Tuesday, April 30, 2013

විලෙම්-ඇලෙක්සැන්ඩර්, නෙදර්ලන්තයේ අලුත් රජතුමා.


අද නෙදර්ලන්තයේ ජාතික දිනය වන "රැජිනගේ දිනයේදී" එරට කිරුළ දරන බියට්‍රික්ස් රැජින රජකමෙන් ඉවත්වූ අතර ඇගේ වැඩිමහල් පුත් විලෙම්-ඇලෙක්සැන්ඩර් රාජ්‍යත්වයට පත් විය. ඒ අනුව වසර 123 කට පසු නෙදර්ලන්තයේ රජකමට පත්වන පළමු රජතුමා බවට එතුමා පත් වූයේය. මක්නිසාද යත්, 1890 සිට වසර 123 ක කාලයක් නෙදර්ලන්තයේ රජකම දැරූයේ රැජිනියන් තිදෙනකු බැවිනි.

සාමාන්‍යයෙන් නෙදර්ලන්තයේ ජාතික දිනය වන්නේ රැජිනගේ හෝ රජුගේ හෝ උපන් දිනයයි. එදිනට එරට ජනතාව සිය නිවෙස්වල ජාතික ධජ ඔසවන අතර විවිධාකාර සාම්ප්‍රදායික උත්සව පවත්වති. දැනට 75 වන වියෙහි පසුවන බියට්‍රික්ස් රැජින උපන්නේ 1938 ජනවාරි 31 වනදාය. ඒ අනුව නෙදර්ලන්තයේ ජාතික දිනය විය යුතුව තිබුනේ ජනවාරි 31 වනදාය. නමුත් ජනවාරි මාසය ශීත කාලයේ එළඹෙන බැවින් එළිමහන් උත්සව පැවැත්වීමේ අපහසුවක් පවතින නිසා අප්‍රේල් 30 වනදා රැජිනගේ දිනය ලෙස බියට්‍රික්ස් රැජිනගේ පාලන කාලය තුලද සලකන ලදී. ඇයට පෙර එරට රාජ්‍යත්වය දැරූ ඇගේ මව වූ ජුලියානා රැජිනගේ ජන්ම දිනය වූයේ අප්‍රේල් 30 වනදාය. 1948 සිට කිරුළ දැරූ එතුමිය 1980 දී සිය දියණියට රාජ්‍යය පවරා සිහසුනින් ඉවත් වූවාය.

විලෙම්-ඇලෙක්සැන්ඩර් කුමරු උපන්නේ 1967 අප්‍රේල් 27 වනදාය. ඒ එවකට කිරුල හිමි ඔරේන්ජ්හි කුමරිය හෙවත් බියට්‍රික්ස් කුමරියගේ සහ ඇම්බර්ග්හි ක්ලවුස් කුමරුගේ පළමු දරුවා ලෙසය. (එංගලන්තයේ කිරීටභාජී කුමරා හෝ කුමරිය වේල්ස්හි කුමරා හෝ කුමරිය හෝ ලෙස හැඳින්වෙන ලෙසම නෙදර්ලන්තයේ හැඳින්වෙන්නේ ඔරේන්ජ්හි කුමරා සහ කුමරිය ලෙසය). 1851 තුන්වන විලියම් රජුගේ පුත්‍රයා වූ ඇලෙක්සැන්ඩර් කුමරුගේ උපතින් පසු නෙදර්ලන්ත රජ පවුලෙහි උපන් පළමු කුමරුවා වූයේ ඔහුය. කෙසේ වෙතත් 1968 දී සහ 1969 දී විලෙම්-ඇලෙක්සැන්ඩර් කුමරුවාට යොහාන් ෆ්‍රිසෝ සහ කොන්ස්ටන්ටින් යන සහෝදර කුමාරවරුන් දෙදෙනකු ලැබිණ.

නෙදර්ලන්තයේ සහ වේල්සයේ මූලික අධ්‍යාපනය හැදෑරීමෙන් පසු 1985-1987 සමයේ නාවික හමුදාවට බැඳී පුහුණුව ලද විලෙම්-ඇලෙක්සැන්ඩර් කුමාරයා 1987 දී ජර්මනියේ ලෙයිඩන් සරසවියට ඇතුළු වී 1993 දී උපාධිය සම්පූර්ණ කළේය. මේ අතර 1988 දී යලිත් නාවික පුහුණුව ලද ඔහු ලුතිනන්වරයකු (කනිෂ්ඨ ශ්‍රේණිය) බවට පත් විය. පසු කලෙක ඔහු ත්‍රිවිධ හමුදාවේම අතිරේක හමුදාවල විවිධ නිලයන්වලට උසස් කරන ලදී.



බියට්‍රික්ස් රැජින සමඟ එවකට ඔරේන්ජ්හි කුමරා සහ කුමරිය වූ විලෙම්-ඇලෙක්සැන්ඩර් සහ මැක්සිමා යුවල. වඩා පැහැදිව පෙනෙන්නේ කුමරා සහ කුමරියයි. (the dutch royal family loves me!, Pixel Addict, Flickr)

විලෙම්-ඇලෙක්සැන්ඩර් කුමරු 2002 වසරේ විවාහ වූයේ ආර්ජන්ටිනා ජාතික තරුණියක වූ මැක්සිමා සොරෙගුඑටා සෙරුටි සමඟය. ඈ අයිබීරියානු වංශවත් පවුල් කිහිපයකටම නෑදෑකම් කියන තැනැත්තියක වන අතර ඇගේ පියා 1979-81 සමයේ එරට කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර ඇමති විය. එහෙයින් එකල සිදුවූ මානව හිමිකම් කඩවීම් පිළිබඳ ඔහුද යමක් දැනගෙන ඉන්නට ඇතැයිද චෝදනාවක් විය. ඔහුට එරෙහිව එල්ලවිය හැකි විරෝධතා හේතුවෙන් විලෙම්-ඇලෙක්සැන්ඩර් සහ සිය දියණිය අතර විවාහය දැක ගැනීමට පියා නාවේය. ඔවුන් විවාහ වූයේ ඇම්ස්ටර්ඩෑම් නගරයේ නියු කර්ක් (අලුත් පල්ලිය) හිදී ය. ඔවුනට දියනියෝ තිදෙනෙක් වෙති. විලෙම්-ඇලෙක්සැන්ඩර් රාජ්‍යත්වයට පත්වීමත් සමඟම 9 හැවිරිදි කැතරිනා-අමාලියා කුමරිය ඔරෙන්ජ්හි කුමරිය බවට පත් වූවාය.

