Sunday, September 30, 2012

අපට වෙච්ච දේ 004: මහාචාර්ය සේනක බිබිලේගේ උරුමය සහ ඉරණම


මහාචාර්ය සේනක බිබිලේ ගැන ඇයි මේ අපට වෙච්ච දේ කතා යටතේ ලියන්නේ කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම ඒකට හේතුව, මේ ලිපියට මම පාදක කරගන්නේ මගේ අත්දැකීම් වීමයි. ඒ අතරේ මම සේනක බිබිලේ මහත්මයා ගැනත් යමක් සඳහන් කරන්නම්. අද මම ලියන කතාවට කොටස් කීපයක් තියෙනවා. පලවෙනි කොටසෙන් මම කියන්නේ මට ළඟදී වෙච්ච දෙයක්. ඊළඟ කොටසෙන් මහාචාර්ය බිබිලේ ගැන පොඩි හැඳින්වීමක්. තුන්වෙනි කොටසෙන් අවරුදු දහ හතරකට පෙර 1998 දී මට සිද්ධ වෙච්ච තවත් කතාවක්.

පළමු කොටස

සේනක බිබිලේ ගැන මම මුලින්ම කියවන්න ඇත්තේ අවරුදු 11ක් 12ක් විතර වයසේදී. අපේ ගෙදර තිබුනා සංස්කෘතික අමාත්‍යාංශයෙන් පල කරපු පූජිත ජීවිත කියන පොතේ පස් වෙනි (මම දන්නා විදියට අන්තිම) වෙළුම. ඒකෙ මහාචාර්ය සේනක බිබිලේ ගැන දෙනගම සිරිවර්ධන මහත්මයා ලියපු ලිපියක් තිබුනා. ඒ මහත්මයා පස්සේ සේනක බිබිලේ මහතා ගැන පොතකුත් ලිව්වා. කොහොමහරි, ඒ කාලේ ඉඳන් මට සේනක බිබිලේ කියන්නේ වීරයෙක්. මම උපදිනකොට ඒ මහතා මිය ගිහින් අවරුදු කීපයක් වෙනවා. (හරියටම ගාන අවශ්‍ය නෑ නේ. මගේ වයස ගැන මම කියන්නේ මොකටද?)

නමුත් ඒ මහතා ගැන අද ගොඩක් අය කතා වෙන්නේ නෑ. පත්තර, ගුවන්විදුලිය, රූපවාහිනිය ඒ මහතා අමතක කරලා. ඒ මතකයට පන දෙන්නේ ඒ මහතා අගයන කීප දෙනෙක් පමණයි. සන්නිවේදනය මෙච්චර දියුණු ආශ්චර්යමත් ලෝකයක ජීවත්වෙන මට බිබිලේ මහතාගේ 35 වන ගුණානුස්මරණය ගැන මතක් උනේ පෝස්ටර් එකකින්.

එක අතකට එක මගේ තියෙන ගුණමකුකමද දන්නෙත් නෑ. ඊයේ මම හෙන්රි ඩුනාන්ට් සහ සොල්ෆෙරීනෝ සටනට හිරවෙලා නේ හිටියේ. ඒ කොහොම වෙතත් කෙනෙක්ට වාසියක් වුනාම නම් ඊට හේතු වෙච්ච කෙනා මතක් වෙනවා නේ. මටත් ටික දවසකට කලින් එහෙම දෙයක් වුනා.

අපේ නෝනා එදා අසනීපෙන් හිටියේ. එදා අපි හිටියේ කොළඹ නිසා මගේ යාලුවෙක්ට කතා කළා ඒ වෙලාවේ දොස්තර කෙනෙක් හොයා ගන්න ලේසිම තැන කොහෙද කියල අහන්න. එයාගේ නෝනත් දොස්තර කෙනෙක්. ඒ නිසා එයාල දන්නවානේ දොස්තරලා ගැන. කොහොමහරි මෙයා කිව්වා අපේ නෝනා ගෙදර ඉන්නවා. දැන් ආවොත් හරි කියලා. ඔන්න ඉතින් අපි එහෙ ගියා බෙහෙත් ගන්න. ගිහින් වල් පල් කතා කර කර ඉන්න ගමන් ලෙඩෙත් කියලා බලවලා බෙහෙත් ලියා ගත්තා.

ඊළඟ කාරණේ බෙහෙත් ගන්න එක. ඔක්කොම බෙහෙත් ජාති පහක්, ඇමොක්සිසිලිනුත් එක්ක. දන්නවා නේ ඒ බෙහෙත්වල ගණන්. මම කල්පනා කර කර ගියේ හොඳ ගානක් යයි නේද කියලා. කොහොමහරි, අපි ගියේ ජා ඇල දිහාවට. ඒ පැත්තට යද්දී ගොඩක් කතෝලික අය ඉන්නවා නේ. ඒ නිසා ඉරිදට ඒ ගොඩක් අය නිවාඩු ගත කරනවා. අපිට යන පාරේ ඇරලා තිබුණු ෆාමසියක් ඇස ගැහෙන්න ටිකක් දුර යන්න වුනා. ඒ ෆාමසි එකෙත් හිටියේ මුස්ලිම් කට්ටියක්.

මම ගිහින් බෙහෙත් තුණ්ඩුව දීලා බලාගෙන හිටියා ඔක්කොම බෙහෙත් ටික දෙනකල්. මම දැක්කා එයාල ළඟ තිබ්බ සමහර බෙහෙත් ලංකාවේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඒවා බව. ඉතින් ගණන ටිකක් අඩු ඇති කියලා මට හිතුනා. එහෙම වෙලත් බෙහෙත් ඔක්කොම දීලා ගණන හදලා කිව්වම මම තුෂ්නිම්භූත වුනා. බෙහෙත් ඔක්කොටම රුපියල් 97 යි. මම ආයෙත් බැලුවා ගණන වැරදිලාද කියලා. මම හිතුවේ නෑ ඒ තරම් අඩු වෙයි කියලා. නමුත් ගණන හරි. මම අපේ නෝනට එදා කිව්වේ මහාචාර්ය සේනක බිබිලේ නිසා තමයි මේ දේ සිද්ධ වුනේ කියලා. ඒ මහත්මයා නැති වෙලා අවුරුදු 35 ක් ගිහිල්ලත් අපි එයා කරපු දෙයින් ප්‍රතිලාභ ලබනවා නේ.

දෙවන කොටස

සේනක බිබිලේ උපන්නේ 1920 පෙබරවාරි 13 වනදා. ඔහුගේ පියා චාර්ල්ස් බිබිලේ. මව පහතරට, දකුණේ, අහංගම, කතළුවේ, සිල්වියා ජයවර්ධන. උඩරට ඉහල පරපුරක කෙනෙක් වෙච්ච චාර්ල්ස් බිබිලේ පහතරටින් විවාහයක් කරගැනීමෙන් පෙනෙන්නේ ඔහු රදල අදහස්වලින් නිදහස් කෙනෙක් වූ බවයි. ඒ වගේම, කුඩා සේනකට මව් කිරි දෙන්නට ඔහුගේ අම්මාට නොහැකි වුනු විට ගම්වැසි ගැහැණු ඒ සඳහා ඉදිරිපත් වුන බව ප්‍රසිද්ධ කතාවක්. ගමේ අහිංසක මිනිසුන් සහ සේනක එකිනෙකාට පුදුමාකාර ලෙස ආදරය කල බව ප්‍රකටයි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට අධ්‍යාපනය ලබන්නට ගියා වුනත් පන්සලේ ආභාෂය සේනකට නොඅඩුව ලැබුනා. තමන්ගේ පාසල් මිතුරන්ගේ පවුල්වල අය ජීවත්වන්නේ අසරණ මිනිසුන්ගේ ශ්‍රමයට පින් සිද්ධ වෙන්න බව ඔහු දැක්කා. නමුත් ඒ සමාජ ක්‍රමය වෙනස් කරන්නට ක්‍රමයක් ඔහුට කල්පනා නොවෙන්නට ඇති. තමන්ගේ පියා ජීවත් වූ ක්‍රමය සේනක පරමාදර්ශය කරගන්නට ඇති.

මහාචාර්ය සේනක බිබිලේ (1920-1977). Wikimedia Commons

වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නට කොළඹ ගත කරපු කාලයේ තමයි ඔහුට පළවෙනියෙන්ම කාල් මාක්ස්ගේ "ප්‍රාග්ධනය" කියවන්න ලැබුනේ. ඉන් පස්සේ ඔහු වාමාංශික පත පොත කියවන්නටත් ඒ දේශපාලනයටත් නැඹුරු වුනා. නමුත් 1936 දී වෙච්ච තමන්ගේ පියාගේ මරණින් පස්සේ ඇති වෙච්ච ආර්ථික අපහසුතා නිසා ඔහු අධ්‍යාපනයට මුල් තැන දුන්නා විතරක් නෙවෙයි වෛද්‍ය විද්‍යාලයේ හැම වසරකම හොඳම ප්‍රතිපල (නැත්නම් බැච් ටොප්) ලබා ගන්නට ඔහුට හැකි වුනා. ඒ නිසාම එඩින්බර්ග් සරසවියට ආචාර්ය උපාධිය හදාරන්නට යන්නට ලැබුණු අතර, උපාධිය ලබා පිට රටට වී ඉන්නට ඕනා තරම් ඉඩ තිබියදී ආපහු ලංකාවට පැමිණියා. ඔහු තමයි කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඖෂධවේදය පිලිබඳ පළමු මහාචාර්යවරයා බවට පත් වුනේ. වෛද්‍ය විද්‍යාලයේදී ඔහුගෙන් ශරීරයේ රෝගවලට මෙන්ම සමාජයේ රෝගවලට බෙහෙත් ඉගෙන ගත් පිරිසක් ඇති වුනා. ඒ සමහරු අදටත් පැරණි වාමාංශික දේශපාලන පක්ෂවල ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් ඒ පක්ෂවල ප්‍රබල නායකයින්.

ඖෂධ වෙළෙන්දන් මිනිස්සුන්ගෙන් අසාධාරණ විදියට සූරාගෙන කන ආකාරය දැකපු සේනක බිබිලේ මහාචාර්යතුමාට එය වෙනස් කරන්නට ඕන වුනා. ඊට අවස්තාවක් ලැබුනේ 1970 සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත් වුනාම. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීම පරිදි මහාචාර්ය බිබිලේ සහ කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ රටේ ඖෂධ ප්‍රතිපත්තියක් පිලිබඳ වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ අනුව 1971 දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආරම්භ කර, එහි පළමු සභාපති ලෙස සේනක බිබිලේ පත් කරනු ලැබුවා. මහාචාර්ය බිබිලේ නිර්මාණය කල ඖෂධ ප්‍රතිපත්තිය පසු කාලයේ වෙනත් රටවල් විසිනුත් තමන්ගේ ඖෂධ ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට ආදර්ශයක් ලෙස යොදා ගත්තා.

නමුත් 1975 දී සමගි පෙරමුණේ සමගිය බිඳවැටුණ පසු සේනක බිබිලේ මහතාට තමන්ගේ කටයුතු ඒ විදියට කරගෙන යන්න පුළුවන් වුනේ නෑ. ජාත්‍යන්තර වශයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිලිබඳ සමුළුව (UNCTAD), නොබැඳි ජාතීන්ගේ සමුළුව වැනි ආයතනවලිනුත් රට රටවලිනුත් ඔහුට පැසසුම් ලඟා වුනත් තමන්ගේ රටේ ඔහුව අවලංගු කාසියක් කරලා තිබුනා. මේක දැකපු UNCTAD සංවිධානයේ මහා ලේකම් ධූරය දැරූ ගාමිණි කොරයා මහතා සේනක බිබිලේට ජිනීවා නගරයට එන්නට ඇරයුම් කළා.

1977 දී ඔහු කැරිබියානු රටවල (බටහිර ඉන්දීය කොදෙව්) සංචාරය කලේ උන්ක්ටාඩ් සමුළුව වෙනුවෙන්. ඒ, එම කුඩා, දුගී රටවල් සඳහා ඖෂධ ප්‍රතිපත්තියක් සැදීමට. එය දවල් සිහිනයක් බව මහාචාර්යවරයා වුනත් දැනගෙන ඉන්නට ඇති. නමුත් ඔහු එම කටයුත්තට ඇප කැප වුනා. ඒ අතරේදී තමයි, 1977 සැප්තැම්බර් 29 වෙනිදා, ඔහු ගයානාවේදී (ශිවනරින් චන්ද්‍රපෝල්, ක්ලයිව් ලොයිඩ් ඉන්න රට) අභිරහස් ලෙස මියගියේ. අපේ රටට මෙච්චර සේවයක් කරපු එතුමා ආදාහනය වුනේ සිය බිරිඳ ඇරුනම තම රටේ කාත් කවුරුවත් නැති ඈත රටක.

