට ඇති බැව් පැහැදිලි වේ.

කටුවන ලන්දේසි බලකොටුවේ ඓතිහාසික වැදගත්කම ඉහළ නංවන මූලික සාධකය වන්නේ එය රට අභ්‍යන්තරයෙන් පිහිටි වඩාත්ම හොඳින් ආරක්ෂා වී ඇති ලන්දේසි බලකොටුව වීමය. තවද, පුරාවෘත්ත සහ ඓතිහාසික මූලාශ්‍ර එකට ගැලපීමෙන් කටුවන බලකොටුවේ ඉතිහාසය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මවාගත හැක්කේය.

ලංකාවට 1505 සිට පැමිණි බටහිර ජාතීන් විසින් කෙමෙන් කෙමෙන් රටේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලාගන්නා ලද බැව් අපි දනිමු. සිය පාලන ප්‍රදේශයන් දේශීය මෙන්ම විදේශීය ප්ර්තිවාදීන් ගෙන් ආරක්ෂා කරගැනීම පිණිස ඔව්හු රටේ මූලෝපායිකව වැදගත්වන ස්ථානයන්හි බලකොටු ඉදි කළහ. පළමුවෙන් මෙසේ බලකොටුවක් ඉදි කරන ලද්දේ පෘතුගීසීන් විසින් කොළඹදීය. බොහෝ බලකොටු ඉදිකරවන ලද්දේ වෙරළබඩ ප්‍රදේශවලය. එහෙත් පසු කාලීනව, උඩරට රාජ්‍යයෙන් එල්ලවිය හැකි ප්‍රහාරවලින් මුහුදුබඩ ප්‍රදේශ ආරක්ෂා කිරීම මෙන්ම උඩරට ආක්‍රමණයකදී මූලස්ථාන ලෙස යොදා ගැනීම යන මූලික අරමුණු දෙකම පෙරදැරි කරගෙන උඩරට දේශසීමාව ආසන්නයේද බලකොටු ඉදිකරන ලදී. පෘතුගීසීන් විසින් මෙසේ ඉදිකළ බොහෝ බලකොටු අද වනවිට දක්නට නොලැබේ. මේ ඇතැම් බලකොටු ලන්දේසීන් විසින් වැඩිදියුණු කර ඇති අතර තවත් සමහර බලකොටු ඔවුන් විසින් අලුතෙන්ම ඉදි කරන ලදී. කටුවන, එසේ අලුතෙන්ම සෑදූ ලන්දේසි බලකොටුවකි.

1697 දී ඉදිකළ කටුවන බලකොටුව, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙලෙඳ සමාගමට අයත් වූ උතුරු දිග සීමාවේ, එනම් උඩරට රාජ්‍යයේ දකුණු දිග සීමාව ආසන්නයේ පිහිටවන ලද විශාලතම බලකොටුව වන්නේය. මෙම ස්ථානයේ මූලෝපායික වැදගත්කමට මූලික හේතුව වන්නේ බලකොටුව උඩරට කඳුකරයේ දකුණු සීමාවට මුහුණලා සිටීමයි. අද වනවිට රූස්ස ගස් වැවී තිබීම හේතුවෙන් බලකොටුවේ සිටින අයකුට බොහෝ දුර නොපෙනුනද, අතීතයේදී මෙම ස්ථානයට ඉතා ඈත ප්‍රදේශ මනාව දිස් වූ බව පුරාවෘත්තවල සඳහන් වේ.

1734 දී බලකොටුවට පැමිණි ලන්දේසි ඉතිහාසඥ යොහාන් වුල්ෆ්ගෑන්ග් හෙයිත් (Heydt), බලකොටුවේ එවක පැවති තත්ත්වය පිළිබඳ සඳහන් කරයි. ඔහු සඳහන් කරන අන්දමට බලකොටුව සමචතුරශ්‍රාකාර, කපරාරු කළ බිත්ති සහිත ගොඩනැඟිල්ලකි. එහි සමචතුරශ්‍රාකාර හැඩය මඳක් විකෘති වන්නේ ප්‍රතිමුඛ කොන් දෙකක වන මුරපලවල් (බැස්ටියන්) දෙකක් හේතුවෙනි. මේ එක් මුරපලක කාලතුවක්කු හය බැගින් වූ බැව් හෙයිත් සඳහන් කරයි.

බලකොටුවේ පැත්තක දිග අඩි 150 ක් වන අතර කොටු පවුර පිටතින් අඩි 20 ක් උසය. කොටු පවුර මත මංපෙත අඩි 10 ක් පළලින් යුතු බැව් හෙයිත් සඳහන් කරයි. බලකොටුවේ ඇතුලත චතුරශ්‍රාකාර මැද මිදුලක් වෙයි. කොටු පවුරට යාබදව පිහිටුවා ඇති ගොඩනැගිලි කිහිපයක පාදම් ද එහි දිස් වේ.
කටුවන බලකොටුවේ බිම් සැලැස්ම
හෙයිත්ගේ වාර්තාව අනුව බලකොටුවේ පිරිස් බලය 40 දෙනෙකුගෙන් පමණ සමන්විත වී ඇත. එහි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ සාර්ජන්ට්වරයෙකි. බලකොටුවේ දොරටුවෙන් ඇතුලු වන්නෙකුට ඔහුගේ දකුණු අත පැත්තෙන් කෙළවරේම දිස්වන ගොඩනැගිල්ල අණදෙන නිලධාරියාගේ නිල නිවසය. ඊට යාබදව ගබඩාවක් වන අතර එයින් වම් පසින් වෙඩි උණ්ඩ ගබඩාව සහ ඊටත් වම් පසින් වෙඩි බෙහෙත් ගබඩාව වේ. වෙඩි බෙහෙත් ගබඩාව පිහිටියේ දොරටුවට මුහුණලා ය. තවද එය තට්ටු දෙකකින් යුතු විය. ඊට වම් පැත්තෙන් හමුදා බැරැක්ක විය. දොරටුවෙන් වම් පැත්තේ ළිඳක් ද ඊට යාබදව වෛද්‍ය නිලධාරියාගේ කාර්යාලයද විය. බලකොටුවේ වැසි වතුර බැසයාමට ක්‍රමවේදයක් වූ බව සඳහන් ය.

කටුවන බලකොටුව ලන්දේසි හමුදා විසින් භාවිතා කළේ 1761 වනතුරු පමණි. එම වසරේදී සිදු වූ උඩරට ආක්‍රමණය අවස්ථාවේ බලකොටුව අත හැර දමන ලදී. පුරාවෘත්තවල සඳහන් අන්දමට මෙම ප්‍රහාරයේ පෙරමුණ ගත්තේ මඩුවන්වෙල දිසාවේගේ පරම්පරාවේ කෙනෙකි. ඔහු ජය සංකේතයක් ලෙස බලකොටුවේ ගේට්ටුව ගලවාගෙන ගියේය. එය මඩුවන්වල වලව්වේ ගේට්ටුවක් ලෙස සවිකොට ඇත.
ඇතුලත මැද මිදුල

බලකොටුව අත හැර දමන ලද පසු එය වනාන්තරයෙන් වැසී ගත්තේය. නමුත් පසු කාලීනව කටුවන නගරය කෙමෙන් කෙමෙන් ජනාකීර්ණ විය. 20 වන සියවසේ මුල් කාළයේ කටුවන රෝහල ඉදි කරන ලද්දේ කොටු පවුරට යාබදවය. පසු කාලීනව එය වෙනත් තැනකට ගෙනයන ලදී.