බියට්‍රික්ස් රැජින සිහසුන අතහරින බවට නිවේදනය කලේ ඇයට වයස අවුරුදු 75 සම්පූර්ණ වීමට දින තුනක් තිබියදීය. එනම් 2013 ජනවාරි 28 වනදාය. නියමිත දිනයේ (අප්‍රේල් 30) ඇම්ස්ටර්ඩෑම් රාජමාලිගයේදී රැජින සිහසුන අතහැරීමේ තීන්දුවට ඈ අත්සන් කළාය. ඉන්පසු අලුත් රජතුමා රාජ්‍යත්වට පත්කරගන්නා ලදී. ඉනික්බිති, මාලිගය අසලම පිහිටි නියු කර්ක් හිදී අලුත් රජතුමා පත්කරගනු ලැබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාපිත රාජාණ්ඩුවක් වන නෙදර්ලන්තයේ රජු හෝ රැජින හෝ නාම මාත්‍ර පාලකයකු පමණි. එහෙයින් ඔහුට කිසිදු බලයක් නැත්තේය. නමුත් එය එසේම යයි කීමටද නොහැක. මහ මැතිවරණයකට පසු අලුත් ආණ්ඩුවක් පිහිටුවද්දී ඔහුට/ඇයට යම් කාර්යභාරයක් වේ. එමෙන්ම ජනතාව අතර ප්‍රසාදයක් දිනාගතහොත් රට තුල මෙන්ම රටෙන් පිටත ද ඇතැම් කරුණුවලට ඍජුව සහ ඵලදායී ලෙස මැදිහත් වීමට රජතුමාට හැකි වේ. මේ වනවිටද, සිය ජනප්‍රියත්වය වර්ධනය කරගනු පිණිස රට පුරා සංචාරය කිරීමට අභිනවයෙන් පත් වූ රජතුමා සහ රජ බිසව බලාපොරොත්තු වෙති.

රටක රජු, සිය රටෙහි තානාපතිවරයෙක් ලෙස වැදගත් කාර්යයක් ඉටු කල හැකි චරිතයකි. නෙදර්ලන්තයේ පසුගිය ශතවර්ෂයකට අධික කාලයක් රාජ්‍යත්වය දැරූ රැජිනියන් තිදෙනා විසින්ම එම කාර්යය මනාව ඉටු කෙරින. විලෙම්-ඇලෙක්සැන්ඩර් රජතුමා ජල කළමනාකරණ ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වන අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකුද වෙයි. 2028 වසරේ ඔලිම්පික් තරඟාවලිය නෙදර්ලන්තයට ලබා ගැනීම (1928 ඇම්ස්ටර්ඩෑම් ඔලිම්පික් උළෙලෙහි ශත සංවත්සරය වෙනුවෙන්) කෙරෙහි අවධානය යොමු වී ඇති අවස්ථාවක ඔහුගේ දායකත්වය වැදගත් වනු ඇත.

Monday, April 29, 2013

අනගාරික ධර්මපාල 80 වන ගුණ සමරුව.


ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනරුදය සඳහා මහත් වූ සේවයක් කල අනගාරික ධර්මපාලයන්ගේ 80 වන ගුණ සමරුව අද දිනට යෙදී තිබේ. ලාංකික ජනතාව යටත් විජිතවාදයෙන් බැට කමින් සිටින යුගයක එයින් ඔවුන් මුදවා චින්තනමය විප්ලවයක් ඇති කිරීම සඳහා යොමු වූ කිහිප දෙනාගෙන් එක් කැපී පෙනෙන අයකු ලෙස එතුමා අවිවාදයෙන් පිළිගනු ලැබේ. තවද, එතෙර රටවල බෞද්ධාගම ප්‍රචලිත කිරීමේ මෙන්ම ඉන්දියාවේ බෞද්ධ උරුමය රැකගැනීමේද නියමුවකු ලෙස ධර්මපාලතුමා සලකනු ලැබේ.

ධර්මපාලතුමාද රුහුණට සම්බන්ධකම් කියන ජාතික නායකයකු විය. ඔහුගේ පියා දොන් කරෝලිස් හේවාවිතාරණ වූ අතර මව මල්ලිකා හේවාවිතාරණ නම් වූවාය. පියාගේ උපන් ගම වූයේ මාතර හිත්තැටියයි. 1864 සැප්තැම්බර් 17 වනදා උපන් ධර්මපාලයන්ට දෙමාපියන් විසින් තබන ලද නම වූයේ දොන් ඩේවිඩ් හේවාවිතාරණ යන්නයි.

කුඩා දොන් ඩේවිඩ් අධ්‍යාපනය ලබන සමයෙහි ලංකාවේ තිබුනේ ක්‍රිස්තියානි මිෂනාරි පාසල් සහ රජයේ පාසල් කිහිපයක් පමණි. රජයේ පාසල්වලද ඉගැන්වූයේ බටහිර අධ්‍යාපනයයි. කෝට්ටේ ක්‍රිස්තියානි පාසල, කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ එවකට කොළඹ ඇකඩමිය නමින් හැඳින්වූ කොළඹ රාජකීය විද්‍යාලයෙන්ද ඔහු ලැබුයේ බටහිර පන්නයේ අධ්‍යාපනයකි. කෙසේ වුවද එහි වාසිය වූයේ ඔහුට ඉංග්‍රීසි භාෂාව සහ බටහිර ශිෂ්ටාචාරය පිලිබඳ මනා අවබෝධයක් එතුලින් ලැබීමයි.