තෙවන කොටස

1998 අවුරුද්දේ, ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් සැමරුම වෙනුවෙන් විශාල ප්‍රදර්ශනයක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ පැවැත්වුනා. එහිදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කුටියකුත් තිබුනා. එතන එහි මූලාරම්භයේ ඉඳන් හිටපු සභාපතිවරුන්ගේ ඡායාරූප තිබුනා. එත්, මගේ වීරයා, මහාචාර්ය බිබිලේගේ ඡායාරූපයක් නෑ. මම ඒ ගැන ඇහුවම එයාල කිව්වේ පින්තූරයක් නෑ හරි, මොකක් හරි ඒ වගේ බොහොම ලාමක නිදහසට කාරණයක්. සේනක බිබිලේ ජීවත් වෙච්ච කාලේ කැමරා නොතිබුනා නෙවෙයි නේ. අවශ්‍යතාවයක් තිබුනා නම් එයාලට පින්තූරයක් හොයාගන්නට බැරි කමක් තිබුනේ නෑ නේ. මට ඇති වුන හැඟීම අර ගහට නැගපු එකා තණකොළ කපන්න නැගපු බව කිව්වම අයිතිකාරයට ඇති වුනා වගේ හැඟීමක් වෙන්න ඇති!

අසරණ දුප්පත් රටවැසියන් වගේම ලෝකවැසියන් වෙනුවෙන් ජීවිතෙන් වන්දි ගෙවාපු උතුම් මිනිසෙක්ට කෘතගුණ සලකපු හැටි එහෙමයි.

නමුත් නරකම කාරණය ඒක නෙවෙයි. ඔය කාලේ රට පාලනය කලේ පොදු පෙරමුණේ ආණ්ඩුවක්. මම දේශපාලනය ගාව ගන්නවා නෙවෙයි. නමුත්, පොදු පෙරමුණේ ආණ්ඩුවේ හිටියා ලංකා සම සමාජ පක්ෂය, හවුල්කාරයෙක් විදියට, ඇමතිකම් පවා භුක්ති විඳිමින්. ඒ පක්ෂයේ ඇතැම් නායකයෝ, අර මම කලින් කියපු, බිබිලේ මහත්මයාගෙන් වෛද්‍ය විද්‍යාව සහ දේශපාලනය දෙකම උගත් අය.

ඒ කාලේ නම් මම මේ කියමන දැනගෙන හිටියේ නෑ. නමුත් දැන් මට ඒ කතාව මතක් වෙද්දී මෙහෙම කියවෙනවා.

අහෝ! ඛේදයකි! ඉරකි, තිතකි!

Saturday, September 29, 2012

හෙන්රි ඩුනාන්ට්: සොල්ෆෙරිනෝහි මතකය


එය ගොම්මන් අඳුර වැටෙන වෙලාවයි. හිමිදිරි පාන්දර සිට පැය දහසයක් පුරා නැගුනු රණ හඬ වෙනුවට දැන් ඇසෙන්නේ තුවාලකරුවන්ගේ විලාපයයි. ඔවුහු, වේදනාවෙන්, උෂ්ණයෙන් සහ දුහුවිල්ලෙන් පීඩා විඳිමින් පෙනෙනතෙක් මානයේ හැම අතකම වැටී සිටිති. ඔවුනට බෙහෙත් හේත් තබා ආහාර සහ ජලය පවා නොලැබේ. ඇතැම් තුවාලකරුවන් අසල ඔවුනගේ මිතුරකු හිඳගෙන සිටිනු පෙනේ. ඔවුනටද කල හැක්කේ පන අදින හෝ තුවාල ලබා වේදනා විඳින හෝ සිය සගයා වචනයෙන් සැනසීම පමණි. ගිලන් රථයක් හෝ ගිලන් මැස්සක් හෝ රැගෙන කවරකු හෝ පැමිණේය යයි ඔවුනට ඇත්තේ සුළු බලාපොරොත්තුවක් පමණි. ගිලන් රථයක් පැමිණියද තුවාලකරුවනට සහනයක් ලැබීම සැක සහිතය. ගැස්සෙමින් පැද්දෙමින් ඒවායේ ගමන් කිරීම තුවාල ලබා, එළිමහනේ, හිසට වහලක් නොමැතිව වැටී සිටීමටද වඩා අපහසු කාරණයක් වීම ඊට හේතුවයි. තවද, රෝහලකට ගෙන ගියද අවශ්‍ය ප්‍රතිකර්ම ලැබීමද සැක සහිත විය.

එදින, 1859 ජූනි 24 වනදා, ඉතාලියේ, ලොම්බාර්ඩි ප්‍රදේශයේ, සොල්ෆෙරීනෝ ගම්මානය අසල සිදුවූ සටනින් මියගිය, තුවාල ලැබූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 40,000 පමණ විය. තුවාලකරුවන් රැක බලා ගැනීමට හරි හැටි ක්‍රමවේදයක් නොවූ එකල සටනකින් මියයාමට වඩා තුවාල ලැබීම භයංකර වී යයි කිවහොත් එය වැරදි නොවනු ඇත. මෙය සටන් වැදුණු ජයග්‍රාහී, පරාජිත සියලු ජාතීන්ට පොදු විය. සොල්ෆෙරීනෝ සටන ඉතිහාසයට එක වන්නේ ඉතාලිය එක්සත් කිරීමේ එක සන්ධිස්ථානයක් ලෙසය. මෙහිදී ප්‍රංශ සහ සාර්ඩිනියානු ඒකාබද්ධ හමුදාවක් විසින් ඔස්ට්‍රියානු හමුදාව පරාජය කරන ලදී. රටවල් තුනෙහිම හමුදාවලට අණ දුන්නේ ඒ ඒ රටවල රාජ්‍ය නායකයන්ය. ඔස්ට්‍රියානු හමුදාව සිය යුධ අත්දැකීම්වලින් ඌන, එකුන්තිස් වියැති ෆ්‍රැන්සිස් ජෝසෆ් අධිරාජයා විසින් මෙහෙයවනු ලැබීය. ප්‍රංශ හමුදාව III වන නැපෝලියන් අධිරාජයා විසින්ද, සාර්ඩිනියානු හමුදාව II වන වික්ටර් එමානුවෙල් රජු විසින්ද මෙහෙයවන ලදී.

Napoléon III à la bataille de Solférino, [Napoleon III at the Battle of Solferino by Jean-Louis-Ernest Meissonier (1863)], 1863 දී ශෝන්-ලුවී-අර්නස්ට් මෙයිසොනියර් විසින් අඳින ලද "III වන නැපෝලියන් සොල්ෆෙරීනෝ සටනේදී" නම් චිත්‍රය. Wikimedia Commons.

මේ අනුව, ඉතිහාසයේ සටන් බිමකදී සියලු හමුදාවලට ඒ ඒ රාජ්‍ය නායකයන් අණ දුන් අවසන් සටන සොල්ෆෙරීනෝ සටනය. හමුදාවල ප්‍රධාන අණදෙන්නන්ගේ අත්දැකීම් මඳ බව හේතුවෙන් මෙම සටන බොහෝකොටම භූමියේ සිටි සෙබළුන්ගේ සහ ඔවුනගේ අණ දෙන නිලධාරීන්ගේ සටනක් විය. එහි අවසන් ප්‍රතිපලය වූයේ සොල්ෆෙරීනෝ සටන, යුධෝපාය මත තීරණය වූවක් නොව හුදෙක් ගහ මරාගැනීමක් පමණක් බවට පත් වීමය. සොල්ෆෙරීනෝ සහ අවට ගම්මානවල සැතපුම් දොළහක යුධ පෙරමුණක සටන් ඇවිලී ගියේය. අසිපත්, තුවක්කු සහ බයිනෙත්තු අතැති සොල්දාදුවෝ ගෙයක් ගෙයක් පාසා, ගමක් ගමක් පාසා, එකිනෙකා මරාගන්නට වන්හ. ප්‍රංශ හමුදා ප්‍රහාර හමුවේ ඔස්ට්‍රියානුවන් සොල්ෆෙරීනෝ ගම්මානයෙන් පලවා හරින ලද පසු, ඔස්ට්‍රියානු සෙබළු හිස් ලූ ලූ අත පලා ගියහ.

ශෝන් ඔන්රි ඩුනාන්ට් (ජෝන් හෙන්රි ඩුනාන්ට්) නම් තිස් එක් හැවිරිදි ස්විස් ජාතික ව්‍යාපාරිකයාට ඇල්ජීරියාවේ වූ ඔහුගේ ව්‍යාපාරයක් පිලිබඳ ගැටලුවක් නිරාකරණය කරගැනීමට III වන නැපෝලියන් අධිරාජයා බැහැ දැකීමට අවශ්‍ය විය. නමුත් ඒ වනවිට අධිරාජයා සිටියේ ඉතාලි නිදහස් සටනට සහය දක්වමින් සිය හමුදා මෙහෙයවමිනි. මේ අනුව, අධිරාජයා සොයා ඩුනාන්ට් ඉතාලියට පැමිණියේය. ඔහු සොල්ෆෙරීනෝ වෙත ලඟා වූයේ එහි සිදුවූ ජන සංහාරය අවසන් වීමත් සමඟය.

තුවාල ලබා සිටි දහස් ගණන් සෙබළුන්ට ජූනි 24-25 රාත්‍රියේ සොල්ෆෙරීනෝ සටන් බිම අපායක් විය. අන් සැමට වඩා බරපතල සතුරා වූයේ පිපාසයි. ප්‍රදේශයේ වූ කිසිදු පොකුණක හෝ දිය පහරක ජලය බීමට ක්‍රමයක් නොවූයේ ඒ සියල්ල සටනින් ගලා ගිය ලෙයින් රත් පහ ගැන්වී තිබුණු හෙයිනි. ඊළඟ දිනට එලිය වැටෙන විට තුවාලවලින් සහ පිපාසයෙන් පීඩා විඳි තවත් බොහෝ දෙනා නිස්කාරනේ මරුමුවට පත්ව සිටියාහ. එමෙන්ම, රාත්‍රී අඳුරත් සමඟ පැමිණි සොරු, තුවාල ලබා වැටී සිටි අසරණයන් සතු වූ යම් පමණකට හෝ වටිනා කියන සියල්ල කොල්ල කෑහ. එමෙන්ම, ඔවුහු මළවුන්ගෙන්ද වටිනා දෑ කොල්ල කාගත්හ.

සටන් බිමෙහි වූ ආරෝග්‍යශාලාවලට ගෙන ආ තුවාලකරුවන්ගේ තත්ත්වයද ඊට වැඩියෙන් යහපත් නොවීය. ඒවායේ වූ වෛද්‍යවරුනට, තුවාලකරුවනට ප්‍රතිකාර කිරීමට තරම් ආම්පන්න, දැනුම මෙන්ම පිරිස් බලයද නොවීය. ප්‍රදේශයේ වූ පල්ලි, කන්යාරාම මෙන්ම පෞද්ගලික නිවාසද ආරෝග්‍යශාලා බවට පත් කරන ලදී. එතරම් තුවාලකරුවෝ සටන් බිමෙහි වූහ. හෙන්රි ඩුනාන්ට් පැමිණියේ මෙවැනි පසුබිමකටය. ඔහු තමා දුටු දර්ශනයන්ගෙන් දැඩි ලෙස කම්පනයට පත් විය. තරුණ වියේ සිටම සමාජ සේවා කටයුතුවල යෙදී තිබුනද, මෙවන් ඛේදවාචකයක් ඔහු මින් පෙර දැක නොතිබුණි. කෙසේ නමුත් වහ වහා ක්‍රියාත්මක වූ හෙතෙම, තුවාලකරුවනට හැකි අයුරින් ප්‍රතිකාර කිරීමට ක්‍රියා කළේය. ඔහු සිය කර්තව්‍යය ඇරඹුවේ කැස්ටිග්ලියෝනේ ගම්මානයේදී ය. මෙම ගම්මානයට පමණක් රැගෙන ආ තුවාලකරුවන් සංඛ්‍යාව නව දහස ඉක්මවීය. ඩුනාන්ට් සිය මූලස්ථානය කරගත් චියෙසා මගිඔරේ පල්ලියේ ඇතුලත තුවාලකරුවෝ පන්සියයක් වූ අතර එයින් පිටත වීදියෙහි තවත් සියයක් වැතිර උන්හ. ඩුනාන්ට් තුවාලකරුවන් අතර රැඳෙමින්, ඔවුනගේ තුවාල සුද්ධ කිරීමට සහ ඔවුනගේ පිපාසය නිවා දැමීමට හැකි සියල්ල කළේය. නමුත් කෙතරම් උත්සාහ කලද, දුනාන්ට බොහෝවිට සිදු වූයේ පන අදින මිනිසුන්ගේ අවසන් මොහොතේ ඔහු හා සිටිමින් ඔහු සනසාලීමෙන් සෑහීමට පත් වීමටය.

තරුණ හෙන්රි ඩුනාන්ට්,Wikimedia Commons

ඩුනාන්ට් තුවාලකරුවන්ට උපකාර කිරීම සඳහා ගම්වැසි කාන්තාවන්ගේ උපකාර ලබා ගත්තේය. ඔවුහු, කිසිදු පෙර පුහුණුවකින් තොරව වුවද සිය කර්තව්‍යය නොපිරිහෙලා ඉටු කළහ. ඩුනාන්ට් ඇතුළු පිරිසගේ උත්සාහය, කරුණාව සහ දයාව නොවන්නට තත්ත්වය තවත් භයානක වීමට ඉඩ තිබිණ. නමුත්, බොහෝ තුවාලකරුවන්ට ප්‍රථමාධාර ලැබීමට ප්‍රමාද වූවා වැඩිය. සිය ජීවිත කාලය තුල නොයෙක් යුද්ධවලදී සටන් වැදී තිබූ වයසින් මුහුකුරා ගිය එක්තරා සාර්ජන්ට්වරයෙක් දැඩි විස්සෝපයෙන් දුනාන්තට පවසා සිටියේ, "කලින් මට ප්‍රතිකාර ලැබුනා නම් මම ජීවත් වෙන්නටත් ඉඩ තිබුණා. නමුත්, අද හවස් වෙද්දී මා මිය යනු ඇති" කියාය. සවස් වෙද්දී, ඒ අනාවැකිය ලෙසම ඔහු මියගොස් සිටියේය.