මේ අතර 2007 වසරේදී නෙදර්ලන්ත ආධාර ඇතිව කොටුවේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සිදුකරන ලදී. මේ අනුව ගරාවැටී තිබූ ප්‍රධාන ආරුක්කුව යථා තත්ත්වයට පත් කරන ලදී. තවද, කොටුපවුරේ ඉදිරි දොරටුව දෙසට වැටී ඇති මාර්ගය සකස් කොට එහි තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. ලංකාවේ ලන්දේසි බලකොටු සහ දකුණු පළාතේ ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයන්නකුට කටුවන බලකොටුව දැක බලාගැනීම වටිනා අත් දැකීමක් වනු ඇත.

Thursday, April 24, 2014

නැපෝලියන් අධිරාජයා යළි බලයට පැමිණීම​

ප්‍රංශයේ නැපෝලියන් අධිරාජයා 1814 අප්‍රේල් 11 වනදා ෆොන්ටෙන්බ්ලූ ගිවිසුම් ප්‍රකාරව සිහසුන අත හැරියේය​. (ඒ කොටස කියවන්න මෙතැනින්) එම මාසයේම 28 වනදා ෆ්‍රේයුස්වලින් නැව් නැංග හෙතෙම එල්බා දිවයින කරා ළඟා වූයේය​. මේ අතර XVIII වන ලුවී ප්‍රංශයේ අභිනව රජු ලෙස පත් වූයේය​.

1814 මැයි මස 30 වනදා ප්‍රථම පැරිස් ගිවිසුම ලෙස නම් කෙරුණ ගිවිසුම් කිහිපයක් මඟින් තාවකාලික සාම කොන් දේසි සඳහා එකඟතාවයක් ඇතිකරගන්නා ලදී. ඒ අනුව ප්‍රංශයට 1792 නොවැම් බර් 1 වනදා විප්ලවවාදී යුද්ධවලට පෙර තිබූ දේශසීමා නැවත ලැබිණ​. මේ අතර අවසාන කොන්දේසි පිළිබඳ එකඟතාවක් ඇතිකරගැනීම සඳහා වියානා නගරයේදී සම්මේලනයක් පැවැත්වීමට තීරණය කෙරිණ​.

සැප්තැම්බරයේදී වියානා සංගමය රැස්වූ කල්හි මිත්‍ර රටවල් තමන් දිනූ සාමය නැතිකරගැනීමේ කඩ ඉමට ළඟා වූහ​. රුසියාවේ පළමු ඇලෙක්සැන්ඩර් සාර් තෙමේ සමස්ථ පෝලන්තය ඉල්ලා සිටියේය​. ඔස්ට්‍රියාවේ විදෙස් ඇමති මැටර්නික්, ප්‍රංශ විදෙස් ඇමති ටැලිරන්ඩ් යන දෙදෙනාගේ සහය ඇතිව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාසල්රි මෙම ඉල්ලීමට තරයේ විරුද්ධ වූයේය​. මෙම රටවල් ත්‍රිත්වයම රුසියාවේ බලය යුරෝපයේ පැතිරීම කෙරෙහි බිය වූහ​. යම් ලෙසකින් රුසියාවට පෝලන්තයම ලැබුණි නම් රුසියානු දේශසීමාව ජර්මනිය අසළට පැමිණීම මඟින් මධ්‍යම යුරෝපයේම බල තුලනය අවුල් වීමට ඉඩ තිබිණ​.

මෙම මතගැටුම කෙතරම් දරුණු වීද යත්, 1815 ජනවාරි වනවිට උක්ත රටවල් තුන විසින්, රුසියාවට එරෙහිව යුධ වැදීම සඳහා 450,000 ක හමුදාවක් සූදානම් කිරීමට පවා එකඟ වූහ​. මේ අතර වියානා සාකච්ඡාද දිගටම සිදුවෙමින් පැවතින​.

නැපෝලියන් එල්බාවෙන් පිටවීම​ (Joseph Beaume)
මේ අතර 1815 මාර්තු 4 වනදා, වියානා නගරය බියෙන් ඇලලූ පුවතක් වාර්තා විය​. එනම් නැපෝලියන් එල්බාවෙන් පළාගිය පුවතය​.

වියානාවට මෙම පුවත ලැබෙද්දී නැපෝලියන් සිටියේ ප්‍රංශයේය​. එල්බාවට පිටුවහල් කළ දින පටන් හෙතෙම ඇඟිලි ගැන ගැන සිටියේ නැවත ප්‍රංශයේ බලය ලබාගන්නා දිනයක් එනතුරුය​. පිටුවහල් වී සිටියද වියානාවේ මිතුරු රටවල් අතර වූ මතභේද සහ ප්‍රංශ වැසියන් තුල මතුවෙමින් පැවති ඉච්ඡා භංගත්වය පිළිබඳ ඔහුට තොරතුරු ළඟා වෙමින් පැවැතියේය​. මේ හේතුවෙන් 1815 පෙබරවාරිය වනවිට යළි ප්‍රංශයට යෑමට ප්‍රශස්ථ කාළය එලඹ ඇති බැව් නැපෝලියන් තීරණය කළේය​.

මේ අනුව පෙබරවාරි 26 වනදා l'Inconstance නැව සහ තවත් යාත්‍රා හයකින් නැපෝලියන් සහ 600 ක් වූ ඔහුගේ පිරිස පෝර්ටෝ ෆෙරාජෝ වරායෙන් ප්‍රංශය බලා නැව් නැංගහ​. ප්‍රංශ මුර සංචාරක නෞකාවලින් ගැලවී මෙම කණ්ඩායම මාර්තු 1 වනදා ජුවාන් බොක්කට (Golfe-Juan) ගොඩ බැස්සෝය​.

නැපෝලියන් ප්‍රංශයට නැවත පැමිණීමේ තීරණාත්මක සිදුවීමක් 1815 මාර්තු 7 වනදා සිදු විය​. නැපෝලියන් සහ ඔහුගේ සෙනඟ ග්‍රෙනෝබල් නගරය අසබඩ වූ ලෆ්‍රෙ දුර්ගය වෙත ළඟාවූහ​. මෙම ස්ථානයේ රැඳී සිටියේ ප්‍රංශ හමුදාවේ 5 වන රෙජිමේන්තුවයි.

නැපෝලියන් ඉදිරියට එනු දුටු එම රෙජිමේන්තුවේ රාජාණ්ඩුවාදී නිලදරුවෙක්, "අන්න ඌ එනවා! වෙඩි තියාපල්ලා!" යයි අණ කළේය​.
නැපෝලියන් සිය අංගාරක්ෂක හමුදාවේ කර්නල් මැලේ (Mallet) දෙස හැරුණි.
"සෙබලුන්ට තුවක්කු කටවල් පහතට තියෙන ලෙස ඒවා වමත පිටිපස සඟවා ගන්නට කියන්න​" ඔහු අණ දුන්නේය​.
ඉක්බිතිව සිය පිරිසෙන් ඉදිරියට පැමිණි නැපෝලියන් ප්‍රතිවාදී හමුදා රෙජිමේන්තුව ඇමතීය​.
"5 වන රෙජිමේන්තුවේ සෙබලුනි. තොප මා දන්නෙහුද​? මම තොපේ අධිරාජයා වන්නෙමි. කැමැති අයෙක් වෙඩි තබව!"
එහෙත් සිදු වූයේ අනෙකකි. රෙජිමේන්තු සෙබලුන් අතරින් "අධිරාජයා දිනේවා!" යයි කාහල නාදයක් මතු වූයේය​. නැපෝලියන් එකදු වෙඩිල්ලකුදු නොතබා එම සටන දිනුවේය​.