පරම විඥානාර්ථ සංගමයේ නිර්මාතෘවරයකු වූ කර්නල් ඕල්කට් ලංකාවට පැමිණියේ 1880 දීය. ඔහුගේ භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කිරීමට තරුණ දොන් ඩේවිඩ් හේවාවිතාරණ වරම් ලැබීය. එමගින් ඔහු බුදු දහම සහ ලංකාවේ එය පත්ව ඇති තත්ත්වය පිලිබඳ මනා වැටහීමක් ලබාගන්නට ඇත. සුළු කලකින් ලංකාවේ බෞද්ධ පුනරුද ව්‍යාපාරයට ක්‍රියාකාරීව සම්බන්ධ වූ හෙතෙම සිය ඉංග්‍රීසි පන්නයේ නම ඉවත ලා ධර්මපාල යන නාමය ආරූඪ කරගත්තේය.

කෙසේ වුවද අනගාරික ධර්මපාලතුමා පරම විඥානාර්ථ සංගමය සමඟ දිගටම සම්බන්ධ වී නොසිටියේය. එතුමා ජාතික වීරයකු බවට පත් වූයේ වෙනත් අරගලයක් හේතුවෙනි. එනම් බුද්ධගයාව බේරා ගැනීමේ සටනයි. 1891 දී බුද්ධගයාව දැක බලාගැනීමට ගිය හෙතෙම එය පත්ව ඇති තත්ත්වය දැක කම්පාවට පත් වී බුද්ධගයාව බෞද්ධයනට යලි ලබා ගැනීම සඳහා සටනක් ඇරඹීය. "සිංහලයිනි නැගිටියව්! බුද්ධගයාව බේරා ගනිව්!" යන්න ඔහුගේ සටන් පාඨය විය. බුද්ධගයාව වෙනුවෙන් නඩු මගට බස්සද දීර්ඝ නඩු විභාගයකින් පසු 1906 දී එතුමා පරාජයට පත් විය. ඉංග්‍රීසි පාලන සාමය තුල බුද්ධගයාව බෞද්ධයනට උරුම වූයේ නොවේ. 1949 සම්මත වූ "බුද්ධගයා පනත" මගින් එය බෞද්ධ-හින්දු ඒකාබද්ධ කමිටුවක පාලනයට ගෙනෙන ලද්දේ නිදහස් ඉන්දියාවේ ආණ්ඩුවයි.

1891 ඇරඹි ඉන්දියාවේ මහාබෝධි සංගමය ඔස්සේ ඉන්දියාවේත්, එංගලන්තයේත් බුදු දහම ප්‍රචලිත කිරීමට ධර්මපාලතුමා, ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් ප්‍රමුඛ පිරිසක් මුල පිරූහ. මේ අතර 1893 චිකාගෝවේ පවතී ලෝක ආගම් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ධර්මපාලතුමා භාග්‍යය ලැබීය. එහිදී ඔහු බුදු දහම පිළිබඳ බටහිර ජාතීන්ට ගැලපෙන සේ දේශනයක් කළේය. නවීන විද්‍යාව, ක්‍රිස්තියානි ධර්මය යනාදිය සමඟ බුදු දහම සසඳමින්, ඒවා අතර යම් යම් සමානකම් පවතින නමුත් බටහිර නොමැති චින්තනයක් පෙරදිග රටවල පවතින බව ඔහු පැහැදිලි කළේය. මෙම සමුළුවේදී ඔහු ස්වාමි විවේකානන්ද වැනි පෙරදිග ආගමික නායකයන් මුණ ගැසුණු අතර ධර්මපාලතුමා සහ ස්වාමි විවේකානන්ද අතර බොහෝ යහපත් මිත්‍රත්වයක් ගොඩනැගුන බව සඳහන්ය.

දේශීයත්වයට මුල් තැන දෙන ප්‍රතිපත්තියක ධර්මපාලතුමා ලංකාවේදී දිගටම නියලී සිටියේය බුද්ධගයාව බේරා ගැනීමට කල අසාර්ථක වූ නමුත් ප්‍රබල සටනට අමතරව, සුරාවෙන් සූදුවෙන් සහ වෙසෙසින්ම ගව මස් කෑමෙන් සිංහලයා මුදවා ගැනීමට එතුමා විශාල සටනක් කළේය. තවද, රටේ ආර්ථිකය විජාතිකයන් සහ ඔවුනට සහය දක්වන දේශීය පලන්තියක පාලනයෙන් ගලවා ගැනීම සඳහා මුල් පියවරක් ලෙස දේශීය සුළු කර්මාන්ත ඇරඹීමට එතුමා අනුබල දුන්නේය.

1931 ජූලි මාසයේදී ධර්මපාලයෝ සිරි දේවමිත්ත ධර්මපාල නමින් ඉන්දියාවේදී පැවිදි බිමට ඇතුළු වූහ. එහිදී උන්වහන්සේ අපවත් වූයේ 1929 අප්‍රේල් 29 වනදාය.

අනගාරික ධර්මපාලයන්ගේ ජාතික මෙහෙවර පිලිබඳ විවාදයක් නැත. එහෙත් මගේ අදහසට අනුව, එතුමාගේ ඇතැම් කටයුතුවල යම් යම් ගැටලු දක්නට ලැබේ. එතුමාගේ චින්තනය ඉන්දියානු ආභාෂයෙන් හැඩගැසුනිද යන සැකයක් පැන නගී. උදාහරණයක් වශයෙන් ගතහොත් දේශීය සුළු කර්මාන්ත ආරම්භ කිරීම ඉන්දියාවේ ස්වදේශී ව්‍යාපාරයේ ආදර්ශයක් විය. ස්වදේශී ව්‍යාපාරය ප්‍රබලව පැන නැගුනේ 20 වන සියවස පළමු දශකයේය. අනගාරික ධර්මපාලයන්ගේ දේශීය කර්මාන්ත දිරි ගැන්වීමේ ප්‍රතිපත්තිය ඇරඹුණේ කවර දිනෙකදැයි මම හරිහැටි නොදනිමි.