ඩුනාන්ට්හට සිය අත් දැකීම් අමතක කල නොහැකි විය. ඔහු දැඩි මානසික අවපාතයකට පත් වූ අතර, ඔහු විසින් කල සේවයට ලැබුණු ගරු සම්මානවලින් පවා එයට සහනයක් නොලැබිණ. සොල්ෆෙරීනෝ සටන් බිම මතකයට නැගෙනවිට තමා දිවිගෙවන ජිනීවා නුවර සුන්දරත්වය ඔහුට දිස්වූයේ මායාවක් ලෙසිනි. සිය මානසික අවපාතයෙන් ගැලවීමට ක්‍රමයක් සෙවූ ඔහු තම අත්දැකීම් සියල්ල ලියා තැබීමට තීරණය කළේය. 1862 නොවැම්බරයේදී පලවූ "A Memory of Solferino"(සොල්ෆෙරීනෝහි මතකය) එහි ප්‍රතිපලය විය. යුද්ධයකදී තුවාලවන්නන්න්ට සහන සලසනුවස් ඇපකැප වී ක්‍රියා කරන, පුහුණු ස්වේච්ඡා සේවකයන්ගෙන් යුතු සංගමයක් බිහි කිරීමට හැකියාවක් නැතිද? යන පැනය එම පොතෙන් ඔහු මතු කර සිටියේය.

"සොල්ෆෙරීනෝහි මතකය" ඩුනාන්ට් බලාපොරොත්තු වූවාට වඩා බෙහෙවින් වැඩි ප්‍රතික්‍රියාවක් ඇති කළේය. පොතේ පිටපත් සියල්ල උණු කැවුම් මෙන් අලෙවි වූයේය. පොතෙහි පිටපත් අතින් අත යන්නට විය. දහස් ගණන් පාඨකයෝ පොත කියවූහ; එහි වූ පණිවිඩයෙන් ඔද වැඩී ගියහ. දෙසැම්බරය වනවිට පොතෙහි දෙවන මුද්‍රණයක් නිකුත් කිරීමට සිදු විය. එයින් ඇති කල උනන්දුව අති මහත් විය. ඊළඟ අවුරුද්දේ, එනම් 1863 පෙබරවාරිය වනවිට අන්තර්ජාතික රතු කුරුස සංවිධානය ජිනීවා නුවරදී ආරම්භ කරන ලදී. 1864 අගෝස්තුවේදී පළමු ජිනීවා සම්මුතියට රටවල් 12 ක් විසින් අත්සන් තබන ලදී.

කෙසේ නමුත් සමාජ සේවය හේතුවෙන් සිය ව්‍යාපාරික කටයුතුවලට අවධානය යොමු නොකිරීමේ ප්‍රතිපලයක් ලෙස 1867 දී හෙන්රි ඩුනාන්ට් බංකොලොත් විය. ඔහු සතු සියලු දේපල අහිමිව, ජිනීවා නුවර හැර ගියේ නැවත නොඑන්නටමය. පැරිසියේ කලක් විසූ ඔහු ඉනික්බිති යුරෝපයේ විවිධ ප්‍රදේශවල බොහෝ දුක සේ ජීවත් වූයේය. 1887 දී ස්විට්සර්ලන්තයේ හෙයිඩන් ගම්මානයට පැමිණි ඔහු ජීවිතයේ ඉතිරි කාලය ගෙවුයේ එහිය.

හෙයිඩන් ගම්මානය, 1900, Wikimedia Commons

1895 දී හෙයිඩන් ගම්මානය අසල කඳු නැගීමට පැමිණි බවුම්බර්ගර් නම් පුවත්පත් කලාවේදියෙක් ප්‍රදේශවාසීන් සමඟ කතා බහ කරනවිට ඩුනාන්ට් පිළිබඳව දැන ගත්තේය. ඔහු හමුවීමට පැමිණි බවුම්බර්ගර්, ඩුනාන්ට් පිලිබඳ පුවත්පත් ලිපියක් පල කළේය. ඔහුගේ සහචරයින් විසින් අමතක කලද, මහජනතාවට "සොල්ෆෙරීනෝහි මතකය" අමතකව නොතිබිණ. එතෙක් අමතක කරනු ලැබ සිටි හෙන්රි ඩුනාන්ට් යළි ජනතාව අතර වීරයකු බවට පත් වූයේය. 1901 දී පළමු නොබෙල් සාම ත්‍යාගයේ සම හිමිකරුවෙකු ලෙස හෙන්රි ඩුනාන්ට් පිදුම් ලැබීය.



මූලාශ්‍ර

1. Pam Brown, Henry Dunant: The Founder of Red Cross-His Compassion has Saved Millions, Orient Longman edition (1995)

2. Battlefield Anomalies, Battle of Solferino, June 24, 1859. (Accessed Sep. 28, 2012)

Wednesday, September 26, 2012

අපට වෙච්ච දේ 003: පොත් කඩේ ලිඳ ළඟ සංගමය


මේ අවරුදු කීපයකට කලින්, ඒ කියන්නේ 2009 අන්තිම කාලේ හරි 2010 මුල් කාලේ හරි වෙච්ච දෙයක්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මේ දවස්වල තියෙන නිසා තමයි මේ කතාව මට මතක් වුනේ.

නුගේගොඩ සරසවි පොත් වෙළෙඳසල මම නිතරම යන තැනක්. මේ කියන දවස්වල මම කසාද බඳින්න කලින්, කැම්පස් එකේ වැඩ කර කර හිටපු කාලය. අතට ගානක් ලැබුන නිසාත්, තනිකඩ නිසාත් අතේ සල්ලි තිබුනා. ඒකෙන් මම කලේ පොත් ගන්න එක. හවස හතරට වැඩ ඉවර වුනාම මම ගොඩක් දවසට කොළඹ කැම්පස් එකේ ඉඳන් නුගේගොඩ එනවා. අපේ යාළුවෙක් හිටිය මිනිහගේ වෑන් එකක තමයි කැම්පස් ආවේ. ඉතින් මෑන් අපිව දාගෙන එක්කන් එනවා නුගේගොඩට. අපේ රථාචාර්යය නිසා අපි එයාට නමකුත් දාල තිබුනා 'මාතලී' කියලා. කොහොම හරි, මාතලීගේ වෑන් එකේ ආවම අනිවාර්යයෙන්ම 4.30 වෙන්න කලින් මම සරසවි එකේ. එතන ඉඳන්, මගේ වෙන්න නෝනා වැඩ ඇරිලා ඒ පැත්තට එනකල් මම පොත් කියව කියව ඉන්නවා. එහෙම හිටිය කියලා සරසවි එකට වෙච්ච පාඩුවකුත් නෑ. මම ඒ දවස්වල මාසෙකට පොතක් දෙකක් අනිවාර්යයෙන්ම ගත්තා.

මම බොහොම කැමැත්තෙන් එතනට ගියේ එතන අලුතෙන් හදපු ගොඩනැගිල්ලේ පොත් කියවන්න පුළුවන් විදියේ හොඳ වටා පිටාවක් හදල තිබිච්ච නිසා. හැම තට්ටුවකම වගේ හොඳ ආසන පනවලා, වායු සමනය කරලා, එතනට යන්න හිතෙන විදියට හදලා තියෙනවා. මම ගිහින් නිදහසේ පොත් බලලා, හොඳ පොතක් දෙකක් තෝරාගන්නවා මාසෙකට. ඒ කාලේ ගත්තු පොත් අතරින් මට මතකම පොත බාර්ට් ජෝන්ස් කියලා ලේඛකයෙක්ගේ හියුගෝ චාවේස් ගැන චරිතාපදානයක්.

අපේ නෝනා නම් හරි බයයි එතනට ඇවිත් මම පොත් බලනකල් නිකන් වාඩි වෙලා ඉන්න. එයා හිතන්නේ එයා පොත් බලන්නේ නැති නිසා ආයතනයේ සේවකයෝ එයාට යන්න කියයි කියලා. ඒක විනාඩි පහක් එතන ඉන්න කැමති නෑ. සමහර වෙලාවට දැහැනකට සම වැදිලා වගේ පොත් බල බල ඉන්න මට එතන දාල යන්න වෙනවා ඒ කාරණේ නිසා. නමුත් මම දැකල තියෙනවා ඇත්තටම එතන දීලා තියෙන අවස්ථාවෙන් යුතු ප්‍රයෝජන ගන්න අය. මේකත් එහෙම සිද්ධියක්.

එදා මම පොතක් කියවන්න අර පුටුවකින් ඉඳ ගත්තා. මට එහා පැත්තේ ගෑනු දෙන්නෙක් ඉඳගෙන. ඒ එක්කෙනෙක්ගේ දුවෙක් වෙන්න පුළුවන් පොඩි ළමයෙක් පොත් තෝරනවා. එතකල් අර දෙන්නගේ කච පචේ. එතන ලිඳ ළඟ සංගමයක් දාගෙන. මට පොත කියවන්නත් නෑ. මට ටිකක් තරහා ගියා වුනත් සද්ද නැතුව හිටියේ මොකද කරන්නේ කියලා කල්පනා කර කර. එතන වැඩ කරන කෙනාත් නොදැක්ක ගානට ඉන්නවා. මමත් නොදන්නා ගානට ඉන්නවා.

එහෙම ඉන්නකොට මට කල්පනා වුනා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් වට්ටගන්න ක්‍රමයක්. මම මගේ වෙන්න නෝනට දුරකථන ඇමතුමක් දීලා කිව්වා, "පොඩි වැඩක් පෙන්නන්න තියෙනවා. සරසවි එකට එන්න," කියලා. එහෙම කියලා මම ඉන්නේ කීවෙනි තට්ටුවේද කියලත් විස්තර කළා. ඊට පස්සේ එයා එනකල් ඇඟිලි ගැන ගැන හිටියා. අර දෙන්නා යන්න කලින් එයා එයිද නොඑයිද? ඊට කලින් වැඩ කරන එක්කෙනා අර දෙන්නව එලව ගනීද? ප්‍රශ්න පත්තරයක්.....

ඔහොම ඉන්නකොට ඔන්න මට පේනවා පල්ලෙහා තට්ටුවේ අපේ එක්කෙනා එනවා. දැන් මට ඉවසන් ඉන්නම බෑ. අරුන් දෙන්නගේ කච පචෙත් ඉවර නෑ. මගේ අතේ තිබුණු පොත සල්ලි දීලා ගන්න මම එතකොට තීරණය කරලා ඉවරයි. මම ඉතින් එකත් අතේ තියාගෙන බලන් ඉන්නවා.

ඔන්න දැන් අපේ වෙන්න නෝනා ළඟටම ආවා. මමත් ප්‍රතිචාරයක් නොදක්වා ළඟටම එනකල් හිටියා. ඊට පස්සේ එයා අහනවා "දැන් මොකද මට එන්න කිව්වේ?" කියලා.

"ඔයා මෙතන විනාඩි පහක් ඉන්න බයයි නේ. දැන් මේ දෙන්නා මම ආපු වෙලාවේ ඉඳන් මෙතන කච පචේ. ලිඳ ළඟ සංගමයක් දාලා. ලිඳක් විතරයි අඩු. මට මේ පොත බලන්නත් නෑ සද්දේ. ඒ වුනාට මෙතන කව්රුවත් මෙයාලව එලව ගත්තෙත් නෑ. ඔයා තමයි බොරුවට බය වෙන්නේ" කියලා ටිකක් හයියෙන් කිව්වා. අර ගෑනු දෙන්නා මගේ දිහා බලලා, මූණෙන් මූණ බලාගත්තා.

මොහොතයි ගත වුනේ, උන් කොහේ ගියාද නෑ. වාෂ්ප වෙලා!

මම පහලට බැහැලා පොත අරන්, මගේ බෑග් එක ගන්න ගියාම ඒ එක්කෙනෙක් මට කලින් එයාගේ බෑග් එක ඉල්ලාගෙන යනවා මම දැක්කා. එතන ආරක්ෂක නිලධාරියෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් අනිකාට කියනවා, "හැමදාම එනවා. මොකට එනවාද මන් දන්නේ නෑ. ගන්න මගුලකුත් නෑ" කියලා. මටත් ඉතින් කට තියාගෙන ඉන්න බැරිකමට උඩ තට්ටුවේදී වෙච්ච දේ කිව්වා.

මම අපේ නෝනාගෙන් නම් බැනුමක් අහගත්තා මිනිස්සුන්ව ලැජ්ජාවට පත් කරනවා කියලා. නමුත් ඒ කරපු දේ ගැන මම නම් අදටත් පසුතැවෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි, සතුටුත් වෙනවා. මිනිස්සු වුනාම දැනගන්න ඕන, අනිත් මිනිස්සුන්ට වදයක් නොවී ජීවත් වෙන්න උත්සාහ කරන්න. පොත් කඩයක් කියන්නේ ලිඳ ළඟ සංගමයක් දාගන්න තැනක් නෙවෙයි නේ. එහෙම වුනා නම් එතන ලිඳකුත් හදලා තියෙන්න එපැයි, නේද?