අධිරාජයාගේ පුනරාගමනය පිළිබඳ ආරංචිය බුර්බන් රාජාණ්ඩුව කෙරේ කලකිරී සිටි ජනතාවගේ සිත් සතන් පිනා ගිය සුභාරංචියක් වූයේය​. නගරයක් නගරයක් පාසා ඔහුට ඉහළ ජනතා ප්‍රතිචාර ලැබිණ​. නැපෝලියන් පැරිස් නුවරට ළඟා වනවිට වන ලුවී රජතෙමේ සිය මහලු වයසට ද නුරුස්සන වේගයෙන් නගරයෙන් මෙන්ම ප්‍රංශයෙන් ද පළා ගියේය​. 1815 මාර්තු 20 වනදා, එනම් සිය පුත්‍රයාගේ සිව්වන ජන්ම දිනයදා, නැපෝලියන් අධිරාජයා යළි පැරිසියට ළඟා වූයේය​.

Sunday, April 20, 2014

කුරිරුබවේ ප්‍රතිමූර්තියක් පමණක්ම නොවූ ඇඩොල්ෆ් හිට්ලර්

අදින් වසර 125 කට පෙර ඔස්ට්‍රියාවේ ජර්මන් දේශසීමාබද බ්‍රවුනාවු ඇම් ඉන් නම් නගරයක පිරිමි දරුවෙක් උපන්නේය​. ඔහුට සාමාන්‍ය ජර්මන් නමක් වූ ඇඩොල්ෆ් යන නම තබන ලදී. ඔහුගේ ළමා කාලය එතරම් ප්‍රියමනාප එකක් නොවීය​. එසේම ඔහු පාසැලේදීද එතරම් දක් ෂ දරුවකු නොවීය​. නමුත්, අනෙක් ඔහු මෙන්ම නරක ළමා කාලයක් හිමිවූ බොහෝ අයට වඩා විශාල විනාශයක් මානව සංහතියට අත් කරදීමට හෙතෙම ක්‍රියා කළේය​. එහෙයින් මේ ජර්මන් ජාතිකයා කුරිරුබවේ ප්‍රතිමූර්තියක් බවට පත් වූයේය​. හේ නමින් ඇඩොල්ෆ් හිට්ලර් නම් විය​.

ඇතමෙකුට හිට්ලර් වැදගැම්මකට නැති විනාශකාරී මෘගයකු වූයේය​. තවකෙක්ට ඔහු කුසලතාවයෙන් හෙබි මුත් අවස්ථාවක් නොලදින් එම කුසලතා මොටවූ ආධුනික චිත්‍ර ශිල්පියෙක් විය​. ඇතමෙකුට ඔහු වීරයෙක් විය​. නමුත් සැබෑ කතාන්තරය එක් අන්තයකට බර නොවූ එකක් වීමට ඉඩ ඇත​. ඇතැම් විටෙක ඔහුට නියමාකාරයෙන් අවස්ථාව ලැබුණි නම් හිට්ලර් සහමුලින්ම වෙනස් පුද්ගලයකු වන්නට ඉඩ තිබිණ​. නමුත් එය කිසිවකුට නිශ්චිතව කිව නොහැක​.
1940 ජූනි මාසයේ සිය හමුදා පැරිසිය යටත් කරගෙන දින කිහිපයකින් හිට්ලර් එහි සංචාරය කළේය​. 1944 දී, පැරීසිය අහිමි වීමට ආසන්න වූ විට ඔහු නගරයේ වැදගත් ස්ථාන විනාශ කිරීමට අණ දුන්නේය​. ඒ ස්ථාන අතර අයිෆල් කුලුණ ද වූයේය​.

සිය තරුණ අවධියේ වසර කිහිපයක් හිට්ලර් ගතකළේ ජර්මනියේ මියුනික් නගරයේය​. එහිදී ඔහු බොහෝ ලෙස කියවීමට ඇබ්බැහි වූයේය​. නමුත් ඔහු කියවූයේ ඔහුට රිසි වූ අදහස්වලින් යුත් පොතපත පමණි. එහෙයින් ඔහු ලෝකය පිළිබඳ සමතුලිත වූ චින්තනයක් දියුණු කරගත්තේ නැත​. පසු කලෙක ඔහු ප්‍රචාරය කළාවූ සහ ක්‍රියාවට නැංවූ බොහෝ අදහස් හිට්ලර් තුල පැලපදියම් වන්නට ඇත්තේ මේ කාළයේය​. කෙසේ වුවද මෙකල ඔහු ගෙවූයේ ඉලක්කයක් නැති ජීවිතයකි. මිල මුදල් අතින් අපහසුතා තිබුණද ඒ පිළිබඳ වැඩි යමක් කිරීමට ඔහු අකැමති වූයේය​.

මේ හේතුව නිසාම පළමු ලෝක යුද්ධය හිට්ලර්ට වෙනත් විකල්පයක් විවර කළේය​. එනම් සොල්දාදුවකු වීමයි. යුද්ධය ඔහුව විරැකියාවෙන් මුදවාලූයේය​. යුද්ධය අවසන් වීමට කළකට පෙර ඔහු ප්‍රතිවාදීන් විසින් එල්ල කළ විෂ වායු ප්‍රහාරයකට ගොදුරු වූයේය​. ජර්මන් ජාතිකවාදීන් විසින් "පිටිපසින් පැමිණ පිහියෙන් ඇනීම​" ලෙස හඳුන්වා දෙන 1918 ජර්මන් විප්ලවය සිදුවන විට ඔහු සිටියේ රෝහලේය​. ඔහු එම විප්ලවයට දැඩිව වෛර කළේය​.

හිට්ලර් දේශපාලනයට එක් වූයේ 1919 දී ජර්මන් කම්කරු පක්ෂය (Deutsche Arbeiter Partei) සමඟ එක් වීමෙනි. එය ඉතා කුඩා පක් ෂයක් වූ අතර මේ නිසාම ඔහුට එහි නායකත්වයට ළඟා වීම අපහසු නොවීය​. ඔහුගේ දේශපාලන දිවියේ බොහෝ විට ඔහුට උපකාරී වූ ගුණාංග කිහිපයක් විය​. හිට්ලර් දැඩි මතධාරියකු විය​. යම් අදහසක එල්බ ගත්විට පහසුවෙන් එය වෙනස් නොකළේය​. මෙය ඔහුට බොහෝ විට උපකාරී වූයේය​. ඒ අතරම ඔහු සිය ප්‍රතිවාදීන් පිළිබඳව මනාව වටහා ගත්තේය​. ඔවුනගේ දුර්වලතා හඳුනාගෙන එයින් ප්‍රයෝජන ගැනීමට ඔහු පසුබට නොවීය​.