තවද, පොදුවේ සත්ව ඝාතනය සහ මස් අනුභවයට එරෙහි වනු වෙනුවට ගව ඝාතනයට පමණක් ප්‍රබල ලෙස එරෙහි වූයේ කිනම් අදහසකින්ද යන්න මම හරි ආකාරව නොදනිමි. ගවයා හින්දුන්ගේ පූජනීය වස්තුවක් වූවා සේම සිංහල ගැමියාගේද වටිනා වස්තුවක් වූයේය. සිංහල ගැමියා ගව මස් කෑමට එතරම් හුරුවී ඉන්නට නැත. නාගරික ජනගහනය සම්බන්ධයෙන් නම් එම කරුණ වෙනස් වන්නට ඇත. නමුත් නාගරික ජනගහනය ඉතා ලංකාවේ මුළු ජනගහනයෙන් සුළු ප්‍රතිශතයක් විය. එනිසා ගවමස් කෑමට එරෙහි වීම ජනප්‍රිය සටන් පාඨයක් හෝ ඉන්දියානු ආභාෂය නිසා ඇති කරගත් සටන් පාඨයක් වීදැයි අපි නොදනිමු.


ප. ලි. ලංකාවේ ප්‍රමුඛතම ජාතික වීරයකු වන අනගාරික ධර්මපාලයන් රටේ වැසියනට කෙතරම් අමතකද යන්න තුල අප රට අද පත්ව ඇති තත්ත්වය මොනවට පැහැදිලි වේ. අද දින පලවූ සමහර සිංහල පුවත්පත්වල එතුමා පිළිබඳ කිසිදු සටහනක් නොවීය. ඊටත් වඩා කණගාටුදායක කරුණ නම් සිංහල ජාතිය පිළිබඳ හඬ නගන බව කියන ෆේස්බුක් වීරයන්ගේ Group සහ Fan Page සමහරකද එතුමා ගැන කිසිදු දෙයක් සඳහන් නොවීමයි.

Sunday, April 7, 2013

"පාප් වහන්සේගේ පලිගැනීම"


"පාප් වහන්සේගේ පලිගැනීම" යනුවෙන් හඳුන්වනු ලබන්නේ පාප් වහන්සේ කෙනෙකුන් විසින් කරන ලද දෙයක් නොවේ. ඒ එක්තරා ඉදිකිරීමක් අරබයා යම් කිසි නිර්මාණශීලී තැනැත්තකු විසින් පටබඳින ලද නමකි. මේ නම් තැබීමට ප්‍රස්තුත වූ ඉදිකිරීම වූයේ බර්ලින් රූපවාහිනී කුලුනයි. (Berlin TV Tower හෙවත් Fernsehturm Berlin)

ජර්මනියේ බර්ලින් නගරයේ සුප්‍රසිද්ධ ඇලෙක්සැන්ඩර්ප්ලාට්ස් (Alexanderplatz) චතුරශ්‍රය ආසන්නයේ පිහිටි බර්ලින් රූපවාහිනී කුලුන මීටර 368 ක උසින් යුතුය. ඉදිකළ අවස්ථාවේ මෙහි උස මීටර 365 ක් වූ අතර, මෑත කාලයේදී එහි ඉහල සවි කල නව ඇන්ටෙනාවක් හේතුවෙන් උස මීටර 368 දක්වා ඉහල ගියේය. මෙම ගොඩනැගිල්ල ජර්මනියේ පිහිටි උසම ගොඩනැගිල්ල වේ.



රාත්‍රියට බර්ලින් රූපවාහිනී කුලුන දිස්වන ආකාරය. (2012 දී මා මිත්‍ර පේටර් හනෙමාන් විසින් ගන්නා ලද ඡායාරූපයකි)


බර්ලින් රූපවාහිනී කුලුන ඉදි කිරීම ඇරඹුණේ 1965 වසරේදීය. ඒ වනවිට ජර්මනිය, නැගෙනහිර සහ බටහිර වශයෙන් රටවල් දෙකකට බෙදුණු සමයයි. බර්ලින් තාප්පය ඉදි කොට වැඩිකලක් ගොස් නොතිබුණි. මේ වනවිට ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජයට (නැගෙනහිර ජර්මනියට) සන්නිවේදන කුළුනක අවශ්‍යතාව දැනෙමින් තිබුණු අතර, ඒ අනුව මෙම කුලුන ඉදිකිරීමට මුල පිරුණි. මෙහි තවත් එක පරමාර්ථයක් වූයේ ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (ජ.ප්‍ර.ජනරජයේ) බලපරාක්‍රමය ලොවට කියා පෑමය. මෙවන් උස ගොඩනැගිල්ලක් බටහිර බර්ලින් වැසියන්ටද මනාව දිස්වන බව ජ.ප්‍ර.ජනරජ රජය දැන සිටියේය.

මෙම කුලුනෙහි ආකෘතිය ඇතැම්විට නැගෙනහිර ජර්මනියේ ප්‍රමුඛතම ගෘහනිර්මාන ශිල්පියා ලෙස සැලකෙන හර්මන් හෙන්සෙල්මාන් ප්‍රමුඛ ශිල්පීන් අතින් සිදු වූ අතර එයට ඔහු පාදක කරගත්තේ 1950 ගණන්වල බටහිර ජර්මනියේ ස්ටුට්ගාර්ට් (Stuttgart) නගරයේ ඉදිවූ රූපවාහිනී කුලුනෙහි (Fernsehturm Stuttgart) ආකෘතියයි. බර්ලින් කුලුනේ ඉහල ඇති ගෝලාකාර ආකෘතියට පාදක වූයේ පළමු සෝවියට් චන්ද්‍රිකාව වූ ස්පුට්නික් 1 හි ආකෘතිය බව සැලකේ. මෙම ගෝලාකාර කොටසෙහි කැරකෙන අවන්හලක් ඉදිකොට ඇති අතර එය සෑම අඩ පැයකටම වරක් කරකවනු ලබයි. මේ අනුව එකම තැන ඉඳගෙන සිටින්නෙකු වුවද මුහුණලා සිටින දිශාව පැය භාගයෙන් භාගයට වෙනස් වේ. මෙම අවන්හල පිහිටියේ මීටර 207 ක් උසිනි. ඊට මඳක් පහලින් නැරඹුම් වේදිකාවක් ඉදිකොට ඇත. පැහැදිලි දිනෙක මෙම වේදිකාවට නැගුන අයකුට කිලෝමීටර 42 ක් තරම් ඈත හොඳින් දිස් වේ යයි කියනු ලැබේ. කොමියුනිස්ට් යුගයේදී කැරකෙන අවන්හල නැගෙනහිර ජර්මානුන් අතර බෙහෙවින් ජනප්‍රිය ස්ථානයක් වූ බව කියනු ලැබේ. "අවන්හලේ සිටින විට කුලුන කඩා වැටුනත් කමක් නැත. එවිට අප බටහිර ජර්මනියට වැටෙනු ඇත" යයි එකල ප්‍රකට වූ දේශපාලනික විහිළුවකින් කියවුනි.