Saturday, September 22, 2012

අපට වෙච්ච දේ 002: රාත්‍රියක රුවන්වැලිසෑය වඳින්නට ගිය ගමන




අපේ රටේ මම ආසම තැන රුවන්වැලිසෑය ළඟ බව මාව හොඳින් දන්නා අය සහ මේ බ්ලොග් එක කියවන සමහර කට්ටිය දන්නවා. විශේෂයෙන්ම මම හරිම ආසයි රාත්‍රියට, විදුලි ආලෝකය තියෙද්දී එතන ඉන්න. ඒ ගැන කියවපු නැති කට්ටියට මෙතනින් ඒ විස්තරේ බලන්න පුළුවන්. මම අද කියන්නට යන්නේ මම අන්තිමට ඒ වගේ රාත්‍රියක රුවන්වැලිසෑය වඳින්න ගිය අවස්ථාව ගැනයි.

ළඟදී මම ථූපාරාමයේ ලොකු පින්කමකට ගියා. ඒ පිංකම අස්සේ වෙච්ච කතා එමටයි. ඒ වුනාට ඒ හැම කතාවක්ම කියන්නත් බෑ. කොහොම හරි, එදා හවස් වෙද්දී මල් පූජාවටයි, ආලෝක පූජාවටයි ඔක්කොම කටයුතු සූදානම් වුනා. අඳුරු වැටුනට පස්සේ තමයි පිංකම පටන් ගත්තේ. මේ විදුලි බුබුළුවලින් ථූපාරාමය ආලෝකමත් කරපු හැටි.



මේ පිංකම පැය තුන හතරක් නම් ඇදෙන බව මම මගේ අතීත අත්දැකීම් අනුසාරයෙන් දැනගෙන හිටියා. කොහොමහරි, හේතු කීපයක් නිසා මට එතන ඉන්න බෑ කියලා හිතිලයි තිබුනේ. ඒ සමහර හේතු කියලා ප්‍රශ්න හදා ගන්නට මම කැමති නෑ. කියන්න පුළුවන් හේතුවලින් එකක් තමයි මට එක තැනකට වෙලා පැය දෙකතුනක් ඉන්නට බැරි කඩි කුලප්පුව. තව එකක් තමයි මට (කලින් නිදහස් චතුරශ්‍රයේ පින්තූර ගනිපු කතාවේ වගේ) ඩිජිටල් කැමරා රාජයෙක් අහු වී තිබීම. අනික තමයි ඒ කැමරා රාජයාගෙන් පින්තූර ගන්නට ලංකාවේ මම දැකල තියෙන ලස්සනම දර්ශනය පොඩ්ඩක් එහා පැත්තේ පෙනෙන්නට තිබීම. එහෙම තියෙද්දී, කාටද හිතෙන්නේ එතනට නොගිහින් ඉන්න?

මෙහෙම කියනකොට කෙනෙක්ට හිතෙයි මම බෞද්ධ විරෝධී, ආගමක් ධර්මයක් නැති, එපා කරපු කේස් එකක් කියලා. සහමුලින්ම එහෙම නම් නෑ. මම හරිම ආසයි රෑට රුවන්වැලිසෑයේ සලපතල මළුවේ ඉඳගෙන භාවනා කරන්න. රැයක් වුනත් ඉන්න පුළුවනි එතන. එක එක්කෙනා කියන දේවල් අන්ධ විදියට විශ්වාස කරනවාට වැඩිය මම කැමති "මගේ බුදුන් මම ම දකින්න." මට අද පෙනෙන විදියට ගොඩාක් අය එක එක හාමුදුරුවරු සහ වෙන අයගේ පස්සෙන් අන්ධයෝ වගේ යනවා. මට ඒ ගැන දුකක් ඇති වෙනවා තමයි. නමුත් ඉතින්, අපි කියලා මොකක් කරන්නද? කොහොමහරි, ඔය කියන දවසේ මට ඕනේ වුනා රුවන්වැලිසෑය ලඟට ගිහින් පුළුවන් තරම් වෙලා ඉන්න. මම තනියම වුනත් යනවා කියන තීරණය අරන් තිබුනේ.

ඒ වුනාට මම තව කට්ටියක් වැඩේට සෙට් කර ගත්තා. ඒ මට හම්බ වෙච්ච අලුත් යාලුවෝ හතර පස් දෙනෙක්. මම දන්නා විදියට සමහර යාලුවෝත් රෑට රුවන්වැලිසෑය ලඟට ගිහින් නෑ. ඉතින් මම එයාලට වැඩේ දවල්ම යෝජනා කරලා, යන්න කතා කරගෙන හිටියේ.

දැන් කට්ටිය එක පයින් සූදානම්!

ලොකු නඩයක් එක්ක ඇවිත් තිබුණු නිසා අපි වැඩේ රහසක් විදියට තියා ගත්තා. කාටවත් දැනගන්න තිබ්බේ නෑ අපේ රහස් මෙහෙයුම. (ඒක නිසා අපි කීප දෙනෙක්ගෙන් පස්සේ බැනුම් ඇහුවා. නොකියා ගියාට නම් නෙවෙයි. එයාලව එක්කන් ගියේ නැති එකට).

ඔන්න දැන් ථූපාරාමේ පිංකම පටන් ගත්තා. ටිකක් වෙලා ගියා. අපි සෙට් එක නඩේ අනික් අයගෙන් පොඩ්ඩක් පැත්තට වෙලා ඉඳගෙන හිටියේ. වෙලාව අටටත් කිට්ටුයි. දැන් මාව නලියනවා. රුවන්වැලිසෑය රෑ පුරාවට ආලෝකමත් කෙරෙන්නේ විශේෂ දවස්වලට විතරයි. එදා එහෙම දවසක්ද දන්නේ කව්ද? ඒ නිසා මට යන්න ඉවසුමක් නෑ. එත් වෙන කව්රුත් එන පාටකුත් නෑ. ඉතින් මම බලාගෙන ඉඳලා බැරිම තැන නැගිටලා "යමුද?" කියලා ඇහුවා.

"තව ටිකකින්" යෝජනාවක් ආවා.

මමත් කර බා ගත්තා. කොහෙද මෙයාලා රහස් මෙහෙයුමක් කරලා තියෙන එකක්යැ? වෙලාව දැන් අටත් පහු වෙලා. මට නම් තව ඉන්න බෑ. මම නැගිටලා "මම යනවා. උඹලා වරෙල්ලා" කියලා වේගෙන් පිටත් වුනා. ථූපාරාමේ මළුවෙන් පහලට පඩිපෙළ බැහැල අනිත් පැත්ත හැරිලා බලද්දී, "සූ ගාලා" පිරිවර......

මොන පිරිවරද? කවුරුවත් නෑ මගේ පස්සෙන්! වස ලැජ්ජාව! ඒ මදිවට එක්කෙනෙක්ගෙවත් ෆෝන් නම්බර් එකක් නෑ මගේ ළඟ. නැත්නම් දුරකථන මාර්ගයෙන් ප්‍රචාරක කටයුතු කරලා දෙතුන් දෙනෙක් ගෙන්නා ගන්නවා නේ.

දැන් ඉතින් වෙන කුමක් කරන්නද? ආපහු ගියේ නැතැයි කට්ටිය ලඟට _ _ _ වගේ.

ඒ සැරේ නම් මම ප්‍රජාතන්ත්‍රවාදය අමතක කරලා බොහොම ඒකාධිපති විදියට මෙහෙම කිව්වා. "රුවන්වැලිසෑයේ ලයිට් ඕෆ් කරනවා නවයට. දැන් අටත් පහු වෙලා. උඹලා එනවා නම් වරෙල්ලා. කව්රු ආවත් නාවත් මම යනවා."

ඔය තියෙන්නේ! 'ඒකාධිපතිවාදය' ටක්කෙටම වැඩ කළා. මම ඊළඟ වතාවේ පඩිපෙළ බැහැලා බලද්දී පෝලිමට කට්ටිය එනවා. මමයි අපි එක්ක හිටපු නිවුන්නු (කෙල්ලෝ) දෙන්නෙකුයි, තව යාලුවෝ හතර දෙනෙකුයි, ඔක්කොම 7 ක් ගමනට පිටත් වුනා. අපි ගියේ ථූපාරාමය ලඟින් කෙලින්ම රුවන්වැලිසෑය පැත්තට තියෙන පයින් යන්න හදලා තියෙන පාරේ. මමත් අනුරාධපුරේ ගියාට කවදාවත්, රෑ තියා දවාලකවත් ඒ පාරේ ගිහින් තිබුනේ නෑ. ඉතින් මටත් ඒක අලුත් අත්දැකීමක් වුනා.

ඒ කොහොම වෙතත් මම දැන් කට්ටියව එක්කරගෙන යනවා අපේ ගමනාන්තයට. අපි රජකාලේ කතන්දර මතක් කර කර ඉස්සරහට ගියා. මමත් ඉතින් දන්නා කතා දෙක තුනක් මත පදනම් වෙලා ඉතිහාසය ගැන හොඳ පොර ටෝක් එකක් දුන්නා. ජනතාව (ඒ කියන්නේ අපේ කෙල්ලො කොල්ලො සෙට් එක) කන් උස්සගෙන අහන් ඉන්නවා. කොහොම වුනත් එහෙම පොර ටෝක් දෙන එකේ ලොකු වරදක් නෑ නේ. අපේ ඉන්න පුරාවිද්‍යා උගත්තු පවා අදටත් ගොඩක් දේවල් ගැන කියන්නේ අඩමානේටනේ. සමහරවිට දහ දෙනෙක් කියන්නේ කතා දහයක්. ඉතින් උගත්තු එහෙම කියනවා නම් මම කොහොම කිව්වම කොහොමද?

එදා ලොකු හඳ එළියක් තිබුනේ නෑ. පාර කළුවරයි. ඒ වුනත් අපිට බයක් නම් දැනුනේ නැහැ. එහෙම දෙයක් හිතුනෙත් නැහැ. අපේ ඉස්සරහපිට තේජාන්විතව රුවන්වැලි මහා චෛත්‍යය රාජයා වැඩ ඉන්නකොට මොන බයක්ද? ගෞරවයක් මිසක!



ඔන්න දැන් අපි කොහොමහරි රුවන්වැලිසෑය කිට්ටුවට ආවා. ආවට මොකෝ තෙල්, මල්, හඳුන්කූරු මුකුත් නෑ. ඊට පස්සේ අපේ අය මල් ගන්න තීරණය කළා. ඉතින් අපි රුපියල් සීයකට සුදු නෙලුම් ගත්තා. ඔහොම අපි මල් අරගෙන රුවන්වැලිසෑය ළඟට ගියා.



වචනෙන් කියන්න බෑ මේ දර්ශනය දකිද්දී එන හැඟීම. මේ මහා චෛත්‍යය රාජයා දැක්කම කොයි බෞද්ධයාටද එහෙම හැඟීමක් ඇති නොවෙන්නේ? එත් මම දැකලා තියෙනවා එතනටත් ඇවිල්ලා කෑ ගහන, දඟලන මිනිස්සු. අනේ අම්මපා, කෑ ගහන දඟලන එක ගෙදරදී වුනත් කරන්න බැරිය? දුරු කතර ගෙවාගෙන රුවන්වැලිසෑය බලන්න එන්න ඕනෙය ඒකට? අනික දුටුගැමුණු රජ්ජුරුවෝ සෑය හැදෙව්වෙත්, මිනිස්සු දුක් මහන්සියෙන් හැදුවෙත්, ඊට පස්සේ වතාවල් ගණනක් සෑය ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නෙත්, හැම අවුරුද්දෙම මිනිස්සු පොසොන් පෝයට කලින් හොඳ දුකක් විඳලා සෑයේ හුණු ගාන්නෙත් කොහෙවත් ඉඳන් යන ගෝතයෝ රැලකට එතනට ගිහින් ආතල් ගන්න නෙවෙයි නේ! (සැර වැඩිද මන්දා?)

අපි එදා රුවන්වැලිසෑය ළඟට යනකොට එතනත් ලොකු පින්කමක් ඉවර වෙලා කට්ටිය පිටත් වෙනවා. උඩ තියෙන රූපයේ සෑයේ පේසාවට උඩින් වටේට තියෙන්නේ ඒගොල්ලෝ පූජා කරපු සිවුර. දවල් අපි දැක්කා එක අරන් එනවා මිනිස්සු පෝලිමේ. මහාථූපයේ විෂ්කම්භය අඩි 298 ක්. එතකොට එහි වට ප්‍රමාණය හිතා ගන්න පුළුවන්නේ. ඒ වගේ දිග සිවුරක් පූජා කරන එක කොච්චර වටින පින්කමක්ද?

