Sunday, March 10, 2013

හියුගෝ චාවේස් පළමුවරට ජාතිය ඇමතූ ඓතිහාසික අවස්ථාව (1992 පෙබරවාරි 4)


පසුගිය මාර්තු 5 වනදා අභාවප්‍රාප්ත වූ වෙනෙසුවෙලාවේ ජනාධිපති හියුගෝ චාවේස් පළමු වතාවට ජාතිය ඇමතුවේ ඉතා සුවිශේෂී අවස්ථාවකය. එහිදී ඔහු තමාටම නොදැනීම පරාජය, ජයග්‍රහණයකට පෙරලා ගත්තේය. විනාඩියකට මඳක් වැඩි ඒ කතාව ඔහු ජාතික වීරයකු බවට පත් කළේය.

1992 පෙබරවාරි 3 වනදා නින්දට ගිය වෙනෙසුවෙලා වැසියන් ඊළඟ දිනයේ පිබිදුණේ බලාපොරොත්තු නොවූ සිද්ධියක් දැකීමටය. 4 වනදාට එළිවන පාන්දර, තරුණ හමුදා නිලධාරියකු විසින් රජය පෙරලීමේ කුමන්ත්‍රණයක් දියත් කොට තිබුණි. ජනාධිපති කාලෝස් අන්ද්‍රේස් පෙරේස්ගේ ආණ්ඩුවට කුමන්ත්‍රණයක් පිළිබඳ යම් යම් තොරතුරු ලැබී තිබුණද, හරියටම විස්තරය කුමක්ද යයි කලින් අවබෝධ වී නොතිබිණ.

මෙම කුමන්ත්‍රණයේ නායකත්වය ගත්තේ එතෙක් කල් වෙනෙසුවෙලාවේ අප්‍රකට චරිතයක් වූ, පැරෂුට් බලකායේ නිලධාරියෙකි. ඔහු ලුතිනන් කර්නල් හියුගෝ චාවේස් නම් විය. ඔහුගේ වීරයා වූයේ දකුණු ඇමරිකාවේ "විමුක්තිදායකයා" හෙවත් සයිමන් බොලිවාර් ය. බොලිවාර් බලාපොරොත්තු වූ ආකාරයේ එක්සත් සමාජයක් ඇති කිරීම චාවේස්ගේ බලාපොරොත්තුව විය.

හමුදා කුමන්ත්‍රණයේ මූලික කරුණු 3 වනදා රාත්‍රිය වන විට සැකසී තිබුන අතර රාත්‍රී 12 ට මඳක් කලින් එම කටයුතු ක්‍රියාවට නැගිණ. ඇතැම් ප්‍රදේශ කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා කණ්ඩායම් විසින් සිය පාලනයට ගත්තේ වී නමුදු, වඩා වැදගත් වූ කරාකස් අගනුවර කුමන්ත්‍රණය බලාපොරොත්තු වූ පරිදි සාර්ථක නොවිය. හිමිදිරියේ ජනපති කාලෝස් අන්ද්‍රේස් පෙරේස් ජාතිය අමතමින් කුමන්ත්‍රණයක් දියත් කර ඇති නමුත් තත්ත්වය පාලනය කර ඇති බව ප්‍රකාශ කළේය. මේ අතර චාවේස්ගේද මිතුරකු වූ රෆායල් සැන්ටෙලිස් මැදිහත්කරුවකු ලෙස යොදාගනිමින් චාවේස්ට යටත් වන ලෙස රජය දන්වා සිටියේය. සිය බලාපොරොත්තු සුන් වූ චාවේස් තමා රැඳී සිටින ස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල කරන බවට කෙරුණ තර්ජනයද සලකා යටත් වීමට තීරණය කළේය. උදෑසන 7 කණිසම ළඟාවූ කළ චාවේස් යටත් විය.



චාවේස් බ්‍රසීලයේදී (2003). Victor Soares-ABr (Agencia Brazil). Wikimedia Commons.