1965 ඉදි කිරීම් ඇරඹුණු බර්ලින් රූපවාහිනී කුලුනෙහි ඉදිකිරීම් අවසන් වූයේ 1969 වසරේය. 1969 ඔක්තෝම්බර් මුල් සතියෙහි පරීක්ෂණ විකාශයන් මෙම කුලුන මගින් කරන ලද අතර 1969 ඔක්තෝම්බර් 7 වනදාට යෙදුන ජ.ප්‍ර.ජනරජයේ 20 වන ජාතික දිනයදා කුලුන නිල වශයෙන් විවෘත කරන ලදී.

කෙසේ වුවද, සිය බලපරාක්‍රමය පෙන්වීමට තැනූ කුලුන විසින් නැගෙනහිර ජර්මන් ආණ්ඩුව වෙත ගෙනාවේ බලාපොරොත්තු නොවූ අපහසුතාවයක් සහ ලජ්ජාවකි. සූර්යාලෝකය කුලුනෙහි ගෝලාකාර කොටසට පතිත වූ විට එහි කුරුසයක හැඩයක් මතුව ආවේය. කුලුනට බටහිරින් ජීවත් වූ බටහිර බර්ලින් වැසියන්ට මෙය දිස් වූයේ දිනයේ අපරභාගයේය. බැස යන හිරුරැස් වැදී කුලුනෙහි කුරුසයක් මතුවනු දුටු යමෙක් මෙය "පාප්වහන්සේගේ පලිගැනීම" යයි හඳුන්වා දෙන්නට ඇත. කොමියුනිස්ට් පාලන තන්ත්‍රයක් වූ නැගෙනහිර ජර්මන් ආණ්ඩුව අදේවවාදී (Atheist) වීම මෙවන් නමක් තබන්නට හේතුවයි. අදේවවාදී රාජ්‍යයක් සිය බලය පෙන්වීමට තැනූ ඉදිකිරීමක සිය ආගමේ සංකේතය මතුව ඒම දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සංකේතයක් ලෙස ක්‍රිස්තියානි බැතිමතුන් සලකන්නට ඇත.



සාන්ත මේරි පල්ලිය අසලට බර්ලින් රූපවාහිනී කුලුන පෙනෙන ආකාරය. හිරු එළියෙන් ඇතිවන කුරුසියද මෙහි දිස්වේ. (Wikimedia Commons)


මීට අමතරව නැගෙනහිර ජර්මන් වැසියෝ මෙම කුලුනට සාන්ත වෝල්ටර් යයි නම් තැබූහ. ඒ බර්ලින් රූපවාහිනී කුලුන ඉදිකිරීමට නායකත්වය දුන් නැගෙනහිර ජර්මන් කොමියුනිස්ට් නායක වෝල්ටර් උල්බ්‍රිෂ්ට් උපහාසයට ලක් කිරීමටය.

නැගෙනහිර ජර්මන් ආණ්ඩුව විවිධ ක්‍රම මගින් මෙම කුරුසය දිස්වීම වළකන්නට උත්සාහ කළහ. එවන් එක් උත්සාහයක් වූයේ විශේෂ තීන්ත වර්ගයක් ආලේප කිරීමයි. නමුත් මේ එකකින්වත් එම කුරුසය මකා දමන්නට හැකි වූයේ නැත.

1989 බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසු දේශපාලනික සංකේතයක් ලෙස බර්ලින් රූපවාහිනී කුලුනෙහි වූ වැදගත්කම පහව ගියේය. කෙසේ වෙතත්, වර්තමානයේද එය බර්ලින් සහ බ්‍රැන්ඩන්බර්ග් ප්‍රදේශ කරා රූපවාහිනී වැඩසටහන් විකාශය කිරීමට භාවිතා කෙරෙන අතර කැරකෙන අවන්හලද බර්ලින් නගරයේ වැදගත් සංචාරක ස්ථානයක් ලෙස අදටත් සැලකේ.


පසු සටහනක්: දන්නෙම නැතුව බ්ලොග් එකට අවුරුද්දකුත් වෙලා. 2012 අප්‍රේල් 6 තමයි මම පලවෙනි බ්ලොග් පෝස්ට් එක දැම්මේ. අද 2013 අප්‍රේල් 7. මේ මගේ 76 වෙනි බ්ලොග් පෝස්ට් එක.... අවුරුද්දකදී කල දේ බොහොමයි. කරන්න ඇති දේ බොහෝ.......මයි.

Thursday, April 4, 2013

පරංගීන්ගේ සිහින සුන් කල ගන්නොරුව සටන

පෘතුගීසීන්ගේ අවසන් උඩරට ආක්‍රමණය පරාජය කල ගන්නොරුව සටනේ 375 වන සංවත්සරය මෙම වසරේ (2013) මාර්තු 28 වනදාට යෙදී තිබිණ. මෙම ලිපිය ඒ වෙනුවෙනි.

ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ පාලනය කරමින් සිටි පෘතුගීසින්ගෙන් නිදහස ආරක්ෂා කරගැනීමට සමත් වූ එකම ලාංකික රාජ්‍යය කන්ද උඩරට රාජධානියයි. පරංගීහු කිහිප විටෙකදීම උඩරට ආක්‍රමණය කිරීමට ගොස් අන්ත පරාජයක් අත් කරගත්හ. දන්තුරේ, බලන සහ රන්දෙනිවල පරාජයන්ගෙන් ඔවුන් පාඩමක් ඉගෙන නොගත්තේ නොවේ. නමුත් 1638 වසරේ දියත් කෙරුණ ඔවුනගේ අවසන් ආක්‍රමණයද පරාජයෙන් කෙළවර වූයේය. මේ සමඟම සමස්ථ දිවයිනේම බලය අල්ලා ගැනීමට වූ පෘතුගීසීන්ගේ සිහිනය අවසාන වතාවටත් සුනු විසුනු වූයේය.