කොහොමහරි අපි දැන් රුවන්වැලිසෑය වටේ සක්මන් කරනවා. අපි එක්ක හිටපු නිවුන්නු දෙන්නට ඕනේ වුනා වටේ යන්නේ නැතුව වඳින්න. ඉතින් ඔන්න එයාලා සලපතල මළුවේ පවුර අයිනේ තැනක ඉඳගත්තා. අපි වටේටම ගිහින්, චෛත්‍යයේ සමමිතිය, එහි ආයක, එහෙම බලලා, එහි ලස්සනත් ගාම්භීරත්වයත් හොඳට විඳ ගත්තා. රුවන්වැලිසෑය සමමිතිකව ඉදි කරලා තියෙන හැටි බලන්න නම් එන්න හොඳම වෙලාව තමයි රාත්‍රී කාලය. එතකොට අපේ අතේ දුරින් හිටගෙන උඩ බැලුවහම චෛත්‍යයේ ගර්භයට උඩින් කෙලින්ම පෙනෙන්නේ චූඩාමාණික්‍යය. අපේ හසිත මලයා කිව්වා වගේ ඒ ගැන ගෞරවය යන්න ඕනේ මෑතම කාලයේ ප්‍රතිසංස්කරණය කරපු අයට. (හසිතගේ ආගිය කතා බ්ලොග් එකේ ඒ ගැන තියෙන ලිපිය කියවන්න ආස නම් මෙතනින් යන්න පුළුවන්). එත් මට නම් ඒ සමමිතිය දකිද්දී මතක් වෙන්නේ අපේ ඈත මුතුන් මිත්තෝ මේ නිර්මාණ කොහොම කලාද කියන එක.

ඔන්න ඉතින් අපි රුවන්වැලිසෑය වඳිනවා. ඔය වෙලාවේ තවත් පුංචි සිද්ධියක් වුනා. ඒක මම වෙනමම කතාවකට දාන්නම්. නැත්නම් මේ කතාව මහා පතරංග ජාතකය වගේ වෙයි.

කොහොමහරි, අපේ නිවුන්නු ජෝඩුවට වැඩි වෙලා ඉන්න පුළුවන් වුනේ නා. මේ දෙන්නට යන්නම ඕනෙලු. හරිම වැඩක් තමයි!. ථූපාරාමෙට ගියාට පලක් නැති බව මම හොඳටම දන්නවා. එතන පිංකම ඉවර වෙන්න තව හැට පැයක් යනවා. ඔව්වට ඇවිත් තියෙන මේ මම ඒක කිව්වට උන් ඒක විශ්වාස කලේ නෑ. මම හිතින් බැන බැන එතනින් පිටත් වුනා. එහෙම එනකොට ඈත ඉඳන් ථූපාරාමේ පින්තූරයකුත් ගත්තා. ෆොටෝ එකේ කොලිටි එක නම් එච්චරම හොඳ නෑ. ඒ වුනත් ඉතින් තියෙන දෙයින් එපයි යමක් කරන්න.



ඉතින් අපි ආපහු ථූපාරාමේ ළඟට ඇවිත් අර පූජාව ඉවර වෙනකල්, ඒ කියන්නේ රෑ එකොළහ කිට්ටු වෙනකල්, එලියට වෙලා, බඩගින්නේ ඉඳගෙන හිටියා අර මෝඩ නිවුන්නු දෙන්නගේ මෝඩ මොළ දෙකට පින් දිදී. රුවන්වැලිසෑය ළඟට කට්ටිය එක්කන් ගිහින් මට පින් වගේම පව් ටිකකුත් කරගන්න වුනානේ කියල මට දැන් හිතෙනවා. ඇයි ඉතින් අපි එයාලට හිතින් හරි බැනල පව් නේ රැස් කරගත්තේ.

කොහොම හරි ඒ දෙන්න ඇරුනම, අනික් එක්කෙනෙක්ගෙවත් රුවන්වැලිසෑය ළඟට යන්න තිබුන ආසාව අඩු වුනේ නෑ. ඒ නිසා අපි ඊළඟ දවසේ උදෙත් සෙට් වෙලා ඒ පැත්තේ ගියා. අර දෙන්නගෙන් එනවද කියල ඇහුවේ වත් නැද්ද කොහෙද.

ඒ ගමනේදී අපි බසවක්කුලම වැව බලන්නත් ගියා. අලුත බැඳපු ජෝඩුවක් හෝම් කමින් එකට ඇඳුම් ඇඳගෙන නටබුන් අතරේ ෆොටෝ ගන්නවත් දැක්කා. වැවට බැහැල මල් කඩන්න ගිහින් අපේ දෙන්නෙක් අම්බානකට බැනුම් ඇහුවා. හැබැයි ඉතින් ඒ එකක්වත් මෙතන ලියන්න බෑ. ඒක වෙනමම කතාවක්.

Friday, September 14, 2012

අපට වෙච්ච දේ 001: නිදහස් චතුරශ්‍රයේ ඡායාරූප ගැනීම


සකල සිරින් පිරි සිරි ලංකාවේ ජීවත් වෙද්දී අපිට සිද්ධ වෙච්ච දේ විවිධයි. ඒ ගැන කතා ටිකක් ලියන්න හිතුනා. ටික දවසක් හිටන් මගේ ඔලුවේ තිබ්බ දෙයක් මේ. සීරියස් දේවල් ලියන ගමන් පොඩි ෆන් එකක් ගත්තට කමක් නෑ නේ. මේකට 001 කොටස කියලා දැම්මේ පුළුවන් උනොත් කතා සීයක්වත් ලියන්න අදහස් කරගෙන. ඒ වුනත් කතා දහයක්වත් ලියයිද බලමුකෝ..

කතාව පටන් ගන්න හිතුනේ අපේ නිදහස් ස්මාරකයෙන්. ඒ කියන්නේ කොළඹ 7, නිදහස් චතුරශ්‍රයෙන්. මේක ඉදි කිරීම ආරම්භ වෙලා තියෙන්නේ අපේ රට ඩොමීනියන් තත්ත්වයේ නිදහස ලබල අවරුද්දකින්, ඒ කියන්නේ 1949 පෙබරවාරි 4 වනදා, කියලා තමයි සඳහන් වෙන්නේ. අපේ නිදහස නැති කරපු උඩරට ගිවිසුම අත්සන් කරපු මහනුවර මගුල් මඩුවේ ආකෘතිය ආශ්‍රයෙන් තමයි මෙය හදල තියෙන්නේ. මට තේරෙන්නේ නැති එක දෙයක් තමයි අපේ නිදහස නැති කරපු තැනක් මතක් කරලා ඇයි නිදහස සමරන ස්මාරකය හැදුවේ කියන එක. මෙහි ඇතුලත විජය කුමාරයා ලංකාවට ආපු සිද්ධිය හෙවත් විජයාවතරණයේ ඉඳන් ලංකාවේ ඉතිහාසයේ අවස්ථා දැක්වෙන චිත්‍ර තියෙනවා. ඒ වගේම 2008 දී මෙතනම නිදහස් කෞතුකාගාරයක් විවෘත කළා. මේ තියෙන්නේ මම ගත්තු නිදහස් චතුරශ්‍රයේ ඡායාරූපයක්.



මේ වගේ ඡායාරූපයක් ගන්න එතනට යන්න එපයි. මම මේ කියන දේ වුනේ අන්න එහෙම යන වෙලාවෙයි.

එදා 2010 අගෝස්තු මාසේ එක්තරා ඉරිදා දවසක්. මමයි, මගේ වෙන්න නෝනයි දෙන්නා ලයනල් වෙන්ඩ්ට් එකේ නාට්‍යයක් බලන්න යන්න හිටියේ. (ඒක ගැනත් පස්සේ කියන්නම්) කොහොම හරි නාට්‍යය පටන් ගන්න තව ටිකක් වෙලා තිබුන නිසා අපි නිදහසේ නිදහස් චතුරශ්‍රය පැත්තේ රවුමක් දාන්න තීරණය කළා. නරක වෙලාවට වඳුරට දැලි පිහිය (ඒ කියන්නේ මට ඩිජිටල් කැමරාව) අහුවෙලයි තිබුනේ. ඉතින් මට ඕනේ කළා මගේ ඡායාරූපකරණ හැකියාව ලොවට පෙන්වීම සඳහා, මූණු පොතේ දාන්න පින්තූර ටිකක් ගන්න.

දැන් ඉතින් අපි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පැත්තේ ඉඳලා නිදහස් මාවත දිගේ, නිදහස් චතුරශ්‍රය පැත්තට නිදහසේ ඇවිදගෙන යනවා. ඒ වුනාට, මගේ ඡායාරූප කලාවෙන් උනන්දු වෙච්ච ඇස් දෙකට පොඩි අව්ලක් තේරුනා. මට ඕනේ උනා දුර ඉඳන් නිදහස් චතුරශ්‍රයේ පින්තූරයක් ගන්න. එත් හරියට සමමිතිකව පින්තූරයක් ගන්න නම් මම නිදහස් මාවත මැදට එන්න ඕනේ. වාහන ගමන් කරන පාරක් මැද කැමරාවකුත් තියාගෙන මොන පින්තූරද?

එත් මම නෙවෙයි පසුබට වුනේ...

මගේ වෙලාවට එදා ඉරිදා දවසක් නිසා කොළඹ ඔය හරියේ වාහන තදබදයක් තිබුනේ නෑ. ඒ නිසා මට හිතුනා පාර මැදට ගිහින් පින්තූරයක් ගන්න. ඒකට තවත් උදව්වක් වුනේ ඒ පාර One Way කරලා තිබීම. එතකොට, ඒ දවස්වල නම්, වාහන ආවේ නිදහස් චතුරශ්‍රය පැත්තේ ඉඳල විතරයි. ඒ නිසා ඈත තියා වාහනයක් එනකොට අයින් වෙන්න පුළුවන් දුරක හිටියා නම් බය වෙන්න දෙයක් තිබුනේ නෑ.

ඔන්න ඉතින් මම පාර මැදට ගිහිල්ලා, කැමරාව එල්ල කරලා, හරියට සමමිතිකව එන්න නිදහස් චතුරශ්‍රය කැමරාවට අහු කරගෙන පින්තූරය ගන්න ලැස්ති උනා. පොඩි පොඩි වාහන දෙක තුනක් නිසා මට චුට්ටක් බලන් ඉන්න වුනා. නමුත් ඉතින් බය වෙන්න දෙයක් තිබුනේ නෑ. ඒ වාහන ගියාට පස්සේ මම පින්තූරය ගන්න ලැස්ති වුනා විතරයි.....

වාහනයක එන්ජිමක සද්දයක්.... එන පොට නම් අවදානම් බව මට තේරුනා. එතකොටම සුදු පාට රේසිං කාර් එකක් බෞද්ධාලෝක මාවත පැත්තේ ඉඳන් මතු උනා. බුදු අම්මෝ! මගේ ඇඟේ ලේ වතුර වුනා.... මොහොතක් මම බලාගෙන හිටියා වික්ෂිප්ත වෙලා. පාරේ ඒ පැත්තට පනින්නද? මේ පැත්තට පනින්නද? ඊට පස්සේ මම කකුල් දෙකට වීරිය දීලා කොහෙටද එක පැත්තකට පැන්නා. වාහනේ ඊටත් තත්පර දශම කීයකට හරි පස්සේ පාරේ අනිත් පැත්තෙන් වේගයෙන් ඉගිල්ලිලා ගියා.

මගේ වෙන්න නෝනා මට හිනා වෙනවා. මමත් අම්බානකට බය වෙලා. ඊටත් වැඩිය ලැජ්ජාව! අය්යෝ! මට වෙච්ච දේ!... හොඳ වෙලාවට පේනතෙක් මානෙක කව්රුත් නෑ. නැත්නම් මට පොලවේ පස් කන්න තමයි වෙන්නේ.

ඒ වුනත් මම අත ඇරියෙම නෑ. ආපහු පාර මැද්දට ගිහින් මේ පින්තූරේ ගත්තා. එත් ඉතින් සමමිතිය එහෙම නම් බල බලා හිටියේ නෑ.



ඔන්න මෙච්චර කල් මේ පින්තූරේ ගන්න මම ගත්තු 'අවදානම' ගැන කතාව දැනගෙන හිටියේ, මමයි, නෝනයි, කාර් එක එලවපු එකයි, එකේ වෙන කව්රු හරි හිටියා නම් එයාලයි විතරයි. දැන් නම් එක ප්‍රසිද්ධ රහසක් නේ. ඔන්න ඉතින් මට හිනා වෙනවා නෙවෙයි.

Tuesday, September 11, 2012

ජපානයට පරමාණු බෝම්බ හෙලීම අත්‍යාවශ්‍ය වීද?


දශක හතකට පමණ පෙර එක්සත් ජනපදය විසින් තමන් සොයාගත් අලුත්ම විනාශකාරී අවිය ජපානයට හෙලන ලදී. නමුත් එය සිදුවූයේ කවර අවශ්‍යතාවක් මතද?

නාගසාකි නගරයට පරමාණු බෝම්බය හෙලීම, එක්සත් ජනපද ලේඛනාගාරය, Wikimedia Commons

ඒ 1945 අගෝස්තු 6 වනදා උදෑසනයි. හිරෝෂිමා නගරය කරා පියාසර කරන ඇමරිකානු ගුවන් යානා කිහිපයක් ජපනුන් විසින් නිරීක්ෂණය කරන ලදී. ඔවුන් ඒ පිළිබඳව එතරම් තැකීමක් නොකළේ කුඩා ගුවන් යානා කණ්ඩායම්වලට පහර දීමට තම යානා යෙදවීම ඔවුන් විසින් නවතා දමා තිබූ බැවිනි. ඒ තම තෙල් සංචිත අරපරෙස්සමෙන් භාවිතා කරන අදහසිනි. පසුගිය මාස කිහිපය තුල ජපානය අත්විඳි බෝබ්ම ප්‍රහාරයන් සමඟ සසඳන විට ගුවන් යානා කිහිපයක් යනු නොසැලකිය හැකි තරම් දෙයක් ලෙස ඔවුහූ සිතූහ.