උදෑසන 10 වනවිට චාවේස් ආරක්ෂක අමාත්‍යාංශය වෙත රැගෙන යන ලදී. ඔහු සමඟ ඔහුගේ මිත්‍රයා, සැන්ටෙලිස් ද විය. එහිදී ඔහු දැනගත්තේ පිට පලාත්වල තමන්ගේ බොහෝ සගයින් යටත් වූ නමුත් ඇතැමුන් තවමත් සටන් මෙහෙයවන බවයි. වෙසෙසින්ම අරගුවා ප්‍රාන්තයේ මැරකේ (Maracay) නගරයේ කැරලි නායකයා වූ ජීසස් හර්නැන්ඩෙස් උර්ඩනේටා දිගටම සටන් කරමින් සිටියේය. ආරක්ෂක අංශ සිටියේ මරකේ නගරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ සිතමිනි.

තමා මැරකේ නගරයේ සිය අනුගාමිකයනට ඍජුවම අමතා යටත් වන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාව චාවේස් විසින් ඉදිරිපත් කෙරුනේ මේ අවස්ථාවේය. නමුත් මැරකේ නගරයට වූ දුරකථන මාර්ග විසන්ධි වී තිබිණ. එවිට චාවේස් ගුවන්විදුලිය ඔස්සේ ඔවුන් ඇමතීමට යෝජනා කළේය. ඔහුගේ පෙර පිනකට මෙන් රූපවාහිනිය වඩා සුදුසු බවට එහි හුන් හමුදා නිලධාරීන් අතුරින් අදහසක් යොමු විය. ආරක්ෂක ඇමතිවරයා වූ ඔචොආ ඇන්ටිච් (Ochoa Antich) ද එම අදහසෙහි වරදක් දුටුවේ නැත. ඔහු ජනපති පෙරේස් අමතා ඒ සඳහා අවසර පැතීය. පෙරේස් නියෝග කලේ චාවේස්ට මාංචු දමා සිරකරුවකු ලෙස ඉදිරිපත් කිරීමටත්, ඔහුගේ කතාව කලින් ලියාගනීමටත් ය. නමුත්, චාවේස් ඒ එකදු කොන්දේසියකට හෝ එකඟ වූයේ නොවේ. පරාජිත හැඟීමෙන් ඔහු දැඩි ලෙස පීඩා වින්ද නමුත් ඒ බව පෙන්වීමට ඔහුට අවශ්‍ය නොවීය. ජාතිය ඉදිරියේ පෙනී සිටීමට ලැබෙන මේ අවස්ථාවේ ඔහු හැකි තරම් ගාම්භීර ලෙස ජනතාව අබියස පෙනී සිටීමට අදිටන් කරගත්තේය.

මතුව තිබුන තත්ත්වයෙහි බැරෑරුම්කම සළකා ආරක්ෂක අංශ ඔහුගේ ඉල්ලීමට එකඟ වූහ.

මුහුණ කට සෝදාගත් චාවේස්, සිය නිල ඇඳුමද මනාව සකසාගෙන පැරෂුට් භටයන්ගේ රතු පැහැති බෙරේ තොප්පියක් ලා ගත්තේය. ඉන්පසු, නියම හමුදා නිලධාරියකු සේ ගාම්භීර ලීලාවෙන් රූපවාහිනී කැමරා ඉදිරියේ පෙනී සිටියේය. මීළඟ තත්පර 72 ක කාලය ඔහු වැය කලේ ජීවිතයේ ඔහු කල වැදගත්ම කතාවටය.

පළමුවෙන්ම සියලු වෙනෙසුවෙලා වැසියන්ට සුබ උදෑසනක් වේවා! කියා ප්‍රාර්ථනා කිරීමට මම කැමතියි. මේ බොලිවාරියානු පණිවිඩය අරගුවා හි සිටින සියලු පැරෂුට් භටයන් සහ වැලෙන්සියාවේ යුධ ටැංකි භටයන් වෙතයි. සහෝදරවරුනි, අවාසනාවන්ත ලෙස, අගනුවර රැඳී සිටි අපට මේ වතාවේ අපේ අරමුණු ඉටු කරගන්නට ලැබුනේ නැහැ. එනම්, අපට කරාකස් නගරයේදී බලය අල්ලාගන්නට ලැබුනේ නැහැ. ඔබ කොහි සිටියත්, ඉතාමත් හොඳින් ඔබේ කාර්යභාරය ඉටු කළා. දැන් ආපසු හැරී බලන්නට සුදුසු කාලය එළඹී තිබෙනවා. අපේ දේශය අනිවාර්යයෙන්ම මීට වඩා යහපත් තැනක් බවට පත්කළ යුතුයි. ඒ සඳහා අලුත් අවස්ථා එළඹෙනු ඇති.