1630 රන්දෙනිවල සටන ජයගත් පසු එම ජයග්‍රහණය උපයෝගී කරගනිමින් පරංගීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කල හැකිව තිබුනද ඊට නායකත්වය හෝ චිත්ත ශක්තිය සිංහල හමුදාවට නොලැබිණ. එවක උඩරට පාලනය කල සෙනරත් රජු දුර්වල පාලකයකු වීම මීට හේතුව විය. 1634 වනවිට දෙපක්ෂය අතර සාම ගිවිසුමක් අත්සන් කෙරුණ අතර පරංගීන්ට මඩකලපුව පවරා දීමට උඩරට රාජධානිය එකඟ විය.

කෙසේ වුවද එක පක්ෂයකටවත් සාමය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවක් නොවීය. 1635 වසරේදී සෙනරත් රජුගේ බාල පුත්‍රයා වූ මහ අස්ථාන කුමරු දෙවන රාජසිංහ නමින් රජවූ පසු මෙම තත්ත්වය තවත් නරක අතට හැරුණි. වැඩි කලක් යාමට මත්තෙන් කොළඹ පෘතුගීසි පාලනය සහ උඩරට රජු අතර එදිරිවාදිකමක් වර්ධනය වන්නට වූයේය.

දෙපක්ෂය අතර යුද්ධය යලි ඇවිලීමට විවිධ හේතු ඉදිරිපත් කරනු ලැබේ. මින් බොහෝ ජනප්‍රිය කතාවක් වන්නේ ඇතා සහ අශ්වයන් දෙදෙනා පිළිබඳ කතාන්දරයයි. රජතුමා තමන්ගේ සිත් දිනාගත් පෘතුගීසි වෙලෙන්දෙකුට ඇතෙක් තෑගි කොට ඇත. වෙලෙන්දා කොළඹට පැමිණි අවස්ථාවේ කොළඹ පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා වූ දියේගෝ ද මේලෝ කර තිබෙන්නේ එම ඇතා පැහැර ගැනීමයි. මේ බව කනවැකුණ රජතුමා වෙලෙන්දාට තවත් ඇතෙකු තෑගි කොට හලාවතින් නැව් නැගීමට අවස්තාව උදා කරදුන් බව පැවසේ. තවද ද මේලෝගේ හිතුවක්කාර ක්‍රියාවට එකට එක කිරීමක් ලෙස පෘතුගීසි වෙලෙන්දකු රජුට විකිණීමට ගෙනා අගනා සෛන්දවයන් දෙදෙනෙකු රජතුමා විසින් පැහැරගන්නා ලදී. ද මේලෝ අශ්වයින් ඉල්ලා සිටි කල්හි, උන් ආපසු දීමට නම් තමාගේ ඇතා තමා වෙත යලි ලැබෙන්නට සලස්වන මෙන් රජතුමා දන්වා සිටි බව කියවේ. මේ ආරවුල දුර දිග යෑමේ ප්‍රතිපලය වූයේ ද මේලෝ කන්ද උඩරට ආක්‍රමණය කිරීමයි.

මේ කතාන්දරය සම්පූර්ණයෙන් බැහැර කිරීමට නොහැකි වුවද, මෙවන් කරුණක් නිසා උඩරට ආක්‍රමණය වැනි භාරදූර කාර්යයකට අත තැබීමට දියේගෝ ද මේලෝ පෙළඹුණි යයි සිතිය නොහැක. මින් පෙර උඩරට අල්ලා ගැනීමට ගිය සිය රටවැසියන්ගේ ඉරණම පිළිබඳ ඔහු හොඳින් දැන සිටියේය. වෙනෙකක් තබා, සාමාන්‍ය මාර්ගය ඔස්සේ උඩරට ආක්‍රමණය කිරීමේ අපහසුතාව දත් කොන්ස්තන්තීනු ද සා, ඌව දෙසින් උඩරට ආක්‍රමණය කිරීමට ගොස්, එම ප්‍රයත්නයද අසාර්ථකව ජීවිතයද අහිමි කරගෙන ගතව තිබුනේ වසර අටක් වැනි සුලු කාලයකි.

ද මේලෝ උඩරට ආක්‍රමණය කිරීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ මෙකල උඩරට රාජධානිය සහ ඕලන්ද ජාතිකයන් අතර ඇතිවෙමින් පැවති ඇයි හොඳයියයි. මෙය ලංකාවේ සිය පාලනයට දරුණු තර්ජනයක් වන කරුණක් බව දත් පෘතුගීසීහු කන්ද උඩරට-ඕලන්ද දෙපිරිස අතර සන්ධානයක් ඇති වීම වැළැක්වීමට බලාපොරොත්තු වූහ. ඒ සඳහා ඔවුන් දුටු පහසුම මාර්ගය වූයේ උඩරට රාජධානිය අල්ලා ගැනීමයි. ඉහත කී ඇත්-අසු ගැටුම සත්‍යයක් නම්, ද මේලෝ රජතුමාගේ ඇතා පැහැර ගන්නට ඇත්තේද රජතුමා යුද්ධයකට පොළඹවන අදහසිනි.

පරංගි ආක්‍රමණික හමුදාවේ ශක්තිය පිළිබඳ විවිධ මත පවතී. කෙසේ නමුත් එම හමුදාව පෘතුගීසි ජාතිකයන් හත් අටසියයකින් සහ දේශීය ලස්කිරිඤ්ඤ භටයින් කිහිප දහසකින් සමන්විත වන්නට ඇත. මෙවන් සේනාංකයක් සමඟ ගොස් උඩරට අල්ලාගැනීම අපහසු බව සක්සුදක් සේ දත් ද මේලෝ, සිය ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා, මීට පෙර සිදුකල පෘතුගීසි ආක්‍රමණවලදී ආක්‍රමණික හමුදාවට සහය නොලැබුණු අංශයක් දෙස අවධානය යොමු කළේය. එනම් උඩරට තුලින්ම සහය ලබා ගැනීමයි. ඒ සඳහා ඔහු උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වූයේ රාජසිංහ රජුගේ වැඩිමහලු අර්ධ සහෝදරයා වූ විජේපාල කුමාරයාවය.