හිරෝෂිමාවට පරමාණු බෝම්බය හෙළුවේ 1945 අගෝස්තු 6 වනදා උදෑසන 8.15ටය. ක්ෂණයකින් නගරය සහමුලින්ම පාහේ විනාශ විය. ඊට දින තුනකට පසු, එනම් සෝවියට් දේශය ජපානයට එරෙහිව යුධ ප්‍රකාශ කොට දිනකට පසු තවත් බෝම්බයකින් නාගසාකි නගරය විනාශ විය.

ඊළඟ පියවර විය යුතුව තිබුනේ පරමාණු බෝම්බයද? ජපන් ආක්‍රමනයද? ඒ දෙකමද? එකක්වත් නොවේද?

ඇතැම් ඉතිහාසකරුවන් බෝම්බය අවශ්‍ය වූ බවට තර්ක කරන්නේ ඇමරිකානු හමුදා ජපානය ආක්‍රමණය කලේ නම්, ජපනුන්ගේ දරුණු සටන්කාමීත්වය හමුවේ ඇමරිකානුවන් විශාල සංඛ්‍යාවක් මරණයට පත් නොවී යුද්ධය දිනිය නොහැකිව තිබුණු බව පවසමිනි. ඇතැම් විශ්ලේෂකයෝ, තුවාල ලැබීමට හෝ මියයාමට හෝ ඉඩ තිබූ ඇමරිකානුවන් සංඛ්‍යාව ලෙස මිලියනයක පමණ විශාල අගයක් කියා පාති. ඇත්තෙන්ම, ජපානය ආක්‍රමණය කලේ නම් විශාල ඇමරිකානුවන් පිරිසක් මියයන්නට ඉඩ තිබුණු බව සත්‍යයක් වුවද, මෙතරම් විශාල අගයක් ඉදිරිපත් කෙරෙන්නේ බෝම්බය හෙලීම සාධාරණීකරණය කිරීමට බව පැහැදිලිය. එවක ඇමරිකානු හමුදාවල සේවය කල ඇතැම් ප්‍රධාන සෙනවියන්ගේ අදහස වන්නේ පරමාණු බෝම්බය තබා ජපන් ආක්‍රමණයක් වුවද අවශ්‍යව නොතිබුණු බවයි.

යුරෝපයේ මිත්‍ර පාක්ෂික හමුදාවල ප්‍රධාන අණදෙන නිලධාරියා වූ ජෙනරාල් ඩ්වයිට් අයිසන්හවර් යුද්ධයෙන් පසු කියා සිටියේ "ඔවුනට එම දරුණු දෙයින් පහර දීමට අවශ්‍යතාවක් නොවීය" යන්නයි. යුද්ධයේ අවසාන දිනවලත් ඔහු එම අදහස දැරීය. වරක් ඔහු යුද්ධ ලේකම් ස්ටිම්සන් සමඟ කියා සිටියේ ජපානය ඒ වනවිටත් පරාජය වී සිටින බවයි. පසුව අයිසන්හවර් සඳහන් කලේ "ඇමරිකානු ජීවිත ගලවා ගැනීමට අත්‍යාවශ්‍ය නොවන පියවරක් වූ පරමාණු බෝම්බය භාවිතයෙන් ලෝක ජනමතය කම්පනයට පත් කිරීම නොකළ යුතු යයි මා සිතුවා" කියාය.

පරමාණු බෝම්බය භාවිතයට විරුද්ධ වූ හමුදා නායකයන් අතුරින් ලෝක ජනමතය පිලිබඳ මෙතරම් අවධානයක් යොමු කරන්නට ඇත්තේ අයිසන්හවර්ය. ඊට බලපාන්නට ඇත්තේ යුරෝපයේදී විවිධ ජාතීනට අයත් පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට ලැබීම විය හැක.

"මගේ අදහස නම් මෙම ම්ලේච්ඡ අවිය හිරෝෂිමාවට සහ නාගසාකියට හෙලීම අපගේ යුධ ජයග්‍රහණයට කිසිදු භෞතිකමය උපකාරයක් නොවූ බවය. ජපානය ඒ වනවිට පරාජයට පත්ව, යටත්වීමට සූදානම්ව සිටියාය" යයි ඇමරිකානු ජනාධිපති මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් විලියම් ලීහි ප්‍රකාශ කළේය. උපක්‍රමික ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් ස්පාට්ස්, එක්සත් ජනපද යුධ හමුදා ගුවන් සේනාංකයේ අණදෙන නිලධාරී ජෙනරාල් අර්නෝල්ඩ් සහ නාවික හමුදාවේ අද්මිරාල් කිංග් පරමාණු බෝම්බ හෙලීම අනවශ්‍ය බව විශ්වාස කල අය අතර වූහ. කැබිනට් මණ්ඩලය පවා මේ පිලිබඳ එකඟතාවයකින් පසු නොවීය. ජනාධිපතිවරයා මේ කිසිවක් නොදැන සිටියා වන්නට නොහැකිය.

කොන්දේසි විරහිත යටත් වීම, අධිරාජයා සහ සෝවියට් දේශය

තමන් පරාජිත යුද්ධයක යෙදී සිටින බව හොඳාකාරවම දත් ජපානය එවකට තමන් හා යුධ නොවැදුන සෝවියට් දේශය හරහා මිත්‍ර පාක්ෂිකයන් සමඟ සාම කතා ඇරඹීමට උත්සාහ කරමින් සිටියහ. ජපානය සහ ඇමරිකාව අතර දරුණුම නොගැලපීම තිබුනේ ජපන් අධිරාජයාගේ ඉරණම සම්බන්ධයෙනි. අධිරාජයා යන ආයතනය යුද්ධයෙන් පසු එන ආණ්ඩුවක් තුලද ආරක්ෂා කරගැනීමට ජපනුන්ට අවැසි විය. ජපන් සෙබළු දහස් ගණනින් සිය ජීවිත පූජා කලේ අධිරාජයා වෙනුවෙනි. කොන්දේසි විරහිත යටත් වීමක් ඉල්ලා සිටි නමුදු, ඇමරිකානු ජනාධිපතිවරයා වුවද ජපන් අධිරාජයා ඉවත් නොකිරීමට කැමැත්ත පල කල බව සඳහන්ය. එමෙන්ම, යුද්ධයෙන් පසු අධිරාජයාගේ බලය අඩු කලත් ඔහුගේ තනතුර මුලිනුපුටා නොදමන ලදී. අදටද ජපානයේ රාජ්‍ය නායකයා අධිරාජ්‍යයෙකි.

එසේ වී නම්, 1945 අගෝස්තුවට පෙර යුද්ධය අවසන් කොට නිෂ්පල මනුෂ්‍ය ඝාතනයක් නවතාලිය තිබියදී එසේ නොකළේ මන්ද යන්න ගැටලුවකි. තවද, පළමු පරමාණු බෝම්බය අත් හදා බලන ලද්දේ 1945 ජූලි 16 වනදාය. එදිනට පෙර යුද්ධය අවසන් විනි නම් පරමාණු බෝම්බයක් හෙලීමේ හැකියාවක් පවා නොවිණ.

සෝවියට් දේශය මෙහිදී වැදගත් කාර්යභාරයක් කළේය. ස්ටාලින් තමනට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කිරීමේ අවදානම ජපානය හොඳින් වටහාගෙන සිටියාය. ඔවුන් සහමුලින් හුදෙකලා වීම වැළැක්වීම සඳහා එය වැළැක්වීමට ජපානය කල හැකි සියල්ලක්ම කරන්නට ඇත. එසේම, සෝවියට් දේශය යුද්ධයට එළඹෙනු දැකීමට අකමැති වූ තවත් රටක්විය. සෝවියට් දේශය යුද්ධ ප්‍රකාශ කිරීමට පෙර ජපානය යටත්වනු දැකීම ඔවුනගේ අවශ්‍යතාවය විය. එමඟින්, යුද්ධාවසානයෙන් පසු ආසියාව තුල බලවත් තැනකට සෝවියට් දේශය පත්වනු වැලකීම එරටෙහි අරමුණ විය. එරට ඇමරිකාවයි. ජපානයට ඇමරිකාව විසින් පරමාණු බෝම්බ හෙලන්නට ඇත්තේ එරටට ඉක්මනින් යටත් වීමට බල කිරීම සඳහා විය හැකි බව පැහැදිලිය. එමඟින් ඇමරිකාව බලාපොරොත්තු වූයේ සෝවියට් දේශයේ බලය අඩු කිරීමය.

මූලාශ්‍ර

Alperovitz, Gar, The Use of the Atomic Bomb, in The Origins of the Cold War, 2nd Edition (ed. Paterson, Thomas G.) D. C. Heath and Company (1974)

Ulam, Adam B., The Diplomatic Impotence of the Bomb, in The Origins of the Cold War, 2nd Edition (ed. Paterson, Thomas G.) D. C. Heath and Company (1974)

Lewis, Chris H., Debating the American Decision to Drop the Atomic Bomb, University of Colorado, Boulder. (2002) Retrieved Aug 3, 2010.

Monday, September 10, 2012

බර්ලින් තාප්පය බිඳ වැටීම-1989 නොවැම්බර් 09


(මෙය මා විසින් කලකට පෙර ලියන ලද ඉංග්‍රීසි ලිපියක් ආශ්‍රයෙන් ලියන ලද්දකි. එම ලිපිය කියවීමට අවැසි නම් මෙතනින් යොමුවන්න).



මාස ගණනක් පුරා නැගෙනහිර යුරෝපා රටවල් සමහරක වූ ජනතා උද්ඝෝෂණ අතරතුර වුවද, බර්ලින් නගරය බෙදා වෙන්කළ තාප්පයේ බිඳ වැටීම ලෝකය මවිතයට පත් කල සිදු වීමක් විය. නැගෙනහිර සහ බටහිර ජර්මනි දෙකෙහිම ජනතාව බර්ලින් තාප්පය දේශපාලනික යථාර්තයක් ලෙස පිළිගෙන සිටියහ. 1987 වසරේ සැප්තැම්බරයේදී, නැගෙනහිර ජර්මන් නායක එරික් හොනෙකර් බටහිර ජර්මනියෙහි සංචාරය කල අවස්ථාවේ, බටහිර ජර්මන් චාන්සලර් හෙල්මුට් කෝල් ඔහුට සැලකූයේ තවත් බොහෝ කලක් ඔවුන් වෙනම රාජ්‍යයන් දෙකක නායකයින් ලෙස කටයුතු කරනු ඇති යන අදහසිනි. එමතුද නොව, තාප්පය තවත් වසර සියයක් පවතිනු ඇතැයි 1989 ජනවාරියේදී එරික් හොනෙකර් පැවසූ විට එය විශ්වාස නොකළෝ අතලොස්සකි. නමුත් තවත් මාස කිහිපයක් තුලදී, සියල්ල උඩු යටිකුරු වූයේ ආපසු නොහැරෙන ලෙසිනි. බර්ලින් තාප්පය බිඳ වැටීම නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් රාජ්‍යයන්ගේ බිඳ වැටීමේ ආරම්භය හෝ අවසානය හෝ නොවීය. නමුත් එය අවසන් ප්‍රතිපලය පිලිබඳ පැහැදිලි අදහසක් ලබා දුන්නේය.

බර්ලින් තාප්පය සහ එහි වූ මුර කපොලු දැක්වෙන සිතියම. ChrisO, Wikimedia Commons.



නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් බලකඳවුර බිඳ වැටීම 1989 දී සිදු වූයේ වී නමුදු, එහි අවසානයේ ආරම්භය, එහි ආරම්භයම වී යයි කිව හැක. ඊට හේතුව, නැගෙනහිර යුරෝපා කොමියුනිස්ට් පාලනයන් 1940 ගණන්වල අග භාගයේ ස්ටාලින් විසින් කරන ලද කෘත්‍රිම නිර්මාණයන් වීමයි. එම රටවල් හැම එකකම පාහේ වූ කොමියුනිස්ට් පක්ෂ ප්‍රජාතාන්ත්‍රික හෝ විප්ලවීය හෝ මාර්ගවලින් බලය ලබා ගැනීමට තරම් ශක්තිමත් නොවීය. එම කොමියුනිස්ට් පාලන තන්ත්‍රයන් පිහිටවුණේ සහ කල් පැවතුනේ සෝවියට් රතු හමුදාවේ බලපෑම මතය. සෝවියට් දේශය සහ බටහිර යුරෝපය අතර ආරක්‍ෂිත කලාපයක් මෙමගින් ලබාගැනීමට ස්ටාලින් සමත් වූ නමුත් එය සෝවියට් දේශයට අමතර බරක් බවටද පත් විය.

මෙය නැගෙනහිර ජර්මනිය සම්බන්ධයෙන් සම්පූර්ණ සත්‍යයක් විය. එහි 1949 ඔක්තෝම්බර් 7 වනදා ජර්මන් ප්‍රජාතාන්ත්‍රික ජනරජය (ජ. ප්‍ර. ජ.) පිහිටුවන ලදී. එහි පාලක පක්ෂය වූයේ ජර්මන් සමාජවාදී එක්සත් පක්ෂය (Socialist Einheitspartei Deutschland-SED) ය. මෙය පැරණි කොමියුනිස්ට් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දෙකෙහි එකතුවක් වූ අතර නැගෙනහිර ජර්මනියේදී එම එකතුව බලහත්කාරයෙන් සිදු කරන ලදී. බටහිර ජර්මනියේ එම පක්ෂ දෙක වෙනමම පැවතිණ. නිදහස් මැතිවරණයක් නැගෙනහිර ජර්මනියේ පැවතියේ නම් කුමන පක්ෂය ජය ගත්තද, SED පක්ෂය පරාජය වන බවට සැකක් නොවීය.