ඒ නිසා, දැන් මා කියන දේ හොඳින් අසන්න. මේ පණිවිඩය ඔබට දෙන කමන්ඩන්ටේ චාවේස්ගේ හඬට ඇහුම්කන් දෙන්න. කරුණාකරලා, යලි සිතා බලා, අවි බිම තබන්න. මොකද, අගනුවරදී අපට රාජ්‍ය බලය අල්ලා ගැනීමට නොහැකි වූ නිසාත් ඊට අවස්ථාවක් නොමැති නිසාත්. සහෝදරවරුනි, ඔබ වෙත එන මේ සහයෝගීතාවයේ පණිවිඩය අසන්න. මා ඔබේ පක්ෂපාතීත්වයටත්, නිර්භීතභාවයටත්, නොමසුරු ආධාරයටත් සදා ණය ගැතියි. දේශය සහ ඔබ අබියස මා මේ බොලිවාරියානු ව්‍යාපාරය සඳහා පූර්ණ වගකීම භාර ගන්නවා. බොහොම ස්තූතියි!


(කතාවේ වීඩියෝ දර්ශනය මෙතනින් බලන්න).

තමන් මවිතයට පත් කල කුමන්ත්‍රණයේ නායකයා, තමන් ඉදිරියේ බොහෝ ගාම්භීර ආකාරයෙන් පෙනී හිඳිමින්, කුමන්ත්‍රණයේ අසාර්ථකත්වය පිලිබඳ වගකීම භාර ගනු දුටු වෙනෙසුවෙලා වැසියෝ පුදුමයෙන් ගල් ගැසුනහ. රටේ බොහෝ දේ හරි ආකාරව සිදු නොවෙද්දී පවා, තමන් අතින් වූ වරදකට වගකීම භාරගත් දේශපාලකයකු ඔවුන් ඉන් පෙර දැක තිබුනේ නැත. නමුත් එම පෙබරවාරි මස 4 වනදා උදෑසන ඔවුන් ඉදිරියේ පෙනී සිටි තරුණ හමුදා නිලධාරියා සිය අසාර්ථකත්වයට වගකීම භාරගත්තේ, තමා අනෙක් දේශපාලකයන්ට වඩා වෙනස් බව පසක් කරමිනි.

සාර්ථක කතාවක් කලද, හියුගෝ චාවේස් සිටියේ දැඩි මානසික ආතතියකිනි. අසාර්ථක වූ කුමන්ත්‍රණයක් දියත් කොට, එහි අවසන රජයට යටත් වන ලෙස සිය සගයින්ගෙන් ඉලා සිටීමට සිදු වීම ඔහුගේ මනසට දැඩි පීඩනයක් විය. ඔහුගේ මිත්‍රයා සන්ටෙලිස් ඔහු සොයා ආවේ මෙවිටය.

"නියම කතාව මිත්‍රයා!" ඔහු කියා සිටියේය.

"මොන නියමක්ද? මම ඉල්ලා හිටියේ යටත් වෙන්න කියලා නේ."

"ඇයි එහෙම කියන්නේ. ඔබ කිව්වා, මේ වතාවේ (Por Ahora-ඉංග්‍රීසියෙන් "For now")කියලා"

තමා නොදැනීම චාවේස් විසින් එම වචන දෙක පිටව තිබිණ. "මේ වතාවේ" එනම්, තව වතාවක් එන බවට ඉඟියකි. ඒ වතාව උදා වූයේ 1998 ජනාධිපතිවරණයේ ය. එහිදී චාවේස්ගේ එක් සටන් පාඨයක් වූයේ මේ "Por Ahora" වචන දෙකයි. 1998 දෙසැම්බර් ජනාධිපතිවරණයෙන් 56.2% ඡන්ද ප්‍රතිශතයක් ලැබූ චාවේස් 1999 පෙබරවාරි 2 වනදා, එනම් සිය කුමන්ත්‍රණයේ සත්වන සංවත්සරයට දින දෙකකට පෙර, වෙනෙසුවෙලාවේ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.