1635 වසරේදී සෙනරත් රජු මියගිය විට මහ අස්ථාන කුමරු රජවූයේ ඔහුට වඩා වැඩිමහලු අර්ධ සොයුරන් දෙදෙනකු සිටියදීය. මහ අස්ථාන කුමරු සෙනරත් රජුගේ පුතෙකු වූ අතර කුමාරසිංහ සහ විජේපාල කුමාරවරු පළමු විමලධර්මසූරිය රජුගේ පුතුන් වූහ. ඔවුන් සියල්ලන්ගේ මව වූයේ කුසුමාසන දේවිය නොහොත් දෝන කතිරිනාය. මහ අස්ථාන කුමරු රජ වනවිට ඌව ප්‍රදේශය පාලනය කිරීම කුමාරසිංහටත්, මාතලේ පාලනය කිරීම විජේපාලටත් පවරන ලදී. ඒ අනුව උඩරට රාජ්‍යය රාජසිංහ රජුට ලැබුන නමුත් එහි වැදගත්ම ප්‍රදේශ දෙකක් පැවතුනේ ඔහුට විරුද්ධවීමට ඉඩ තිබුණු කුමරුන් දෙදෙනකු යටතේය. මින් වැඩි කලක් යාමට මත්තෙන් කුමාරසිංහ කුමරු මියගිය අතර එය ඝාතනයක් වන්නට ඇතැයි සැළකේ. ඉන්පසු ඌව ප්‍රදේශයද තමා යටතට ගත් රජතුමා තවත් බලවත් විය. මේ අතර විජේපාල කුමාරයා රජු සමඟ තවත් උරණ වූයේය.

දියේගෝ ද මේලෝ සිය ආක්‍රමණය සාර්ථක කරගැනීම සඳහා උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වූයේ විජේපාල කුමාරයාවය. ඔහු පෘතුගීසින් සමඟ පණිවිඩ හුවමාරු කරගත් අතර මාතලේ හමුදා පෘතුගීසීන්ගේ සහයට පැමිණියේ නම් රාජසිංහ රජතුමා පරාජය වීමට හොඳටම ඉඩ තිබිණ.

1638 පෙබරවාරි 27 වනදා කොළඹින් පිටත් වූ දියේගෝ ද මේලෝ, එකල නුවර ආක්‍රමණවලට යොදාගත් මධ්‍යස්ථානය වූ මැණික්කඩවර කොටුවට පැමිණියේය. මැණික්කඩවර කොටුවෙන් තීරණාත්මක උඩරට ආක්‍රමණයට ඔහු පිටත් වූයේ මාර්තු 19 වනදාය. මාර්තු 26 වනවිට පෘතුගීසි හමුදාව අට්ටාපිටියට පැමිණියේය.

මේ කාලය තුල රාජසිංහ රජතුමා පරංගි ආක්‍රමණය වැළැක්වීමට දැඩි උත්සාහයක් ගත්බව පෙනේ. පෘතුගීසි ඉතිහාසකාරයන් සඳහන් කරන්නේ රජතුමා ඕලන්දය සමඟ වන සම්බන්ධතා සියල්ල නැවැත්වීමට පවා පොරොන්දු වෙමින් උඩරට ආක්‍රමණය නොකරන ලෙස බැගෑපත් වූ බවය. නමුත් සිංහල ජනකතාකරුවන් අතර ප්‍රසිද්ධ කතාවකින් කියවෙන පරිදි ඔහු දියේගෝ ද මේලෝ වෙත තර්ජනාත්මක ලිපියක් යවා ඇත. කුරුසයක් ගත් පූජකයකු අත යවන ලද එම පණිවිඩයෙන් ඔහු පවසා ඇත්තේ, "ඔබ අදහන ඔබ නිසා මැරුන ඔබේ දෙවියන් වහන්සේ සෙංකඩගල රජුගේ රාජ්‍යයට ඔබේ පැමිණීම තහනම් කරන්නේය. ඔබ ආපසු හැරී නොගියොත් ඔබේම දෙවියෝ ඔබට දඬුවම් කරයි" යන තර්ජනාත්මක පණිවිඩයයි.

ඇතැම්විට පෘතුගීසි ඉතිහාසකරුවන් සහ සිංහල කතාකරුවන් යන දෙපිරිසම මුසාවක් පවසන්නේ නැති වීමට ඉඩ ඇත. මුලදී, විජේපාල කුමාරයා පෘතුගීසීන්ගේ පක්ෂය ගැනීමට ඉඩ ඇති බැව් දැනසිටි රාජසිංහ රජතුමා තුල පෘතුගීසි ආක්‍රමණය පිළිබඳ බියක් ඇතිවීම සාධාරණය. නමුත් මාර්තු මාසයේ අවසන් භාගය වනවිට ඔහුට ඒ බිය නැතිවන්නට ඇත. මක්නිසාද යත්, ඒ වනවිට විජේපාල කුමරු පෘතුගීසින්ට සහය නොදැක්වීමට තීරණය කරගෙන තිබුන බැවිනි.

ද මේලෝ, විජේපාල කුමරුගේ තීරණය පිළිබඳ දැනගන ඇත්තේ මාර්තු 26 වනදා අට්ටාපිටියට පැමිණි පසුවය. විජේපාල කුමරුගේ සහය නැතිව කන්ද උඩරට අල්ලාගත නොහැකි බව දත් ද මේලෝ තීරණය කලේ මහනුවරට කඩා වැදී නගරය වනසා දමා වහා යලි පසු බැසීමටය.

1638 මාර්තු 27 වනදා මහනුවරට කඩා වැදුන පරංගි හමුදාව නගරය ගිනිබත් කර ආපසු කොළඹ දෙසට ගමනාරම්භ කළහ. ඔවුනගේ බලාපොරොත්තුව වූයේ අඳුර වැටීමට පෙර මහවැලි ගඟෙන් එතෙර වීමයි. එහෙත් ඔවුනට යාමට ලැබුනේ මඳ දුරකි. මාතලේ සිට පැමිණි විජේපාලගේ සේනාව ඔවුන්ගේ මග අවුරා සිටියහ. ඔවුනට ගංගාව වෙත යාමට අවස්ථාව නොලැබිණ.