හිට්ලර්ට බලයට පැමිණීම සඳහා 1929 ආර්ථික අවපාතය කෙළින්ම උපකාරී වූයේය​. ජර්මන් ආර්ථිකය කඩා වැටීමෙන් ජනතාව පීඩාවට පත් වූ පසුබිමක​, හිට්ලර්ගේ ජාතික සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය නොහොත් නාසි පක්ෂය ජනතාව අතරේ වඩාත් ජනප්‍රිය වූයේය​. හිට්ලර් සිය ආවේගශීලී කථිකත්වය සහ දැවැන්ත ප්‍රචාරණය ඔස්සේ විශාල ජනකායක් සිය වසඟයට ගත්තේය​. ජර්මන් ජාතිය යළිදු ශ්‍රේෂ්ඨත්වයට ඔසවා තැබීමට ඔහු ප්‍රතිඥා දුන්නේය​.

බලයට පත් වූ පසු හිට්ලර් තමා සතුව තිබූ තුරුම්පු මනාව පාවිච්චි කළේය​. සාමය සඳහා ඇතැම්‍ යුරෝපා නායකයන් තුළ වූ කැමැත්තෙන් උපරිම පළ නෙලාගත් ඔහු එ එ වෙනුවෙන් විශාල මිලක් ලබාගත්තේය​. මේ කෙරෙහි බ්‍රිතාන්‍යය​, ප්‍රංශය මෙන්ම වෙනත් ඇතැම් රටවල නායකයින් ද අඩු වැඩි වශයෙන් වගකිව යුත්තාහ​.

දෙවන ලෝක යුද්ධය ආරම් භ වූ පසු ඔහු බටහිර පෙරමුණේ සටනේ මූලික ජයග්‍රහණයට බෙහෙවින් හේතු විය​. ඔහුගේ ජෙනරාල්වරුන් අපහසු යයි පැවැසූ ඇතැම් දේ ඔහුගේ හමුදා ඉටු කොට පෙන්වූය​. ප්‍රබල ප්‍රංශය දණගස්වන්නට ජර්මනියට ගතවූයේ මාසයකට මඳක් වැඩි කාළයක් පමණි. හිට්ලර්ගේ නිර්මාණශීලී, ගතානුගතික නොවූ හමුදා උපක්‍රම ප්‍රහාරක මෙහෙයුම්වලදී මහත් ප්‍රයෝජනවත් වූයේය​. මෙයින් සිදු වූයේ හිට්ලර්ට තම ජෙනරාල්වරුන් ගැන අවතක්සේරුවක් සහ තමන් පිළිබඳ අධිතක්සේරුවක් ඇතිවීමයි. මෙය පසු කාලීනව යුද්ධයේ පරාජයට බෙහෙවින්ම ඉවහල් වූයේය​.

යුද්ධයේ අවසාන මාසවලදී, පරාජය හමුවේ හිට්ලර් වියරු වැටුණේය​. කිසිත් නොරුස්සන​, ප්‍රකෝපකාරී ගතිගුණ නිරන්තරයෙන් මතුවන්නට විය​. වෙසෙසින්ම 1944 ජූලි 20 වනදා ඔහු ඝාතනයට කළ උත්සාහයෙන් පසු තත්ත්වය බෙහෙවින් දරුණු වූයේය​. තාර්කික අදහස් පිළිගන්නට ඔහු කිසිසේත් සූදානම් නොවීය​. අවසාන කාළයේ ඔහු තුළ වූයේ විනාශකාරී මානසිකත්වයකි. එහෙත් යුද්ධය අවසානයේ රුසියානු හමුදා සිය බංකරය අසළටම පැමිණෙන විට අන් සරණක් නැති බව දුටු හෙතෙම සියදිවි නසාගත් බව සැලකේ.

Saturday, April 19, 2014

නොම්පෙන්, කාම්බෝජය: 1975 අප්‍රේල් 17


1975 අප්‍රේල් 16 වනදා කැම්පූචියානු කොමියුනිස්ට් පක්ෂයේ (Communist Party of Kampuchea-CPK) ගුවන්විදුලිය මගින් පහත ආකාරයේ නිවේදනයක් නිකුත් විය.

ආදරණීය සහෝදරයිනි, සහෝදරියනි, කම්කරුවනි, තරුණයිනි, ශිෂ්‍යයිනි, ගුරුවරුනි, නිලධාරීනි. මේ ඔබේ අවස්ථාවයි. මේ අමතන්නේ අපගේ කාම්බෝජ ජනරජයේ ජාතික විමුක්ති හමුදාවයි. සහෝදරවරුනි, කැරලි ගසන්න; නැගී සිටින්න. නොම්පෙන් නගරය නිදහස් කරගැනීමේ අවස්ථාව ඔබ සතුයි.

-උපුටා ගැනීම Ben Kiernan විසින් ලියන ලද The Pol Pot Regime: Race, Power and Genocide in Cambodia under the Khmer Rouge, 1975-79. (Yale University, 1996)

නමුත් නොම්පෙන් වැසියන් එවකට සිටියේ අවශ්‍ය වුවත් කැරලි ගැසීමේ මානසිකත්වයෙන් නොවේ. තවමත් ඔවුන් සිටියේ කාම්බෝජ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද සමරමිනි. රටේ දේශපාලන තත්ත්වය විශාල විපර්යාසයකට භාජනය වන බව ඔවුන් නොදැන සිටියේ නොවේ. නමුත් ළඟ එන මහා විපත්තිය පිළිබඳ කිසිදු හැඟීමක් ඔවුනට නොවීය.

නොම්පෙන් නගරයට එල්ලවන තර්ජනය දරුණු අතට හැරෙන්නට පටන් ගත්තේ 1975 මුල් කාලයේ සිටය. මේ වනවිට කෙමර් රූජ් භටයෝ (කැම්පූචියා කොමියුනිස්ට් පක්ෂ සෙබළු) රටේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල සිය බලය පතුරා සිටියහ. 1975 පෙබරවාරියේ ඔවුහු නොම්පෙන් නගරයට කිලෝමීටර 10 ක් ගිනිකොණ දෙසින් මීකොන්ග් ගඟ අසබඩ පිහිටි නික් ලුන්ග් (Neak Leung) නගරයට පහර දීමට වන්හ. මෙම ප්‍රහාරය දියත් කලේ නැගෙනහිර කලාපයෙන් පැමිණි 126 වන කෙමර් රූජ් රෙජිමේන්තුවයි. (කැරලිකරුවෝ රටෙහි ප්‍රදේශ කලාපවලට බෙදාගෙන තිබුණි. මේවා නම් උතුර, ඊසාන, නැගෙනහිර, නිරිත, බටහිර, වයඹ සහ මධ්‍යම කලාපයි).

කුඩා නගරයක් වුවද, නික් ලුන්ග් නගරය නොම්පෙන්හි ආරක්ෂාවට ඉතා වැදගත් ස්ථානයක් විය. දකුණු වියට්නාමය සහ නොම්පෙන් අතර සැපයුම් මාර්ගය වැටී තිබුනේ මීකොන්ග් ගංගාව ඔස්සේය. එහෙයින් නික් ලුන්ග් අල්ලාගෙන එම සැපයුම් මාර්ගය කපා හැරීමට කෙමර් රූජ් භටයින්ට අවශ්‍ය විය. එම නගරය අල්ලාගත් පසු නොම්පෙන් ආරක්ෂා කිරීම අපහසු බව කවුරුත් දැන සිටියහ.