දෙවන ලෝක යුද්ධය අවසානයේදී ජර්මනිය, ප්‍රධාන මිත්‍ර රටවල් හතර වූ බ්‍රිතාන්‍යය, ප්‍රංශය, එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර බෙදී ගියේය. බටහිර රටවලට අවශ්‍ය වූයේ තමන්ට හිතැති එක්සත් ජර්මනියක් බිහිවනු දැකීමය. සෝවියට් දේශයටද අවශ්‍ය වූයේ තමන්ට හිතැති එක්සත් ජර්මනියක් දැකීමටයි. එහෙයින් එක්සත් ජර්මනියක් පිලිබඳ එකඟතාවක් ඇති නොවීම අරුමයක් නොවීය. 1949 මැයි මාසයේදී බටහිර රටවල් තුනට අයත් ප්‍රදේශ එකතු වී ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුව පිහිටුවන ලදී. ඔක්තෝම්බරයේදී ජ. ප්‍ර. ජනරජය පිහිටවුණේ ඉන් පසුවය.

මේ අනුව මහා බලවතුන්ගේ ගැටුමට මැදිව ජර්මනිය දෙකඩ විය. තවද, ජර්මානුන්ට බටහිර ප්‍රජාතන්ත්‍රවාදය සහ විවෘත ආර්ථිකයත්, සෝවියට් පාලන ක්‍රමය සහ සමාජවාදී ආර්ථිකයත් සංසන්දනය කිරීමේ අවස්තාව ලැබිණ.

බටහිර ජර්මනියට බටහිර රටවල ආධාර උපකාර සහ පිළිගැනීම ලැබිණ. මාර්ෂල් සැලසුමෙන් බටහිර ජර්මනියට ආධාර ලැබීම නැගෙනහිර ජර්මානුන්ගේ සන්තාපයට හේතු විය. නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් රටවලට බටහිර ආධාර ලබාගැනීමට ස්ටාලින්ගේ අවසර ලැබුනේ නැත. ජ. ප්‍ර. ජනරජයේ ප්‍රතිපත්ති බර්ලින් නගරයේදී නොව මොස්කව් නගරයේදී සකස් වූ බවට මෙය කදිම උදාහරණයකි.

ස්ටාලින්ගේ තීරණ සෝවියට් දේශයේ වාසිය පිණිසම වූයේය... යුද්ධයෙන් පසුව, නැගෙනහිර ජර්මනියේ ඔවුනගේ පාලනයට නතු වූ ප්‍රදේශවල බොහෝ කර්මාන්තශාලාද, පශු සම්පතද, සෝවියට් පාලකයින් විසින් සිය රට ගෙන යන ලදී. ජ. ප්‍ර. ජනරජය බිහිවූ පසුද ඔවුනට සිදු වූයේ සෝවියට් ආර්ථික ක්‍රමය පිළිපැදීමටය.. නැගෙනහිර ජර්මනියේ බොහෝ බැර කර්මාන්ත ආරම්භ කරන ලද්දේ ඒවායේ අදාලත්වය හෝ ප්‍රතිලාභය හෝ පිලිබඳ එතරම් තැකීමකින් තොරවය. කුඩා ප්‍රමාණයේ කර්මාන්ත හෝ පාරිභෝගික භාණ්ඩ නිපදවීම හෝ කෙරෙහි අඩු සැලකිල්ලක් දක්වන ලදී. බර්ලින් නගරය ආශ්‍රිත ප්‍රදේශය හැරුණු විට, නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනියට වඩා කෘෂිකාර්මික රටක් වූයෙන් මෙම වෙනස්කම් එරටට නුසුදුසු විය. බටහිර ජර්මනියෙහි එදිනෙදා පාරිභෝගික භාණ්ඩ ඇති පමණ තිබුන නමුත් නැගෙනහිර ජර්මනියේ ඒවා හිඟ විය. කල් යත්ම, නැගෙනහිර ජර්මානුවනටද බටහිර ජර්මනිය වඩා ආකර්ශනීය වන්නට විය.

එහි ප්‍රතිපලය වූයේ, නිදහස් මැතිවරණ අහිමි නැගෙනහිර ජර්මානුන්, "දෙපයින් ඡන්දය දීමට" පටන් ගැනීමයි. ඔවුහූ බුරුතු පිටින් බටහිර ජර්මනියට පැමිණීමට පටන් ගත්හ. බර්ලින් නගරය පිහිටා තිබුනේ නැගෙනහිර ජර්මනියේ වුවද, එහි බටහිර කොටස පාලනය වූයේ බටහිර ජර්මනියේ කොටසක් ලෙසය. නැගෙනහිර සහ බටහිර ජර්මනිය අතර දේශ සීමාව 1952 දී කටු කම්බි වැටකින් වෙන් කරන ලදී.නමුත් බර්ලින් නගරය එසේ වෙන් නොකෙරිණ. තවත් විධියකින් කිවහොත් දේශපාලනික වශයෙන් බෙදුනද, බර්ලින් නගරය භෞතික වශයෙන් බෙදී නොතිබිණ. වීථි සහ ජල මාර්ග ගණනාවකින් නගරයේ කොටස් දෙක සම්බන්ධව තිබූ අතර පොදු ප්‍රවාහන සේවා පවා නගරයේ කොටස් දෙක අතර ක්‍රියාත්මක විය. යමෙකුට එක කොටසකින් තවත් කොටසකට යාමට අවශ්‍ය වී නම් බසයකින්, දුම්රියකින්, බෝට්ටුවකින් නැතහොත් දෙපයින් වුවද ගමන් කල හැකි විය. එහෙයින් බටහිර බර්ලිනය කොමියුනිස්ට් "යකඩ තිරය" තුල පිහිටි විශාල සිදුරක් විය. 1949 සිට 1961 දක්වා ගතවූ දොළොස් වසරක කාලය තුල මිලියන 3.5 ක ජනකායක්, එනම් නැගෙනහිර ජර්මනියේ ජනගහනයෙන් 20% ක පමණ ප්‍රමාණයක්, මෙම සිදුරෙන් රිංගා ගියහ. මේ අතර විශාල වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, තාක්ෂණ ශිල්පීහු සහ ගුරුවරු පිරිසක් වූහ. මෙම බුද්ධි ගලනය සහ මානව සම්පත් සෝදා පාළුව ගොඩ නැගෙමින් පැවති රාජ්‍යයක් වූ නැගෙනහිර ජර්මනියට කිසිසේත්ම සුභදායක නොවීය. මෙම ගැටලුවට පිළිතුරක් කොමියුනිස්ට් පාලකයනට නොමැති සෙයක් දිස් විය. නමුත් එසේ පෙනුණේ, 1961 අගෝස්තුවේ ඒ තීරණාත්මක රාත්‍රිය තෙක් පමණි.

නැගෙනහිර ජර්මන් ආණ්ඩුවේ අනෙකුත් බොහෝ තීරණ මෙන්ම බර්ලින් තාප්පය ඉදි කිරීමේ තීරණයද මොස්කව්වලදී ගත්තක් වීමට බොහෝ ඉඩ ඇත. එසේ වූවත් නොවූවත්, ක්‍රෙම්ලීනයේ අනුදැනුමක් නොමැතිව එම පියවර ගැනීමට නැගෙනහිර ජර්මන් පාලකයනට හයියක් නොවීය. 1961 අගෝස්තු 12 දා රාත්‍රියේ, නැගෙනහිර ජර්මන් නායක වෝල්ටර් උල්බ්‍රිෂ්ට් බර්ලින් තාප්පය සෑදීමට අවසර දෙන නියෝගය අත්සන් කළේය. මධ්‍යම රාත්‍රිය ඉක්ම ගිය පසු නැගෙනහිර ජර්මන් හමුදා සහ පොලිස් සෙබළු නගර දෙක වෙන් කරන බාධකය ඉදි කිරීම ආරම්භ කළහ. මුලින්ම බටහිර බර්ලිනය වට කොට කටුකම්බි වැටක් ඉදි කරන ලදී. මෙහි කිලෝ මීටර 43 ක් වූයේ නගරය තුලිනි. පෙරදා රාත්‍රියේ නින්දට ගිය මිලියන ගණනක් නැගෙනහිර ජර්මානුවන් ඊළඟ උදෑසන අවදි වූයේ තමන්ගේ අන්තිම ගැලවුම් මාර්ගයත් වසා දමන ලද සිර කඳවුරකය.

මෙම පවුර "ෆැසිස්ට් විරෝධී ආරක්ෂක පවුරක්" සහ බටහිර රහස් ඔත්තුකාරයින්ට වට බැඳීමක් ලෙස අර්ථකථනය කරමින් එය ඉදි කිරීම සාධාරණීයකරණය කිරීමට නැගෙනහිර ජර්මානු පාලකයෝ උත්සාහ කළහ. නමුත්, බටහිර ජර්මන් සහ වෙනත් බටහිර රටවල පුරවැසියනට නැගෙනහිර බර්ලිනය විවෘත වීමත් නැගෙනහිර ජර්මානුවනට බටහිර බර්ලිනය තහනම් කලාපයක් වීමත් මම සාධාරනීකරණයන් විකාරයක් බවට පත් කළේය. බටහිර බර්ලින්වාසීනට නැගෙනහිර බර්ලිනය තහනම් ප්‍රදේශයක් වූ බව සැබැවි. එහෙත් ඊට හේතු වූයේ, සෝවියට් බල කඳවුර විසින්, බටහිර බර්ලිනය බටහිර ජර්මනියේ කොටසක් ලෙස නොපිළිගැනීමය.

බර්ලින් තාප්පය නැගෙනහිර ජර්මානුවන් සංක්‍රමණය වීමට එරෙහි දැවැන්ත බාධකයක් වුවද, එය ඔවුනගේ සියලු උත්සාහයන් ව්‍යර්ථ කිරීමට අපොහොසත් විය. තාප්පය පැන හෝ තාප්පය යටින් හෝ අන් ක්‍රමයකින් හෝ බටහිරට යාමට බොහෝ නිර්භීත පිරිස් උත්සාහ කළහ. වෙසෙසින්ම පළමු අවුරුදු කිහිපයේදී සමහරු ඒ උත්සාහයන් සාර්ථක කරගත්හ. තවත් සමහරු අසාර්ථක වූහ. එවැනි එක ඛේදජනක අවස්තාවක් වූයේ තාප්පයෙන් පැනීමට ගිය 18 හැවිරිදි පීටර් ෆෙට්චර් මුහුණ දුන් ඉරණමයි. මුරභටයන්ගේ වෙඩි පහරින් ඔහු ඇද වැටුනේ බටහිරට ලඟා වීමට පෙරය. එම තරුණයා ලේ සලමින් මරණයට පත් වනතුරු මුරභටයෝ කිසිත් නොකළහ.

සෝවියට් හාම්පුතුන්ගේ බලපෑමද ඇතිව, ඉතිහාසයේ ගත් බරපතලම තීරණයෙන් බර්ලිනය බෙදා වෙන් කල නැගෙනහිර ජර්මානු පාලකයෝ ඉනික්බිති සිය රටේ සංවර්ධනය පිලිබඳ අවධානය යොමු කළහ. සත්‍ය වශයෙන්ම අන් බොහෝ නැගෙනහිර යුරෝපා කොමියුනිස්ට් රටවලට වඩා ඔවුහු මෙහිදී සාර්ථක වූහ. 1989 මුල වන විට පවා, අනෙක් බොහෝ නැගෙනහිර යුරෝපා රටවල් ආර්ථික අපහසුතාවලට පත්ව තිබියදී, නැගෙනහිර ජර්මනියේ තත්ත්වය සාමාන්‍ය විය. සැපයුමට වඩා ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහල යමින් පැවතුනද, කඩ සාප්පුවල ආහාර සහ අනෙක් පාරිභෝගික ද්‍රව්‍ය ඇති පමණ තිබුණි. එවන් තත්ත්වයක් යටතේ බර්ලින් තාප්පය අවශ්‍ය නම් තවත් අවරුදු සියයක් වුවද පවතිනු ඇති අනාවැකි කීමට තරම් හය්යක් එරික් හොනේකර්ට තිබීම අරුමයක් නොවේ.

එහෙත්, අව්රුද්දක් ඉකුත්වීමටද මත්තෙන් සියල්ල කණපිට හැරුණි.

ලොව සෙලවූ සිදුවීම් දාමය ආරම්භ වූයේ, නැගෙනහිර ජර්මනියෙන් පිටතදී ගන්නා ලද තීරණ කිහිපයක් හේතුවෙනි. පුදුමයකට මෙන්, ඒවා සෝවියට් දේශයේදී ගන්නා ලද තීරණ නොවීය. නමුත් ක්‍රෙම්ලීනයේ ගොර්බචොව් පාලනය එය අනුමත කල බව නිසැකය. 1989 මුලදී හංගේරියානු රජය, පාලක පක්ෂය හැරුණු විට වෙනත් දේශපාලන පක්ෂවලට දේශපාලනයෙහි නිරත වීමට දමා තිබූ තහනම ඉවත් කළහ. මීළඟට, 1989 අගෝස්තු 23 වනදා ඔවුහු ඔස්ට්‍රියාව සමඟ දේශසීමාව ඔස්සේ දමා තිබූ කම්බි වැට ඉවත් කළහ. මේ අනුව හංගේරියාවේ සිට ඕස්ට්‍රියාවට ගමන් කිරීමට නැගෙනහිර යුරෝපා ජනතාවට හැකියාව ලැබිණ. මෙසේ යකඩ තිරයෙහි ඇති වූ සිදුර හරහා නැගෙනහිර ජර්මානුවන්ද රිංගා යාමට වූහ.