මහවැලි ගඟ වෙත යාමට නොහැකි වීමෙන් ජලය නැති වීමද, සිංහල හමුදාවල තර්ජන ගර්ජන සහ ප්‍රහාරයන්ද හමුවේ ඇති වූ පීඩනයද හේතුවෙන් පරංගි හමුදාව එදින ගතකලේ ඉතා කටුක රාත්‍රියකි. එය එම සේනාවෙහි වූ බොහෝ පෘතුගීසි ජාතිකයන්ගේ අන්තිම රාත්‍රිය වීමට නියමිතව තිබිණ.

පසුදිනට හිරු උදාවූ පසු ගැටඹේ තොටින් මහවැලි ගඟ තරණය කිරීමට පෘතුගීසි හමුදාවට හැකිවිය. එය කෙසේ සිදු කරන ලද්දේද යන්න ඉතිහාසකරුවන් විසින් එතරම් පැහැදිලිව සඳහන් කොට නැත. ඇතැම්විට ඒ සඳහාද ආක්‍රමණික හමුදාවට දැඩි සටනක් දෙන්නට සිදු වන්නට ඇත. කෙසේ හෝ ගඟෙන් එතෙර වූ ඔවුන් පැමිණියේ ගන්නොරුව තැනිතලාවටය.



වර්තමානයේ ගන්නොරුව ප්‍රදේශය. කෘෂි පර්යේෂණ ආයතන පිහිටා ඇති තැනිතලා ප්‍රදේශය අවසන් සටන සිදුවූ පෙදෙසයි. සිංහල හමුදා පහර දුන්නේ වටේ ඇති උස් බිම්වල සිටය. (ඡායාරූපය මුදිත මදුසංක)


ගන්නොරුවට පැමිණි පෘතුගීසින්ට මුහුණ දෙන්නට වූයේ වෙනත් තර්ජනයකටය. ගන්නොරුව තැන්නේ සිටි හමුදාවට අවට උස බිම්වල සිටි සිංහල හමුදාවන්ගේ ප්‍රහාරයට ලක් වීමට සිදු විය. මෙම සටනේදී සිංහල හමුදා විසින් මීට පෙර සිදු වූ සටන්වලට වඩා වැඩියෙන් තුවක්කු භාවිතා කල බව පැවසේ. මේ අවධිය වනවිට කන්ද උඩරට කම්හල්වල තුවක්කු වැඩිපුර නිපදවෙන්නට ඇති බැව් සිතිය හැක. කඳුවල සිටින සිංහල හමුදාවල ප්‍රහාරයෙන් පීඩාවට පත් පරංගි හමුදාව ඉන් ගැලවීම සඳහා නිම්නයෙහි කන්දක් දෙසට පසු බැස්සේය. ඇතැම්විට ඔවුන් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඒ කන්ද අල්ලාගෙන එහි සිට සටන මෙහෙයවීමයි. නිම්නයක් මැද හතර අතින් පහර කමින් සිටිනවාට වඩා මෙම ස්ථානය ආරක්‍ෂිත වූයේය.

පෘතුගීසීන් සමඟ පැමිණි ලස්කිරිඤ්ඤ හමුදාව සිංහල හමුදාවට එක් වීමට තීරණය කලේ මේ අවස්ථාවේය. සටන පරදින බව දැක මෙය සිදු කරන්නට ඇති බව සාමාන්‍ය විශ්වාසයයි. කෙසේ වුවද, මෙමගින් පෘතුගීසි හමුදාව බෙහෙවින් දුර්වල වූ අතර සටන ජයගැනීමට ඔවුනට තිබුණු සුලු හෝ ඉඩකඩ ඉන් ඇහිරී ගියේය.

මේ අවස්ථාවේ දියේගෝ ද මේලෝ සිය හමුදාවට අණ කලේ යලිත් තැනිතලාව දෙසට කඩාවැදීමටය. සාපේක්ෂව ආරක්‍ෂිත වූ ස්ථානයක් මෙසේ අතහැර විනාශය කරා ගමන් කිරීම සර්ව සම්පූර්ණ විකාරයක් වූ බව සැබෑවකි. නමුත් මේ අවස්ථාවේ වෙනත් විකල්පයක් පෘතුගීසින්ට නොවූ බවද පැහැදිලිය.

මේ අවස්ථාවේ සිංහල හමුදාවද සතුරාගේ ගමන්මග ඇවිරීමට ඔවුන් සිටි උස බිම්වලින් පහලට ගමන් කළහ. ඇතැම්විට පෘතුගීසි සෙබලුන් ගන්නොරුව තැනිතලාවෙන් එහාට පලා ගොස් ගැලවෙනු ඇතැයි ඔවුන් සිතන්නට ඇත. මෙසේ කඩා වැදුනු කන්ද උඩරට හමුදාවෝ සතුරා කොටුකරගෙන පහර දුන්හ. මෙම සටනේදී ජීවග්‍රහයෙන් අල්ලාගන්නා ලද්දේ පෘතුගීසි සෙබලුන් 33 දෙනකු පමණි. අනෙක් සියල්ලන්ම මිය යන්නට ඇතැයි සැලකෙන අතර, මියගිය අය අතර දියේගෝ ද මේලෝ ද කැස්ත්‍රෝ සිටින්නට ඇතැයි සලකනු ලැබේ. ඔහුගේ මෘත ශරීරය හඳුනාගත නොහැකි වූ නමුත් සටන් බිම වැටී තිබූ ඔහුගේ කඩුව සිංහල සෙබලුන් විසින් සොයාගෙන දෙවන රාජසිංහ රජතුමා වෙත පිළිගන්වන ලදී.

ගන්නොරුව සටනත් සමඟම පෘතුගීසීන්ගේ උඩරට අල්ලා ගැනීමේ සිහිනය අන්තිම වතාවටත් සුන් විය. මෙම වර්ෂය තුලදීම උඩරට රාජධානිය සහ ඕලන්දයින් අතර ගිවිසුමක් අත්සන් කෙරුණ අතර ලංකාවේ පෘතුගීසි පාලනයේ අවසන් යුගය එළඹුන බව එයින් තවත් පැහැදිලි විය.