මේ වනවිට කාම්බෝජයේ භූමි ප්‍රමාණයෙන් විශාල කොටසක බලය කෙමර් රූජ් සංවිධානය අතට පත්ව තිබිණ. එම සංවිධානයට ග්‍රාමීය, දුප්පත් ගොවීන්ගේ සහය ලැබුණ අතර ඔවුනට බිය වූ බොහෝ දෙනා නගරවල ආරක්ෂාව සොයා පැමිණ තිබිණ. නොම්පෙන් නගරයේ ජනගහනය 1970 දී ලක්ෂ 6 ක් (600,000) පමණ වූ නමුත් 1975 වනවිට එය මිලියන 2 ක් හෙවත් ලක්ෂ 20 ක් (2,000,000)  වී තිබිණ. මේ ජනතාවට ආහාර සැපයීම කල නොහැක්කක් බවට පත්වෙමින් තිබුණි. මීකොන්ග් නදිය ඔස්සේ වූ සැපයුම් මාර්ග නගරයේ අවසන් බලාපොරොත්තුව විය.

එහෙත්, 1975 අප්‍රේල් 1 වනදා නික් ලූන්ග් නගරය කෙමර් රූජ් භටයන් අතට පත් විය. එදිනම කාම්බෝජ ජනපති ලොන් නොල් රට අතහැර පලා ගියේය. මේ අතර කෙමර් රූජ්වරු තුන් දිශාවකින් නොම්පෙන් දෙසට ගමන් කරන්නට වූහ. වැඩබලන ජනාධිපති සවුකම් කෝයි ද අප්‍රේල් 12 වනදා රටින් පලාගියේ ඇමරිකානු තානාපති නිලධාරින් සමගය. එයින් දින 5 කට පසු අප්‍රේල් 17 වනදා උදේ වරුවේ, කෙමර් රූජ් භටයෝ නොම්පෙන් අගනුවරට ඇතුළු වූහ.

සියලු කෙමර් රූජ් සේනාංක නොම්පෙන් නුවරට ඇතුලු වූ පසු හැසිරුනේ එකම අයුරින් නොවේ. ඇතැම් සේනාංක මධ්‍යස්ථ ලෙස හැසිරුණ නමුත් බොහෝ කණ්ඩායම් ඉතා දරුණු ලෙස කටයුතු කළහ. බොහොමයක් අවස්ථාවලදී හිටපු රජයේ හමුදා සෙබලුන් දුටු තැන ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක් කෙමර් රූජ් භටයින් අනුගමනය කළද, ඔවුනට අභය දානය දුන් අවස්ථාද වාර්තා විය.

කෙමර් රූජ් සංවිධානය විසින් එදින සිදු කරන ලද දැවැන්තම විපර්යාසය නම් නොම්පෙන් නගර වැසියන් ඉන් පිටමං කිරීමයි. මෙම තීරණය පිළිබඳව පවා සියලු කෙමර් රූජ් නායකයින් දැන නොසිටියහ. මෙම තීරණය පෙබරවාරි මාසයේදී පමණ ගන්නා ලද බව සැලකේ. නමුත් අප්‍රේල් 17 වනදා උදෑසන වනවිටත් ඒ පිළිබඳව නියමාකාරයෙන් දැන සිටියේ කෙමර් රූජ් නායක පොල් පොට් ප්‍රමුඛ ඉහළ පෙළේ නායකයන් පිරිස පමණි. කෙසේ වෙතත් එදින නොම්පෙන් නගරය යටත් වූ පසු මිලියන 2 ක ජනකායක් නගරයෙන් ඉවත් කිරීම ආරම්භ විය. බාල ,මහලු, ස්ත්‍රී, පුරුෂ, රෝගී, නිරෝගී භේදයකින් තොරව සියල්ලන්ම නගරයෙන් පිටවිය යුතු වූ අතර ඔවුනට යාමට සිදු වූයේ පයින්මය. නොම්පෙන් රෝහලේ රෝගීන් පවා මෙලෙස පිටමං කරන ලදී.

නගරයෙන් පිටත වූ මුරපොළවලදී නගරවාසීනට ඔවුන් යායුතු ප්‍රදේශ දන්වන ලදී. ඔවුන් සතුව තිබූ පොත් පත් සහ  නවීන සමාජයට අයත් බඩුබාහිරාදිය සියල්ල පවරා ගන්නා ලදී. පැරණි රජයේ නිලධාරීන් හෝ සෙබලුන් හෝ හසුවී නම් ඔවුන් වෙන්කරන ලද අතර ඉන්පසු ඝාතනය කෙරිණ. මේ අතර නගරයේ ගෙවල් දොරවල්වල වූ බඩුමුට්ටු එළියට ඇද ඒවා ගිනිතැබූ කෙමර් රූජ් භටයෝ ගෙවල්වල සැඟව සිටි අය ඝාතනය කළහ. නොම්පෙන් නගරයේ වැසියන්ගෙන් 20,000 ක් පමණ නගරය තුලදී සහ ගම්මානවලට සංක්‍රමණය වීමේදී මියයන්නට ඇතිබවට අනුමාන කෙරේ.

පොල් පොට් ප්‍රමුඛ කෙමර් රූජ් නායකත්වයට අවශ්‍ය වූයේ පැරණි සමාජය මුලිනුපුටා දමා අලුත් සමාජයක් නිර්මාණය කිරීමයි. ඔවුන්ගේ විප්ලවවාදී දිනදර්ශනයට අනුව 1975 අප්‍රේල් 17 වනදා 0 වන අවුරුද්දේ පළමු දිනය සහ නව සමාජයක් නිර්මාණය වීමේ සමාරම්භක දිනය වූයේය. මෙම නව සමාජය නිර්මාණය කිරීමේ විකාර එමෙන්ම කුරිරු වැඩපිළිවෙල 1979 ජනවාරි 7 වනදා නිමාව දකින විට, කාම්බෝජ ජනගහනයෙන් හතරෙන් එකක් එය විසින් බිලිගෙන තිබිණ.

Friday, April 18, 2014

1930 පාපන්දු ලෝක කුසලානය

යූල්ස් රිමේ

පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක් පැවැත්වීමේ අදහස 1904 ලෝක පාපන්දු සම්මේලනය (FIFA) ආරම්භ කරන අවධියේද පැවති නමුත් එම අදහස එකළ එතරම් ජනප්‍රිය නොවීය. ඊට ප්‍රධාන හේතුව වූයේ එකළ ඔලිම්පික් උළෙලෙහි පාපන්දු තරඟාවලිය ලෝක පාපන්දු කුසලානයක් හා සමාන ලෙස සැලකීමයි. එනිසා 1920 ගණන් වනතුරු පාපන්දු ලෝක කුසලානයක අවශ්‍යතාවය එතරම් නොදැනුණි.

නමුත් 1920 ගණන් වනවිට මේ තත්ත්වයේ වෙනසක් සිදු විය. මේ කාළය වනවිට චෙකොස්ලොවැකියාව, හන්ගේරියාව සහ ඔස්ට්‍රියාව වැනි රටවල වෘත්තීය පාපන්දු ක්‍රීඩකයන් බිහිවන්නට විය. එහෙයින් එම ක්‍රීඩකයනට ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ අවස්ථාව අහිමි වීමේ තත්ත්වයක් උද්ගත වූයේය. මක්නිසාද යත්, අන්තර්ජාතික ඔලිම්පික් සමුලුවේ (IOC) නීති රීති ප්‍රකාරව වෘත්තීය ක්‍රීඩකයන්ට ඔලිම්පික් උළෙලට සහභාගී වීමේ ඉඩකඩ නොමැති වීමයි. එහෙයින්, ඔලිම්පික් උළෙල සඳහා තමන්ගේ හොඳම කණ්ඩායම ඉදිරිපත් කිරීමට හැකියාවක් නොලැබීම පිළිබඳ එම රටවල් මැසිවිලි නගන්නට විය. මෙය IOC සහ FIFA අතර මතභේදයකටද හේතු විය. මේ අතර ඔලිම්පික් උළෙලට සහභාගී වන ඇතැම් දකුණු ඇමරිකානු කණ්ඩායම්වල ආධුනික ස්වාභාවය පිළිබඳද ගැටලු මතුවිය.