(The Nation පත්‍රයේ පලවූ ඉංග්‍රීසි ලිපිය... මගේ පරණ ඉංග්‍රීසි බ්ලොග් පෝස්ට් එකකිනි).

Saturday, March 9, 2013

ලෝකයේ විශාලතම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල



පවතින දේශපාලන ක්‍රමය කුමක් වුවද, ලෝකයේ සෑම රටකම ව්‍යවස්ථාදායකයක් ඇත. පාර්ලිමේන්තුව, ජාතික සභාව යනාදී විවිධ නම්වලින් එය හැඳින්වෙන අතර ඇතැම් රටවල ව්‍යවස්ථාදායකයට එම රටටම ආවේනික නම්ද පවතී. කෙසේ හෝ වේවා, මෙම ව්‍යවස්ථාදායකයන් රැස්වන විශේෂිත ගොඩනැගිල්ලක් ඒ ඒ රටවල වන අතර එය එම රටේ වැදගත් ස්ථානයක් ලෙස ගැනේ. මෙම ලිපියෙහි අපි ඒ සියල්ල "පාර්ලිමේන්තු ගොඩනැගිලි" ලෙස හඳුන්වමු.

ලෝකයේ තිබෙන මෙවන් පාර්ලිමේන්තු ගොඩනැගිලි අතරින් විශාලම ගොඩනැගිල්ල කුමක් විය හැකිද? එය ලෝකයේ ජනාධිකම රටවන චීනයේ ජාතික මහජන කොංග්‍රස් ගොඩනැගිල්ල හෝ ජනාධිකම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවේ ලෝක් සභා ගොඩනැගිල්ල හෝ ලෝකෙට ලොක්කා ලෙස ගැනෙන ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් සභා ගොඩනැගිල්ල හෝ විශාලත්වයෙන් ලෝකයේ විශාලතම රට වන රුසියාවේ ඩූමාව හෝ වන්නට ඇතැයි කෙනෙක් සිතයි නම් එය සාධාරණය. එහෙත් ලෝකයේ විශාලතම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වන්නේ මෙයින් එකක්වත් නොවේ.

ඇත්තෙන්ම මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි විශාලත්වය සමඟ සංසන්දනය කරන විට අනෙක් සියලු පාර්ලිමේන්තු ගොඩනැගිලි අඟුටුමිට්ටන් වැනිය. උදාහරණයක් ලෙස ගතහොත් ලෝකයේ වැඩිම සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින චීනයේ ජාතික මහජන කොංග්‍රසය (නියෝජිතයින් 2987) රැස්වන මහජනයාගේ උත්තරීතර ශාලාවේ (Great Hall of the People) භූමි ක්ෂෙත්‍රඵලය වර්ග මීටර 171,800 ක් වන අතර අපගේ අවධානයට ලක් වන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ භූමි ක්ෂෙත්‍රඵලය එමෙන් දෙගුණයකි; එනම් වර්ග මීටර් 340,000 කි.

මේ ඔබ දකින්නේ එම ගොඩනැගිල්ලේ ඡායාරූපයක්.



People's Palace, Bucharest, Romania. Photo by Michael Day. Wikimedia Commons.



මේ නැගෙනහිර යුරෝපා රටක් වන රුමේනියාවේ බුකාරෙස්ට් අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල. මෙය 1965-1989 කාලයේ රුමේනියා කොමියුනිස්ට් පක්ෂ මහලේකම් සහ 1967-1989 සමයේ එරට ජනාධිපති වූ නිකොලයේ චෞසෙස්කු (Nicolae Ceausescu) නම් ඒකාධිපතියාගේ සංකල්පයකි. ස්පිරී කන්ද, අවි ගබඩා කන්ද සහ යුරේනස් කන්ද වැනි නම්වලින් හඳුන්වන ලද කන්ද කපා, ඒ අවට වූ ඓතිහාසික ස්ථාන ගණනාවක් විනාශ කොට ඔහු මෙම ගොඩනැගිල්ල ඉදි කිරීම ඇරඹීය. ඒ 1984 ජූනි මාසයේදීය. රුමේනියාවේ කඩා වැටුන ආර්ථිකයට මෙම ව්‍යාපෘතිය මහත් බරක් විය. 1989 දෙසැම්බර් 25 වනදා චෞසෙස්කු බලයෙන් පහ කොට මරා දමන විටත් එය නිමවා අවසන්ව නොතිබිණ.