මුලින්ම මේ අවසරයෙන් ප්‍රයෝජනය ගත්තේ නිවාඩු ගත කිරීමට හන්ගෙරියාවට ගොස් සිටි පිරිසක් ඇතුළු සුළු ප්‍රමාණයක් පමණි. නමුත් ටික දිනක් තුල නැගෙනහිර ජර්මානුවන් වැල නොකැඩී ඕස්ට්‍රියාවට ගමන් කරන්නට වන්හ. මෙහිදී, නැගෙනහිර ජර්මානු ආණ්ඩුවේ විරෝධතාව හමුවේ, එරට වැසියනට ඕස්ට්‍රියාවට යාමට වූ අවස්තාව හංගේරියානු ආණ්ඩුව විසින් නැති කරන ලදී. මෙහිදී, බුඩාපෙස්ට්හි බටහිර ජර්මානු තානාපති කාර්යාලය අසලට රොක් වූ නැගෙනහිර ජර්මානුවෝ සියරට බලා යාම ප්‍රතික්ෂේප කළහ. නමුත් ඔවුනට බටහිරට යාමට ක්‍රමයක් නොවීය. නැගෙනහිර ජර්මානු ආණ්ඩුව ඔවුනට යලි සියරට පැමිණීමට අවස්ථාව දුන්නේය.

මේ අවස්ථාවේ චෙකොස්ලෝවැකියාවේ සිටි නැගෙනහිර ජර්මානුවන්ද බටහිරට යාමට ඉල්ලා සිටියෝය. ඔවුනට ඒ සඳහා අවසර දීමට නැ. ජර්මානු පාලකයෝ තීරණය කළහ. කෙසේ වුවද, ඔවුන් ගමන් කල දුම්රිය යායුතු වූයේ නැ. ජර්මනිය මැදිනි. ඒවා නැගෙනහිර ජර්මනිය හරහා ගමන් කරද්දී ඊට ගොඩවීමට තැත් කල නැ. ජර්මානුන් සහ ජනතා පොලිසිය (Volkspolizei) අතර ගැටුම් ඇති විය. මෙම සිද්ධිය හේතුවෙන් මුලින් ඩ්‍රෙස්ඩෙන් සහ ලීප්සිග් නගරවලත් පසුව අනෙක් ප්‍රදේශවලත් උද්ඝෝෂණ හට ගැනිණ. මුලින් ඇතිවූ උද්ඝෝෂණ මර්ධනය කිරීමට ගිය රජය එයින් සිදු කලේ ඒවා තවත් ව්‍යාප්ත වීමට පාර කැපීම පමණි.

1989 ඔක්තෝම්බර් 7 වනදා, නැ. ජර්මානු පාලකයින් සිය 40 වන ජාතික දිනය සැමරුවේ ඉතිහාසයේ දරුණුතම අර්බුදයට මුහුණ දෙමිනි. එම ජාතික දින සමරුමද ඔවුනට ගෙනාවේ අස්වැසිල්ලක් නොවේ. සැමරුමට පැමිණි ගොර්බචොව් නැගෙනහිර ජර්මානු නායකයනට ප්‍රකාශ කලේ අතීතයේදී මෙන් නැගෙනහිර යුරෝපයේ ප්‍රශ්න විසඳීමට රතු හමුදාව මැදිහත් නොවනු ඇති බවයි. නැගෙනහිර ජර්මනිය සිය අභ්‍යන්තර කටයුතු පිලිබඳ වග බලාගතයුතු විය.

වහා ක්‍රියාත්මක වූ නැ. ජර්මානු පාලකයෝ යම් යම් ප්‍රතිසංස්කරණ ඇති කිරීමට කටයුතු කළහ. එරික් හොනෙකර් බලයෙන් ඉවත් කල ඔවුහු ඊගොන් ක්‍රෙන්ස් නායකත්වයට පත් කළහ. නමුත් ඒ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවති සිද්ධි දාමය සමඟ සන්සන්සනය කල විට පාලකයින්ගේ ප්‍රතික්‍රියා මන්දගාමී වූවා සේම ප්‍රමාණවත්ද නොවීය. උද්ඝෝෂකයන්ගෙන් රට පුරා නගරවල වීථි උතුරා ගියේය. SED පක්ෂය අතින් වේගයෙන් රටේ පාලනය ගිලිහෙමින් පැවතිණ. අවසානයේදී ඔවුහු නැවත වෙනස් නොකළ හැකි තීරණයක් ගත්හ. 1989 නොවැම්බර් 9 වනදා ඔවුහු බර්ලින් තාප්පය විවෘත කිරීමට තීරණය කලෝය.

එකවර බර්ලින් තාප්පය විවෘත කිරීමට SED පාලනයට අවශ්‍ය නොවීය. එහෙත්, එම නිවේදනය නිකුත් කිරීමට ගිය ගුන්තර් ශබෝව්ස්කිව හරි හැටි දැනුවත් කිරීමට ඔවුහූ අසමත් වූහ. කිනම් වෙලාවක සිට එම නියෝගය බලපවත්වේදැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කලවිට ඊට පිළිතුර ඔහු නොදත්තේය. එවිට ඔහු සඳහන් කලේ නියෝගය එවක පටන් වලංගු බවයි. මෙම පුවත කණ වැකුණු ජනතාව සිය දහස් ගණනින් බර්ලින් තාප්පය හරහා වූ මුර කපොලු අසලට රොක් වූහ. ඒවායේ සේවය කල මුර භටයෝ සම්පූර්ණයෙන් වික්ෂිප්තභාවයට පත්වූහ. ඔවුනට තාප්පය විවෘත කිරීමක් පිලිබඳ දැනුවත් කිරීමක් කර නොතිබිණ. මහා ජන ගඟ නැවැත්වීමේ හැකියාවක් හෝ ඇතැම්විට කැමැත්තක් හෝ ඔවුනට නොවීය. අවසානයේදී මුර කපොලු විවෘත විය. ජනතාව ප්‍රීතියෙන් කුල්මත්ව ඒ හරහා බටහිරට ගියහ. සමහරු තාප්පය මත නැග ප්‍රීතිය පල කළහ. තවත් සමහරෙක් තාප්පයේ කැබලි කඩාගෙන සිහිවටන ලෙස රැගෙන ගියහ.
බර්ලින් තාප්පය බිඳ වැටුණු පසු බ්‍රන්ඩේන්බර්ග් දොරටුව අසල. (1990 නොවැම්බර් 10) Sue Ream, Wikimedia Commons.

නැගෙනහිර ජර්මානු පාලකයන්ගේ අරමුණ වූයේ ආගමන විගමන තහංචි ඉවත් කොට ජනතාවගේ විශ්වාසය දිනාගෙන යලි තම රට ගොඩ නැගීමය. නමුත්, කඩා වැටුණු ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා තමන් දශක හතරක් පුරා සිදු කලාවූ කැප කිරීම් තව දුරටත් සිදු කිරීමේ අදහසක් බොහෝ දෙනාට නොවීය. එමෙන්ම, බටහිර ජර්මනියේ ජීවිතය බොහෝ සුවපහසු බව පෙනිණ. එසේම රටේ දේශපාලන විපර්යාසය 1990 මාර්තුවේ පැවති පළමු නිදහස් මැතිවරණයෙන් දිස් විය. එහිදී නැ. ජර්මන් ක්‍රිස්තියානි ප්‍රජාතාන්ත්‍රික පක්ෂය විශිෂ්ට ජයක් ලදහ. ජූලි මාසයේදී, කඩා වැටුණු නැ. ජර්මන් මාර්ක් මුදල් ඒකකය ඉවත ලා ඩොයිෂ් මාර්ක් භාවිතයට නැ. ජර්මනිය පියවර ගත්තේය. මෙසේ එකම මුදල් ඒකකය භාවිතා කිරීමට පටන් ගැනීම ජර්මනිය යලි එක්සත් වීමේ වැදගත්ම පියවරක් විය. 1990 ඔක්තෝම්බර් 3 වනදා, ජර්මනිය යලි එක්සත් වූවිට ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අවසන් හුස්ම හෙලීය.

බර්ලින් තාප්පය (1961-1989) තිබූ තැනෙක එය වෙනුවෙන් වන සිහිවටනය. Wikimedia Commons.



මූලාශ්‍ර



Cyril E. Black, Jonathan E. Helmreich, Paul C. Helmreich, Charles P. Issawi, A. James McAdams. Rebirth: A History of Europe Since World War Two, Westview Press (1992)

Mills, Clifford W., Angela Merkel, Chelsea House, NY (2008)

Taylor, Frederick. The Berlin Wall: A World Divided. Harper Collins (2007)

Tuesday, September 4, 2012

ලිබරෙක් සත්වෝද්‍යානයේ අලුත්ම 'සුරතලුන්': සුදු ව්‍යාඝ්‍ර පැටව් තිදෙනාගෙන් එකෙකු නම් කිරීමට මහජනතාවට අවස්ථාව


ලිබරෙක් නගරය චෙක් ජනරජයේ උතුරුදිග පිහිටි, ජනගහනය 100,000 ක් පමණ වන නගරයකි. එරට පැරණිතම සත්වෝද්‍යානය පිහිටියේ එම නගරයේය. එම සත්වෝද්‍යානයේ, ක්ෂීරපායී සතුන් වර්ග 52 ක් සිටින බව එහි වෙබ් පිටුව සඳහන් කරයි. එයින් වඩාත්ම ආකර්ශනීය සතුන් වර්ගයක් වන්නේ බෙංගාලි සුදු ව්‍යාඝ්‍රයන්ය.

මීට මාස දෙකකට පෙර, සත්වෝද්‍යානයේ වසන සූර්යා බාරා නම් සුදු ව්‍යාඝ්‍ර ධේනුවක පැටවුන් තිදෙනෙකු බිහි කළාය. මින් එකෙක් ගැහැණු සතෙකු වන අතර අනෙක් දෙදෙනා පිරිමි සතුන්ය. මින් දෙදෙනෙකුට නම් තැබීම සත්වෝද්‍යානයේ සේවකයන් විසින් සිදු කරන ලද අතර එක පිරිමි පැටවෙකුට අන්තර්ජාලය ඔස්සේ නම් තැබීමේ අවස්ථාව මහජනතාවට ලැබී තිබේ. මේ සඳහා නම් 2,200 ක් පමණ යෝජනා වූ අතර ඉන් පහක් අවසන් වටය සඳහා තෝරාගෙන ඇත. 2012 සැප්තැම්බර් 5 වන බදාදා චෙක් ජනරජයේ වේලාවෙන් දහවල් 12 ට පෙර ඡන්දය ප්‍රකාශ කල යුතු වූ අතර ඉන් පසුව එම පැටවා වැඩි කැමැත්ත අනුව නම් කරනු ඇත. යෝජනා වී ඇති එම නම් පහ වූයේ ලියම්, සම්බුරු, සිග්මාර්, ටයිටන් සහ වුඩී ය. මෙයින් ලියම් යන නමට වැඩිම ඡන්ද ප්‍රමාණයක් (1041) ලැබුන අතර, සම්බූර්, වුඩී, ටයිටන්, සිග්මාර් යන නම්වලට පිළිවෙලින් ඡන්ද 825, 610, 332 සහ 229 ලැබී තිබිණ.

වීඩියෝ සහ පින්තූර මෙතනින්සහ මෙතනින්බලන්න.

බෙංගාලි සුදු ව්‍යාඝ්‍රයින් යනු වෙනමම සත්ව විශේෂයක් නොවේ. ඔවුන් බිහිව ඇත්තේ බෙංගාලි ව්‍යාඝ්‍රයන්ගේ නිලීන ජානයක් හේතුවෙනි. වනය තුලදී ඔවුනට ඔවුනගේ වර්ණය බාධාවකි. වනයේදී සුදු පැහැය කැපී පෙනෙන හෙයින්, ඔවුනට දඩයමක් සොයා ගැනීම ඉතා අපහසුය. එහෙයින් බොහොමයක් සුදු ව්‍යාඝ්‍රයන් බිහි වන්නේ සිරගතව බව සඳහන්ය. මධ්‍යම යුරෝපයේ බෙංගාලි සුදු ව්‍යාඝ්‍රයින් සිටින එකම සත්වෝද්‍යානය ලිබරෙක් සත්වෝද්‍යානය බව කියවේ.

අගෝස්තු මාසයේදී කල පරීක්ෂණයක් අවස්ථාවේ, පිරිමි සතුන් රාත්තල් පහළවක් ද, ගැහැණු පැටවා රාත්තල් දහහතරක් ද බරින් යුතු වූහ. සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් තුනක් තුලදී මෙම සතුන් පූර්ණ වර්ධනයට පත්වේ. එවිට පිරිමි සතෙක් අඩි 9 ක් දක්වා දිගින්ද රාත්තල් 440-550 ක් පමණ බරින්ද යුතු වන අතර, ගැහැණු සතෙක් දිගින් අඩි 8 ක් දක්වා විය හැකි අතර බරින් රාත්තල් 285-375 ක් පමණ වේ.