කෙසේ වුවද පාපන්දු ලෝක කුසලාන තරඟාවලියක් වෙනමම පැවැත්වීමේ අවශ්‍යතාව තදින්ම දැනෙන්නට වූයේ 1932 ඔලිම්පික් උළෙලෙන් පාපන්දු ක්‍රීඩාව ඉවත් කරනු ලැබීමත් සමඟය. එවර ඔලිම්පික් උළෙල පැවැත්වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නගරයේය. එක්සත් ජනපදයේ පාපන්දු ක්‍රීඩාව එතරම් ජනප්‍රිය නොවීම හේතුකොටගෙන සංවිධායකයෝ එම පියවර ගත්හ. ඒ සමඟම ලෝක පාපන්දු සම්මේලනයේ පාලනය යටතේ පැවැත්වෙන වෙනමම තරඟාවලියක අවශ්‍යතාවය මතු විය. මෙම අදහස ක්‍රියාත්මක කිරීමේ මූලිකත්වය ගත්තේ එවක ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වූ යූල්ස් රිමේ (Jules Rimet) ය. 1928 ඇම්ස්ටර්ඩෑම් නගරයේ පැවති FIFA සමුළුවකදී ඔහු විසින් මෙම අදහස ඉදිරිපත් කරන ලදුව ඡන්ද 25-5 ලෙස එම යෝජනාව අනුමත කරගන්නා ලදී.

නෙදර්ලන්තය, හන්ගේරියාව, ඉතාලිය, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ උරුගුවේ රාජ්‍යය පළමු පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීමට කැමැත්ත පල කළහ. නමුත් එම ගෞරවය හිමිවූයේ උරුගුවේ රාජ්‍යයටය. ඒ වනවිට එරට පාපන්දු ඔලිම්පික් ශූරයින්ද වූ අතර ලෝක කුසලානය පැවැත්වූ 1930 වසරේ එරට නිදහසේ ශත සංවත්සරයද යෙදී තිබිණ. එමෙන්ම එම රට ලෝක කුසලානය සඳහා සහභාගී වන සියලු කණ්ඩායම්වල ගමන් වියදම් දැරීමට කැමැත්ත පල කිරීමද එරටට එම භාග්‍යය ලැබීමට හේතු විය. මේ අතර මෙවන් තරඟාවලියක් පැවැත්වීමේ වියදම පිළිබඳ අවබෝධ වීම හේතුවෙන් අනෙක් රටවල්ද මුලින් තිබූ උනන්දුව පසුව දක්නට නොලැබිණ.

තරඟාවලියට සහභාගී වූයේ රටවල් 13 ක් පමණි. එයිනුත්, යුරෝපා රටවල් වූයේ හතරක් පමණි. යුරෝපයේ සිට ලතින් ඇමරිකාවට ගමන් කිරීම සඳහා ගතවන කාළය මීට බෙහෙවින් හේතු විය. යූල්ස්‌ රිමේ ප්‍රංශ ජාතිකයකු වූ නිසා එරටට කණ්ඩායමක් යැවීමෙන් වැළකීමට හැකියාවක් නොවීය. මේ අතර රුමේනියාව සිය පාපන්දු කණ්ඩායම උරුගුවේ රාජ්‍යයට යැව්වේ එරට පාලකයා වූ 2 වන කැරොල් රජුගේ පුද්ගලික මැදිහත්වීමෙනි. මීට අමතරව බෙල්ජියම සහ යුගොස්ලාවියාවද සිය කණ්ඩායම් ලෝක කුසලානය සඳහා සහභාගී කරවූහ.

මෙම පාපන්දු ලෝක කුසලානයේ සියලු තරඟ උරුගුවේ රටේ අගනුවර වන මොන්ටෙවීඩියෝ නගරයේදී පවත්වන ලද අතර මෙසේ එකම නගරයක සියලු තරඟ පැවැත්වූ පළමු සහ එකම පාපන්දු ලෝක කුසලානය බවටද මෙම තරඟාවලිය ඉතිහාසයට එක් විය. 1930 ජුලි 13 වනදා පළමු තරඟ ලෙස ප්‍රංශය සහ මෙක්සිකෝව අතර තරඟයත්, බෙල්ජියම සහ එක්සත් ජනපදය අතර තරඟයත් එකවිට ආරම්භ විය. ප්‍රංශය 4-1 ලෙසත්, එක්සත් ජනපදය 3-0 ලෙසත් එම තරඟ දෙකෙහි ජය වාර්තා කළහ. ලෝක කුසලානයක පළමු ගෝලය ප්‍රංශ ජාතික ලෝරන්ට් ලෝරන්ට් විසින් වාර්තා කෙරුණේ මෙක්සිකෝව සමඟ තරඟයේ 19 වන මිනිත්තුවේය.

ජූලි 30 වනදා මොන්ටෙවීඩියෝ නගරයේ ශත සංවත්සර ක්‍රීඩාංගනයේ (Estadio Centanario) පැවති අවසන් තරඟය සඳහා උරුගුවේ රට සහ යාබද ආර්ජන්ටීනාව සුදුසුකම් ලැබූහ. පළමු භාගයේදී 2-1 ලෙස ආර්ජන්ටිනාව ඉදිරියෙන් සිටි නමුත්, අවසානයේදී 4-2 ලෙස තරඟය ජය ලැබුවේ සත්කාරක උරුගුවේ රටය. මේ අනුව උරුගුවේ රාජ්‍යය පළමු පාපන්දු ලෝක ශූරයින් බවට පත්විය.

යුරෝපා රටවල සහභාගිත්වය අඩු මට්ටමක පැවතියද ප්‍රථම පාපන්දු ලෝක කුසලානය සාර්ථක තරඟාවලියක් ලෙස ඉතිහාසයට එක් වූයේය.

Monday, April 14, 2014

සිංහල අලුත් අවුරුද්ද සැබැවින්ම සිංහල නොවන්නේ ඇයි?

අපේ මිත්‍ර කාවින්ද විමර්ශනගේ වැඩක්...
මුලින්ම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අලුත් සිංහල​/දෙමළ අවුරුද්දේ මගේ පළමු සිංහල බ්ලොග් පෝස්ටුව ලියා තබන්නට අදහස් කළා.

මේ ලිපියට මූලික අඩිතාලම වැටුණේ මීට මාස තුනකට පෙර​, චීන ජාතිකයන්, චීන අලුත් අවුරුද්ද සමරන අවස්ථාවේ මගේ මිත්‍ර අරවින්ද කරුණාරත්න ඔහුගේ ෆේස්බුක් පිටුවේ ලියා තිබූ සටහනක්. ඔහු එයින් සඳහන් කළේ චීන ජාතිකයන්, ආගම් භේදයකින් තොරව අලුත් අවුරුද්ද සමරන බවත් ලාංකිකයනට එසේ කිරීමට අදටත් නොහැකිවී ඇති බවත්. අප පෞද්ගලිකව දන්නා කරුණක් නම්, බොහෝ සිංහල​, නමුත් බෞද්ධ නොවන අය​, අප්‍රේල් මාසයේ අවුරුද්ද සමරන්නේ නැති බවයි.