චෞසෙස්කුගේ සමයෙහි ජනරජ මන්දිරය (Casa Republicii) ලෙස හඳුන්වනු ලැබූ මෙම ගොඩනැගිල්ල අද හඳුන්වනු ලබන්නේ ජනතාවගේ මන්දිරය (Casa Poporului) ලෙසය. මෙහි දිග සහ පළල මීටර 270 ක් සහ 240 ක් වන අතර උස මීටර 86 කි. මීට අමතරව මීටර 92 ක් ගැඹුරට බිම් මහල් තනා ඇත. ගොඩනැගිල්ලේ පොළවෙන් ඉහල ඇතැම් කොටස් සහ භූගත කොටස් රැසක් තවම නිමවා නැත. එමෙන්ම එහි කාමර 1100 න්, සැලකියයුතු ප්‍රමාණයක් හිස්ය. ගොඩනැගිල්ල මුළුමනින්ම පාහේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සාදා ඇතැයි කියවේ. චෞසෙස්කු සිය පාලන සමයෙහි අවසන් වසර කිහිපයේ බොහෝ රටවල් සමඟ එතරම් යහපත් සබඳතාවක් නොපැවැත්වීමත්, ආර්ථිකය බොහෝ පහත අඩියක පැවතීමත් නිසා ඔහුට වෙනත් විකල්පයක්ද නොතිබෙන්නට ඇත.



පාර්ලිමේන්තු මන්දිරය ඇතුලත ශාලාවක්. Ferran Cornella, Wikimedia Commons.



චෞසෙස්කුට අවැසි වූයේ රුමේනියානු රාජ්‍යයේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වයම ඔහුගේ ජනරජ මන්දිරයට රැගෙන ඒමටය. ඔහුගෙන් පසුව රුමේනියාව පාලනය කල අය පාර්ලිමේන්තුව පමණක් මෙම ගොඩනැගිල්ලට ගෙන ඒමට ක්‍රියා කළහ.

රුමේනියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඒකාධිපතියකුගේ මාන්නක්කාර අදහස් පිළිබඳ වැදගත් සංකේතයකි. සිය ජනතාව කුසගින්නේ සිටියදී, ඇතැම් කාලවල දිනකට පැය තුනක් පමණක් විදුලි බලය සැපයීමට හැකියාව තිබියදී මෙවන් විශාල ව්‍යාපෘතිවල නිරත වීම කෙතරම් අනුචිතදැයි චෞසෙස්කුට වැටහෙන්නට නැත. ඔහුව බලයෙන් නෙරපා හැර, අල්ලාගත් පසු ව්‍යාජ නඩු විභාගයක් කොට මරා දමන ලදී. මරණය අබියස පවා ඔහු පවසා සිටියේ තමා ජනතාවට සේවය කල බවත් ජනතාවගේ නායකයා බවත්ය.

සටහන: චෞසෙස්කු සිය 'නඩු විභාගයේදී' කියා සිටියේ තමාට එරෙහිව නැගී සිටියේ සාමාන්‍ය ජනතාව නොව කුමන්ත්‍රණකරුවන් පිරිසක් බවය. ඔහුගේ අනුගාමිකයින් කිහිප දෙනා අදටත් විශ්වාස කරන්නේ එසේය. ජනතාව ඔහුට විරුද්ධව නැගී නොසිටියේ යයි කිව නොහැකි නමුත් ඔවුන්ව උසි ගැන්වීමට යම් කිසි පිරිසක් කටයුතු කල බවට සාධාරණ සැකයක් පවතී.