මා හට පෙනී ගිය මූලික කරුණුවලට අනුව​, මේ වෙනසට හේතු වී ඇත්තේ, චීන අලුත් අවුරුද්ද ශතවර්ශ ගණනක් නොව වසර දහස් ගණනක් පැරණි සම්ප්‍රදායක් වීම​. ඇත්තෙන්ම චීන ජාතිකයන් පවා හරියටම දන්නේ නැහැ කවදා මේ සම්ප්‍රදාය පටන් ගත්තාද කියන කාරණය​. නමුත් ලංකාවේ අපට සිංහල​/දමිළ අලුත් අවුරුද්ද ඊට වඩා බොහොම අලුත්.

පැරණි සිංහල සමාජය තුල මූලික ස්ථානයක් ගත්තේ වෙසක් උළෙල වැනි බෞද්ධ උත්සව විනා ජ්‍යෝතිශ්‍යය පදනම් වන උත්සව නොවේ. ඇත්තෙන්ම පුරාණ සිංහලේ යම් වර්ශ ක්‍රමයක් පැවතියේ නම් ඒ බුද්ධ වර්ශ ක්‍රමයයි.

හිරු දෙවියන් පිදීම වැනි පාරම්පරික උත්සව මෙරට තුළ නොපැවතියේ යයි මින් අදහස් වන්නේ නැහැ. කෘෂිකාර්මික සමාජයක අස්වනු නෙලීම හා ආශ්‍රිත උත්සව පවතින්නට ඇති. සිංහල​/දෙමළ අවුරුද්ද වුනත් ඇතැම්විට පැරණි ලංකාවේ සමරන්න ඇති. නමුත් පැරණි සිංහල සමාජය මූලිකම තැන දුන්නේ බෞද්ධ උත්සවවලට බව පැහැදිලියි.

සිංහල​/දෙමළ අවුරුද්ද සැමරීම නූතන ලාංකික සමාජයට එකතු වන්නේ මීට අවුරුදු 100 කට ටිකක් එපිට සිට​. ඒ ලංකාවේ ජාතික ව්‍යාපාරයේ පිබිදීමත් සමඟයි. සියලු ලාංකිකයනට එකාවන්ව සමරන්නට පිළිවන් ජාතික උත්සවයක් ලෙස තමයි මෙය යළි පුබුදුවාලන ලද්දේ. නමුත් මෙය ජ්‍යෝතිශ්‍යය පදනම් කරගත් උත්සවයක් නිසා වැඩි කලක් නොයාම එය බෞද්ධ සහ හින්දු උලෙළක් බවට පත් වුනා. මේ පිලිබඳව මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසයන් පළකරන අදහස් මේ සාකච්ඡාවෙන් ඔබට කියවන්න පුලුවන්.

ඇතම්විට​, අතීතයේ ලංකාවේ යම් අවුරුදු උළෙලවල් තියෙන්න ඇති. බුදුදහම පැමිණීමත් සමඟ ඒවා යටපත් වන්නට ඇති. මොකද​, බුදුදහම සහ ජ්‍යෝතිශ්‍යය වෙනමම ධාරාවන් දෙකක් නිසා.

Sunday, April 13, 2014

නැපෝලියන් පළමුවරට සිහසුන අතහැරීම​

වසර 200කට පෙර 1814 අප්‍රේල් 11 වනදා ප්‍රංශයේ පැරිස් නගරබද ෆොන්ටෙන්බ්ලූහිදී අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව (Treaty of Fontainebleau) නැපෝලියන් බොනපාට් අධිරාජයා සිහසුන අතහැර එල්බා දිවයිනට පිටමං වූයේය​. මේ අනුව ප්‍රංශෙයෙහි යළිදු බූර්බන් රාජවංශය බලයට පැමිණි අතර මීළඟ වසරකට ආසන්න කාළයක් තුළ නැපෝලියන් එල්බාවට වී හුන්නේය​. 1815 දී හෙතෙම යළිදු ප්‍රංශයට අවුත් බලයට පත්වූ නමුත් එම වසරේ ජුනි මාසයේ සිදුවූ වෝටර්ලූ සංග්‍රාමයෙන් පැරද සදහටම ප්‍රංශයෙන් පිටුවහල් කරනු ලැබීය​.
නැපෝලියන් ෆොන්ටන්බ්ලූහිදී සිහසුන අතහරී. (ප්‍රංශුවා බොවුශෝගේ චිත්‍රයකි)

සමකාලීන යුරෝපයේ නැපෝලියන් හා සම කළහැකි සෙන්පතියකු වී නම් ඒ ඉංග්‍රීසි ජාතික ආතර් වෙලෙස්ලි නොහොත් වෙලිංටන් සාමි පමණකි. තවද​, නැපෝලියන් යනු හුදෙක් සෙන්පතියකු පමණක් නොව දක් ෂ පරිපාලකයකුද වූයේය​. එම ගුණාංගය සටන් බිමේ මෙන්ම රාජ්‍ය පාලනයේදීද එකසේ වැදගත් වූයේය​.

උදාහරණයක් ලෙස ගතහොත්, නැපෝලියන් සටනකදී යොදාගත් සන්නිවේදන ක්‍රමවේදය හේතුවෙන් ඔහු යටතේ වූ සෙසු සෙන්පතීන්ට අධිරාජයා තමාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න මනාව පැහැදිලි විය​. මෙහිදී නැපෝලියන් පළමුවෙන්ම කරන්නේ තමන් සටන් වදින ප්‍රදේශයේ භූගෝලීය පිහිටීම පිළිබඳ මනා වැටහීමක් ලබා ගැනීමය​. ප්‍රතිවාදියා පහර දිය හැකි ස්ථාන​, ප්‍රතිවාදියාට පහර දියහැකි ස්ථාන මෙන්ම හදිසි උපක්‍රමික පසුබෑමක් සඳහා සුදුසු මාර්ගය යනාදී සියලු කරුණු ඔහු මෙහිදී ධාරණය කරගන්නේය​. ඔහු සටනට බසින්නේ ඉන්පසුවය​. යුධ ව්‍යාපාරයකදී ඔහු සටන් පෙරමුණෙන් ලැබෙන තොරතුරු රාත්‍රී කාළයේදීම පිරික්සා බලා අදාළ උපදෙස් හිමිදිරිය වන විට අදාළ සෙන්පතීනට දැනුම් දීමට කටයුතු කළේය​. අදාළ ප්‍රදේශය පිළිබඳ ඔහුගේ අවබෝධය හේතුකොටගෙන ඔහු අවශ්‍ය ඕනෑම ආකාරයේ තත්ත්වයක් සඳහා උපදෙස් දීමට හැකියාව ලද්දේය​.

මෙම ක්‍රියාවලිය තුළවූ එක්තරා දුර්වලතාවයක් විසින් ඔහුගේ යුධ ව්‍යාපාරය දුර්වල කරන ලදී. එනම්, සටන් බිමේ සියලු කටයුතු ඔහු විසින් ම සොයාබැලීම හේතුවෙන් හදිසි අවස්ථාවකදී කටයුතු කිරීමේ නිදහස ඔහු යටතේ වූ සෙන්පතීනට නොමැති වීමය​.

නමුත් රාජ්‍ය පාලනයේදී ඔහු ඊටත් වැඩි වරදක් කළේය​. නැපෝලියන් තමන්ට බලයට ඒමට උපකාර කළාවූ විප්ලවයට පිටුපෑවේය​. මෙය ඔහුගේ විනාශයට මඟ විවර කළේය​. 1792 දී ප්‍රංශ විප්ලවවාදීන් යුරෝපයේ විප්ලවවාදී යුද්ධවලට මුලපිරුවේ සියලු රජවරුනට එරෙහිව සාමාන්‍ය ජනතාවගේ පැත්ත ගනිමිනි. මෙම යුද්ධවලට නායකත්වය දීමෙන් නැපෝලියන් කැපී පෙනෙන්නකු බවට පත් විය​. විප්ලවය නොවන්නට කෝසිකානු පවුලක උපන් නැපෝලියන් කිසිදු දිනෙක එතරම් ඉහලට නොයන්නේය​.

කෙසේ නමුදු, බලයේ හිණිපෙත්තට නැංඟ පසු නැපෝලියන් විමුක්තිදායකයකු නොව තවත් අධිරාජයෙක් බවට පත් වූයේය​. යුරෝපා රටවල ප්‍රංශ අණසක පතුරවා, ඇතැම් රටවල සිහසුනට සිය සහෝදරයින් පත් කිරීම ඔහු කළාවූ වරදකි. මෙයින් සිදුවූයේ ඒ ඒ රටවල සාමාන්‍ය ජනයා ප්‍රංශ ජාතිකයන්ව සහ වෙසෙසින්ම නැපෝලියන්ව සිය සතුරකු ලෙස සැලකීමය​. මේ තත්ත්වය වර්ධනය වීමෙන් 1814 වනවිට ප්‍රංශයෙන් එපිට යුරෝපයේ සාමාන්‍ය ජනයාගේ පවා පොදු සතුරකු බවට ඔහු පත් විය​.

1812 රුසියාව ආක්‍රමණයේදී මෙන්ම ඉන් පෙර 1808 සිට දිගටම පැවති අර්ධද්වීප යුද්ධයේදීද නැපෝලියන් ගේ පරාජයනට මූලිකම හේතුව වූයේ ජනතාව ඔහුට එරෙහිව නැගී සිටීමය​. යම් හෙයකින්, එම රටවල ජනතාව සිය පාලක පැළැන්තියට එරෙහිව නැපෝලියන් සමඟ අත්වැල් බැඳගත්තේ නම් යුරෝපා ඉතිහාසය බොහෝ සේ වෙනස් වීමට ඉඩ තිබිණ​.

තවද​, නැපෝලියන් වටහා නොගත් අනෙක් කරුණ වූයේ බ්‍රිතාන්‍ය වෙළෙඳ සහ නාවික ආධිපත්‍යයට එරෙහිවීමට ඔහුට පවතින ඉඩකඩ බෙහෙවින් අඩු බවය​. ඔහු විසින් බ්‍රිතාන්‍ය වෙළෙඳාම වර්ජනය කරනු පිණිස 'මහාද්වීපික ප්‍රතිපත්තිය​' හඳුන්වා දුන්නේ වී නමුදු, බ්‍රිතාන්‍යය හා වාසිදායක වෙළෙඳාම් සිදුකළ රටවල් එම ප්‍රතිපත්තිය කෙරෙහි නම්මා ගැනීම අසීරු විය​. මෙය එම ක්‍රියාවලිය විහිලුවක් බවට පෙරලුවේය​.

රුසියානු ආක්‍රමණයෙන් පසු නැපෝලියන් සතුවූ හමුදා බලය ඉතා පහළ අඩියකට වැටිණ​. වෙසෙසින්ම ඔහුගේ අසරු බලසෙනඟ ඉතා දුර්වල තත්ත්වයකට පත් විය​. 1813 ඔක්තෝම්බරයේදී ලීප්සිග් සටන හෙවත් ජාතීන්ගේ සංග්‍රාමයේදී නැපෝලියන් ප්‍රථම වරට සටනකින් පැරද පසු බැස්සේය​. මින් පෙර ඔහු පසුබැස්සා නම් ඒ වෙනත් කරුණක් නිසා මිස සටනකින් පැරදීම නිසා නොවේ. ඔහු ඍජුවම අණ දුන් හමුදාවක් සටනකින් පැරදුන පළමු වතාව එය වූයේය​. ඔහුගේ මිතුරන් එකින් එක ඔහු හැර යන්නට වූහ​. අවසානයේ 1814 වසර එළඹෙනවිට නැපෝලියන්හට යුරෝපයේ වෙනත් මිත්‍රයෙක් නොවීය​.

'සයවන මිත්‍ර සන්ධානය​' ඔහුට එරෙහිව විශාල හමුදා සේනාංක කිහිපයක් එව්වේය​. මෙම සන්ධානයට ඔස්ට්‍රියාව​, රුසියාව​, ප්‍රෂියාව​, එක්සත් රාජධානිය​, පෘතුගාලය​, ස්වීඩනය සහ ස්පාඤ්ඤය මෙන්ම අවශේෂ කුඩා ජර්මන් රාජ්‍යයන් කිහිපයක්ම අයත් වූහ​. මෙයින් ස්වීඩනය සහ ඇතැම් ජර්මන් රාජ්‍යයන් මුලින් නැපෝලියන් සමඟ සිට පසුව වාසි පැත්තට පැන්නෝ වූහ​. ඔව්හු ප්‍රංශ දේශසීමාව පසුකර ඉදිරියට පැමිණියහ​. ආධුනික සෙබලුන් ගෙන් සැදුම්ලත් හමුදා සේනාංක මෙහෙයවමින් නැපෝලියන් සතුරාට පහර දුන්නේය​. ඔහු සටන් කිහිපයකින්ම ජයගත් අතර ඊට හේතුව ඔහු නැපෝලියන්ම වීම මිස අනෙකක් නොවේ. වෙනත් සෙන්පතියකු වී නම් එතෙක් කාළයක් ඒ සා විශාල හමුදා සේනාංක කිහිපයකට මුහුණ දෙන්නේ නැත​.

කෙසේ නමුත් අවසන් ප්‍රතිපලය පිළිබඳ කිසිදු සැකයක් නොවීය​. ඔහුගේ සෙනවියන් ද එකිනෙකා ඔහු හැරයද්දී නැපෝලියන්හට යටත් වීම හැර විකල්පයක් නොවීය​. මේ අනුව 1814 අප්‍රේල් 11 වනදා ඔහු ෆොන්ටෙන්බ්ලූ ගිවිසුමට අත්සන් කළේය​.ගිවිසුමට අනුව එල්බා දිවයින ඔහුගේ පාලනය යටතේ පවතින ස්වාධීන ප්‍රදේශයක් ලෙස නම් කරන ලදී.

කෙසේ වුවද වසරක් තුළ​, නැපෝලියන් යළි ප්‍රංශයට ගොඩබැස නැතිවූ අධිරාජ කිරුළද නැවත ලබාගත්තේය​. ඒ වෙනමම ලිවිය යුතු කතාන්තරයකි.